IMG-LOGO

ශ්‍රී ලංකාවේ එකම ‘වැඩ බැලූ ජනාධිපති’

දෙ යක් වේ නම් යම් - සුදුස්සාටම අයිති වියයුතු” මෙම පුරාණ කියමන සනාථ කරමින් ප්‍රදේශීය දේශපාලන පුටුවේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය අග්‍රාමාත්‍ය තනතුරුවලින් නොනැවතී ශ්‍රී ලංකාවේ විධායක ජනාධිති තනතුරේ වැඩ බැලීමට තරම් සුදුසුම විශ්වාසවන්ත දේශපාලනඥයෙකු දැයෙන් සමුගෙන තෙවසරකි.


වලව් පැලැන්තියක උපත ලැබීමට තරම් වාසනාවන්ත වූද ජනතාවගේ දුක හඳුනා එම දුකට හේතුව සහ දුක නැති කිරීමේ මාර්ගය වාමාංශික දේශපාලන කඳවුර බව තේරුම් ගත් මෙම නායකයා තමන් එංගලන්තයේ හදාරමින් සිටි බැරිස්ටර් විභාගයට තිත තබා මෙරට දේශපාලනයට පිවිසියේය.


ඒ වෙන කිසිවෙකුත් නොව 1933 මැයි 05 වැනිදා හොරණ රයිගම් කෝරළයේ මිල්ලෑව වලව්වේ උපත ලැබූ මෑත යුගයේ විසූ වයෝවෘද්ධතම දේශපාලනඥයා ලෙස ගෞරවාදරයට පත් හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාට තම ගමන් මග වෙනස් කිරීමට සිදුවූයේ තම එකම සොයුරු මුණිදාස වික්‍රමසිංහ මහතාගේ හදිසි අභාවය නිසාය.
1960 දී මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් සොහොයුරා වෙනුවෙන් හොරණ ආසනයට තරග වැදුණු ඒ මහතා වැඩි ඡන්ද 5110කින් එම අසුන ජයගෙන පාර්ලිමේන්තුවට පිවිසුණේය.


රත්නසිරි වික්‍රමනායකයන් සතු දූරදර්ශී, නිර්ව්‍යාජ, ක්‍රියාශීලී ප්‍රතිපත්තිය නිසා අගමැතිනිය සිරිමා බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉහළ පෙළ මෙන්ම පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ජනප්‍රියත්වය එතුමාට ලැබිණ. දෙවැනි බණ්ඩාරනායක, හොරණ පොඩි පුතා වැනි සුරතල් නම්වලින් හැඳින්වූ ඔහු තුළ වූ විවෘත මිනිස්කම ආණ්ඩුවට ආශිර්වාදයක් විය.


සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කරනු ලැබූ ඒ අමිහිරි කාලවකවානුවේ එතුමිය ළඟින්ම හිඳ පක්‍ෂයේ ප්‍රතිපත්ති ආරක්‍ෂා කළ බලකණුව වූයේ රත්නසිරි වික්‍රමනායකය. ශ්‍රීලනිපයේ ප්‍රධාන ලේකම් තනතුරින් එතුමා පුදනු ලැබුවේ පක්‍ෂයේ හද ගැස්ම ඔහු තරම් හඳුනාගත්තෙකු නොවූ නිසාය.
1982 දී තම ඒකාධිපති වියරුව ප්‍රකට කළ ජේ. ආර්. ජයවර්ධන විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තු කාලය වසර 6 කට දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණය කැඳවූ අවස්ථාවේ ඊට එරෙහිව යුද ප්‍රකාශ කළෝ රත්නසිරි වික්‍රමානයකයන් ප්‍රමුඛ දිස්ත්‍රික් සංවිධායකවරු වෙති. 
එහි ප්‍රතිඵලයක් වූයේ රාජ්‍ය විරෝධී නැක්සලයිට් කුමන්ත්‍රණකරුවන් ලෙස චෝදනා එල්ල කර එම පිරිස අත්අඩංගුවට ගැනීමය. ඒ අතර කටාන සංවිධායක විජය කුමාරතුංගයෝද වූහ. ඔවුන් රඳවා තබා ගත්තේ වරාය නාවික හමුදා කඳවුරේය. 


