IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


වෝකි ටෝකියෙන් කතා කළ මහ තොප්පිය කවුද

 

“ඔන්න සර්ට යන්න අපි වාහනයක් ගෙනාවා!” යි කී ඔහු බයිසිකලය ගසකට හේත්තු කර හා... ස්... හා.... ස්... ගා හති ඇරියේය.
“කොහොමද අයිසේ මේ මහ කැලේ මම බයිසිකලේකින් යන්නෙ? මොකෝ කැලේ පාරක් තියෙනවයි කියල ද?”


ඇමැතිවරයා තම සිතට නැගුණු බියත්, කෝපයත් යටපත් කරගෙන එසේ කී විට රාජගුරු පැවසුවේ “සර් බසිකලේ ප්‍රේම් එක උඩ ඉඳගන්න. අපි තල්ලු කරගෙන යන්නම්” යනුවෙනි එම කටුමැටි පැලේ පසකට ගොස් සොයා බැලූ පොලිස්පතිවරයා එය ගෙනැවුත් තිබුණේ කකුලේ බරපතළ නොණ්ඩියක් තිබූ ඇමැතිවරයාට එතරම් දුරක් පයින් ගමන් කිරීමට නොහැකි යැයි දැනසිටි බැවිනි.


“මට ඕන බයිසිකලයක් නෑ. අපි මෙතනින් පුළුවන් තරම් ඉක්මනට යමු!” යි කෝපයෙන් කී රත්වත්තේ මහතා තම සුපුරුදු සැරයටියත් දකුණතින් ගෙන ඉදිරියට ගියේය. සෙසු පිරිස ඔහු පසුපස ගියේ ඒ හැර වෙනත් විකල්පයක් නොතිබූ බැවිණි. කෙසේ වෙතත් ඇමැතිවරයාගේ කකුලේ ආබාධය නිසා සියලු දෙනාගේම ගමන සිදුවූයේ බෙහෙවින් මන්දගාමීවය. මේ අතර හමුදා හෙලිකොප්ටරය නතර කළ ස්ථානයේ පිහිටි කටුමැටි පැල හිමි තිරුචෙල්වම් නමැති දෙමළ ජාතිකයා පිරිසට මඟ පෙන්වීම සඳහා කැමැත්තෙන්ම ඉදිරිපත් වී සිටීම ඔහුන්ගේ සිත්වලට බලවත් සහනයක් විය.


“අපි හැමෝම මාත් එක්ක ගාට ගාට ගියොත් රෑ වෙන්න කලින් කාටවත් වවුනියාවට යා ගන්න බැරි වේවි! ඒ නිසා ඔය තුන් හතර දෙනෙක් තිරුචෙල්වමුත් එක්ක ඉක්මනට යන්න බලන්න. එතකොට ඒ අයට පුළුවන් වවුනියාවෙන් ආධාර අරගෙන ඇවිත් අපිවත් ගෙනියන්න” යි කී අනුරුද්ධ රත්වත්තේ ඔවුන් සමග සිටි ගුවන් නියමුවා ඇතුළු හතර දෙනෙකුට තිරුචෙල්වම් සමග ඉදිරියට යන්නැයි අණ කළේය.


“ඔව්, ඒක හොඳයි” කී හමුදාපති රොහාන් දළුවත්ත තමන් සතුව තිබූ වෝකිටෝකි යන්ත්‍රය ද එම පිරිසට දුන්නේය. ඔවුන් සතුව තිබූ වෝකිටෝකි යන්ත්‍ර දෙකම ඒ වනවිට තිබුණේ අක්‍රීයවය.


“දැන් ඒ අය යන්න ගියා. රාජගුරුයි, රොහාන් දළුවත්තයි තවත් හතර දෙනෙකුයි මාත් එක්ක පුරුදු විදියට හෙමි හෙමින් යන්න පටන් ගත්තා. හැබැයි මගේ හිතට ඒක ලොකු වධයක් වුණා. මොකද ඒ අයත් අර කට්ටිය එක්ක ගියා නම් අපට වඩා පැය දෙකකටවත් කලින් වවුනියාවට යන්න තිබුණා. ඒත් ඔවුන් “නෑ.. නෑ... අපිත් සර් එක්ක එනවා” කියලා මාත් එක්ක නතර වුණා. දැන් වෙලාව සවස දෙකට විතර ඇති. ඔන්න එතකොටම වගේ ලොකු පිපිරුම් හඬක් පිටිපස්ස පැත්තෙන් ඇහුණා. ඒත් එක්කම අපි දැක්කා ඈතින් විශාල කළු දුමක් නගිනවා. එතකොට අපි දැනගත්තා කොටි ඇවිත් අපේ හෙලිකොප්ටර් එක පුපුරවපු බව. ඒ කියන්නේ කොටි දැන් අපේ පස්සෙන් අනිවාර්යෙන්ම එන බවත් අපි දැනගත්තා.


තමන් ඇතුළු පොලිස් හා හමුදා ප්‍රධානීන් පිරිස වවුනියාවට නොදුරු කොටි කැලේ අතරමං වූ සිද්ධිය ගැන “මහයායේ කතාව” නමැති තම චරිතාපදානයේ සඳහන් කරමින් එසේ කියන අනුරුද්ධ රත්වත්තේ මහතා එහි වැඩිදුරටත් සඳහන් කරන්නේ එම තත්ත්වය මත තමන් මුහුණ පා සිටි අවදානම ගැන ඉතා හොඳින්ම අවබෝධ කරගත් බවය. ඒ සමගම පට.. පට.. ගා වෙඩි හඬවල් කීපයක් ද එක දිගට ඈතින් ඇසුණේය. එහිදී රත්වත්තේට සිතුණේ තමන්ගේ උපදෙස් පරිදි ඉක්මනින් ඉදිරියට ගිය පිරිස කොටින්ට අසුවී ඇතැයි යනුවෙනි. විශේෂයෙන්ම ඔහු බියට පත්ව සිටියේ තමන් ඇතුළු පිරිස ප්‍රාණ ඇපකරුවන් වශයෙන් කොටින් විසින් අල්ලා ගනු ලැබුවහොත් එමගින් රජයට මුහුණ පෑමට සිදුවිය හැකි බරපතළ ප්‍රශ්නය ගැනය.


“යම් විදියකින් කොටි ඇවිත් අපිව අල්ලා ගත්තොත් එහෙම මම උන්ට යටත් නොවී ඔළුවට වෙඩි තියාගෙන මැරෙනවා.!” යි කී ඇමැතිවරයා තමන්ගේ ඉණේ තිබූ පිස්තෝලය ගෙන එහි මැගසින් එක ගලවා එයින් එක උණ්ඩයක් ගෙන තම උඩ සාක්කුවේ දමා ගත්තේය. ඒ දුටු සෙසු ආරක්ෂක ප්‍රධානීන් ද තම තමන්ගේ පිස්තෝල එළියට ඇද ඒ අතරින් එක උණ්ඩය බැගින් ගෙන සාක්කුවේ දමා ගත්තේ තමනුත් එසේ කරන බවට සපථ කරමිනි.


මේ වනවිට ඔවුහු මහ කැලේ මැද්දෙන් සැතපුම් දහයකට ආසන්න දුරක් පයින් ගමන් කර තිබුණහ. වෙලාව සවස තුනට ආසන්න වුවද චණ්ඩ හිරු රැස් ඔවුන්ගේ ගතට මෙන්ම සිතට බලවත් පීඩාවක් ගෙන දුන්නේය. ඉදිරියට තබන හැම අඩියක් පාසාම අනුරුද්ධ රත්වත්තේගේ ආබාධිත කකුල ඉවසිය නොහැකි වේදනාවකින් පුපුරු ගැසුව ද හෙතෙම ඒ බවක් සෙසු අයට නොහැඟෙන සේ ඉවසාගෙන සිටියේය.


ඒ සමගම වාගේ හෙලිකොප්ටර් යානා කීපයක් ඉහළ අහසේ ඒමේ අත සැරිසරන අයුරු පෙනුණ ද ඒවා ගමන් කළේ ඔවුන් සිටි ස්ථානයට බොහෝ සෙයින් දුර බැහැරකිනි. එහෙයින් ඔවුන්ට කළ හැකිව තිබුණේ ඈත අහසේ සැරිසරන එම හෙලිකොප්ටර් යානා දෙස බලමින් ඒවායේ නියමුවන්ට අමු තිත්ත කතාවෙන් බැණ වැදීම පමණි.


මේ වනවිට ඔවුන් අතර සිටි සියලුම දෙනාගේ ඇඳුම් දාඩියෙන් පෙඟී ගොස් තිබුණේය. එහෙත් ඒ ගැන සිතීමට පවා ඔවුන්ට ඉස්පාසුවක් නොතිබිණි. තමන්ගේ එක කකුලකට යකඩ පටියක් දමා එය 17 පොළකින් පුරුද්දා තිබෙන තත්ත්වයක් තුළ කලින් එක දිගට යාර 500ක් තරම්වත් දුරක් ඇවිදීමට නොහැකි වූවද මෙදින සැතපුම් දහයකටත් වැඩි දුරක් පයින් ගමන් කර තිබීම රත්වත්තේ ඇමැතිවරයාගේම පුදුමයට හේතුවක් විය.