රාජ්‍ය මර්දනයෙන් රත්නසිරිලා සතු දේශපාලන ශක්තිය මොට කිරීමට රජයට නොහැකිවූ අතර 1993 දී පළාත් සභා මැතිවරණය වෙනුවෙන් බස්නාහිර පළාත් සභාව තුළ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදුණු රත්නසිරි ඡන්ද 47,698 ක් ලබා පොදුජන එක්සත් පෙරමුණෙන් පළාත් සභාවට පත්විය.
එහි පළාත් කෘෂිකර්ම හා පළාත් පාලන අමාත්‍ය තනතුර එතුමාට හිමිවිය. යළි 1994 මහ මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ එතුමා ඡන්ද 88213ක් ලබා පළමු ස්ථානය දිනා ගත්තේය. එබැවින් චන්ද්‍රිකා බණ්ඩාරනායක  ආණ්ඩුවේ රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය ද සභා නායක පදවිය ද එතුමාට පිරිනැමිණ. 


ඉනුත් නොනැවතී රත්නසිරි වික්‍රමනායකයන් වෙත වගකිව යුතු තනතුරු ගලා එන්නට විය. ඒ අනුව 2000 වසරේ අගෝස්තු 13 වැනිදා එතුමා අග්‍රාමාත්‍ය තනතුරේ දිවුරුම් දුන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය යටතේය. 2000  ඔක්තෝබර් 10 වැනිදා පැවති මහ මැතිවරණයේදී 148,705ක් ලබා යළිත් ඔක්තෝබර් 13 වැනිදා අග්‍රාමාත්‍ය තනතුරේ දිවුරුම් දීමේ වාසනාව හිමිවිය.


2001 ජූලි 10 වැනිදා රජයට එරෙහිව විශ්වාසභංගය යෝජනාවක් ඉදිරිපත් වූයේ මන්ත්‍රීවරුන් 115කගේ අත්සනිනි. එම අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ සමග පරිවාස ආණ්ඩුවක් පිහිටුවීමට වික්‍රමනායක මහතා මැදිහත් වූ අතර 2001 සැප්තැම්බර් 05 වැනිදා බිහිවූ එම ආණ්ඩුවේ අගමැති ධුරය ඔහුට පිරිනැමිණ.
බුදු දහමට ඇති එතුමාගේ නැමියාව හා මහා සංඝරත්නය සමග ඇති සබඳතාව සලකා බලා විසි දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් බුද්ධ ශාසන සංස්කෘතික ආගමික කටයුතු හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයද එතුමාට භාර කෙරිණි.


2001 දී පැවති මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද 120,632ක් ලැබුවද එහිදී එජාපය බලයට පැමිණි බැවින් විපක්‍ෂ නායක ධුරයෙන් ඉසිඹුලන්නට වික්‍රමනායකයන්ට සිදුවිය. එහෙත් 2004 අප්‍රේල් මහ මැතිවරණය අවසන් වූයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ රජයට සුවිශාල ජයග්‍රහණයක් ලබාදෙමිනි.


ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිළිපන් රත්නසිරි වික්‍රමනායක නම් සුවිශේෂ දේශපාලක සෙන්පතියා 2005 - 2010 යුගය තුළ අග්‍රාමාත්‍ය ධුරය දැරීමට තරම් වාසනාවන්ත විය.


එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව රජය තදින්ම සටන් ප්‍රකාශ කළ යුගයේ එම එඩිතර තීරණ ගැනීමට නායකත්වයට පන්නරය ලැබුණේ අගමැති වික්‍රමනායකගෙනි. 
සාම සාකච්ඡා වරදාන හා ගිවිසුම්වලින් හෙම්බත්වී සිටි ශ්‍රී ලංකා දේශපාලන නායකත්වයට ජාත්‍යන්තර අනුග්‍රහය, නවීන පන්නයේ යුද අවි, යුද්ධ උපක්‍රම හා දරදඬු නායකත්ව තුළින් සන්නද්ධ වූ ලෝකයේ මිනීමරු ත්‍රස්තවාදී සංවිධානය වූ එල්.ටී.ටී.යට එරෙහිව යුද ප්‍රකාශ කිරීම විශාල අභියෝගයක් විය.


අපේ ඉතිහාසය පුරාම ඇත්තේ රට දැය සමය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ මුතුන් මිත්තන් ගැනයි. සුද්දන්ගේ වහලුන් වී සිටි යුගයේ අධිරාජ්‍යවාදයෙන් මිදෙන්න අපි වාදභේද නොවී සටන් කළා. අද රට ගිලගැනීමට බලා සිටින ජාත්‍යන්තර ත්‍රස්තවාදයට තදුරටත් යටත්ව සිටීම නිවටකමක්.


“යුද්ධයට පිළිතුරු දිය යුත්තේ නිසැකයෙන්ම යුද්ධය තුළින්මයි. ඊට වෙන විකල්ප නැහැ” මෙසේ නිර්භයවම ප්‍රකාශ කිරීමේ ශක්තිය එතුමාට විය. කොන්ද පණ ඇති නායකත්වය නිසා රණවිරුවන්ගේ අභිමානයද වඩාත් තීව්‍ර විය. වෙනදාටත් වඩා ජවයකින් එල්.ටී.ටී.ඊ. කඳවුරුවලට රණවිරුවෝ ප්‍රහාර එල්ල කර මාතෘ භූමිය මුදා ගත්හ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරු දැරූ වික්‍රමනායකයන් එම පක්‍ෂය බරපතළ අර්බුදකාරී තත්ත්වයකට ගොදුරුවූ සෑමවිටම පක්‍ෂය තුළ සමගිය සමාදානය, සාමුහිකත්වය හා විනය රැකගෙන පෙරට ගෙනයාමට උත්සුක වූයේය.


විශේෂයෙන් ජේ. ආර්. ජයවර්ධන පාලන සමය තුළ පක්‍ෂය කොටස් තුනකට බෙදී සෝදාපාළුවට ලක් වීමට පෙරනිමිති පහළ විය. බණ්ඩාරනායක පවුලේ දූ දරුවන් අලුත් පක්‍ෂය නිර්මාණය කිරීමටද පෙළඹුණහ. වාමාංශික කඳවුර තුළ නොයෙක් අවුල් වියවුල් පීඩා ගැටලු හා අභියෝග ඔඩු දුවන්නට විය. මෙම දුෂ්කර සමය තුළ වම සහ ශ්‍රීලනිපය අතර සමගිය ඇතිකර දක්‍ෂිණාංශික රාජ්‍ය බලයට එරෙහිව පෙළ ගස්වන්නට රත්නසිරි වික්‍රමනායකයන් ගත් වගකීම දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයන්ට මෙන්ම කනිෂ්ඨයන්ටද පූර්වාදර්ශයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ පැවති ශෝක යෝජනා අවස්ථාවේදී පවසා තිබිණ.


යම් ප්‍රශ්නයක් ඇතිවූ විටක එයට කල් නොමරා ඉතා ක්‍ෂණිකව අවශ්‍ය තීන්දු තීරණ ප්‍රකාශයට පත් කිරීමට උනන්දු වූ එතුමා සාකච්ඡා කරමින් කල් මැරීමට එකහෙළා අකමැති වූවේය.


දේශපාලන සවිය තුළින් සාක්කු පුරවා ගැනීම, වංචාව, දූෂණය, හොරකම, නාස්තිය, රාජ්‍ය දේපළ අනිසි ලෙස පරිහරණය කිරීම යන ජාතික අපරාධවලට එම දේශපාලන චරිතය තුළ කිසිදු ඉඩක් නොවීය. 


තම පරපුරට උරුමව තිබූ ඉඩකඩම්, අලි ඇතුන්, කඩ වීදි, ගොඩනැගිලි හා වෙනත් වත්කම් තම දේශපාලන බලය පෙන්වන ආභරණ ලෙස පාවිච්චි  නොකළ එතුමා ඒ සියල්ල අවංක දේශපාලනය වෙනුවෙන් කැප කර අහිමිකර ගත්තේය. 


සාකච්ඡා මේසයේදී පාර්ලිමේන්තුවෙදී ද එළිමහන් වේදිකාවේදී ද වික්‍රමනායකයන්ගේ දැනුම, බුද්ධිය, පරිණතභාවය මෙන්ම බහුශ්‍රැතභාවය දර්ශනය විණි. ඒ අතරින් එතුමාගේ දේශපාලනයේ පිරිසිදු අවංක හා නිර්මලභාවය හා ජනතා පැතුම් පිළිබඳව ඇති පරිඥානයද උද්දීපනය විය. 


මෙතෙක් ජනාධිපතිවරයකු රටින් බැහැර වූ අවස්ථාවක එම ධුරයේ වැඩ ආවරණය කළ යම් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු සිටියේ නම් ඒ රත්නසිරි වික්‍රමනායක පමණි. ඒ ජනපතිනි චන්ද්‍රකා කුමාරතුංග ජනපතිනිය රටින් බැහැර වූ සමයේය.


රයිගම් කෝරලයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා තම පුත්‍රයා වන විදුර වික්‍රමනායකයන් ජාතික දේශපාලනයට දායාද කර 2016 දෙසැම්බර් 27 වැනිදා 83 වසරක නොකැළැල් දිවියෙන් සමුගත්තේ පූර්වාදර්ශ රැසක් සනිටුහන් කරමිනි.

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

ශ්‍රී ලංකාවේ එකම ‘වැඩ බැලූ ජනාධිපති’

ඔබේ අදහස් එවන්න

 

 
 

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12501 3

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6920 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14640 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 15112 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2899 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 486 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1428 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1620 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site