මේ අතර පොලිස්පතිවරයා අත තිබූ වෝකිටෝකි යන්ත්‍රය එක්වරම පණ ගැන්විණි. ඒ තුළින් ඇසුණේ ගැහැනු කටහඬකි. එලෙස කතා කරන ලද්දේ වවුනියාව මූලස්ථාන පොලිසියේ කාන්තා පොලිස් නිලධාරිනියක බව වටහාගත් රාජගුරු මහතා ඇය ඇමතීමට උත්සාහ කළේය. එහෙත් එමගින් පවා තමන් ඇතුළු පිරිස සිටින ස්ථානය කොටින් දැනගනු ඇතැයි බියවූ පොලිස්පතිවරයා එක්වරම තමන් කවුරුන්දැයි හඳුන්වා දීමට ද මැළි වූයේය. එහෙයින් ඔහු කතා කළේ තමන් පොලිසියේ මහ තොප්පිය බව කියමිනි.
“කවුද මහ තොප්පිය? කොහෙන්ද කතා කරන්නේ? මම දන්න මහ තොප්පියක් නැහැ! කියන දෙයක් පැහැදිලිව කියනවා.” 
වවුනියාව මූලස්ථාන පොලිසියේ පණිවුඩ හුවමාරු යන්ත්‍රය භාරව සිටි පොලිස් නිලධාරිනිය එසේ කියද්දී රාජගුරුගේ ඉවසීමේ සීමාව රතු කට්ට පැන්නේය.


“ගෑනියේ මම රාජගුරු! රාජගුරු කතා කරන්නේ.” ඔහු තමන් රාජගුරු යැයි හඳුන්වා දුන්විට පවා එම නිලධාරිනිය “කවුද රජගුරු කියන්නේ?”යි දිගින් දිගටම විමසා සිටීම එහි සිටි සෙස්සන්ට ද තරමක විනෝදයක් ගෙනදුන් සිද්ධියක් විය.


උන්හිටි ගමන් එම කාන්තා පොලිස් නිලධාරිනියගේ හඬ වෙනුවට පිරිමි කටහඬක් වෝකිටෝකි යන්ත්‍රය තුළින් ඇසුණෙන් පොලිස්පතිවරයා යළිත් කතා කළේය. එවර කතා කර තිබුණේ ඒ අසලින් ගමන් කරමින් සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකි. ඒ වනවිටත් ඇමැතිවරයා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් ගමන් කළ හෙලිකොප්ටරය අතුරුදන්වීමේ සිද්ධිය ගැන දැන සිටි හෙතෙම තම ප්‍රධානියාගේ කටහඬ එසැණින් හඳුනා ගත්තේය. ඒ අනුව ඔහු කියා සිටියේ කලබල නොවී එම ස්ථානයේම රැඳී සිටින ලෙසය. කලින් ගිය පස්දෙනා ඒ වනවිටත් වවුනියාවට ළඟාවී සිටින අතර පොලිසිය සහ යුද හමුදාව අතුරුදන් වූ ඇමැතිවරයා ඇතුළු පිරිස සොයා මහ වනය පීරමින් සිටින බව ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කියා සිටියේය. ඒ අනුව ඔවුන් මහ කැලේ ගසක් යට වාඩිවී ගිමන් හරිමින් සිටිය දී ස්නයිපර් භටයන් රැගත් හමුදා හෙලිකොප්ටර් කීපයක් එම ස්ථානයට ඉහළින් අහසේ සැරිසරන අයුරු දැකගත හැකිවිය. ඒ අතරින් එක් යානයක් එක්වරම පහළට පැමිණ ඒ අසල පිහිටි එළිමහන් ස්ථානයක නතර කර ඇමැතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිස නංවාගෙන එසැණින් ඉහළට නැගුණේ ඔවුන් සියලුම දෙනාගේ සිත්වලට බලවත් අස්වැසිල්ලක් සලසමිනි.


ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිස ගමන් කළ හෙලිකොප්ටරය කොටි කැලේ අතුරුදන් වීමේ සිද්ධිය දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවලට වාර්තා වී තිබුණේ දූෂමාන ආරංචියක් වශයෙනි. ජනාධිපතිනියගේ උපදෙස් පරිදි ආණ්ඩුව ද එය මොනම අයුරකින්වත් තහවුරු නොකළේය. එහෙත් එදින සවස 4.00ට පමණ රජය මගින්ම එම සිද්ධිය සියලුම මාධ්‍ය ආයතනවලට අනාවරණය කර තිබුණේ පසුදා නිකුත් වූ මෙරට හැම මුද්‍රිත මාධ්‍යයකටම දැවැන්ත සිරස්තලයක් සපයා දෙමිනි.

නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (1)

වෝකි ටෝකියෙන් කතා කළ මහ තොප්පිය කවුද

rohan Sunday, 26 March 2017 08:47 AM

රට වෙනුවෙන් කොටි කටට ගිය නියම ආරක්ෂක ඇමතිතුමන් තමයි අනුරුද්ධ රත්වත්තේ මේ කට්ටිය කරපු මහගු කැපකිරීම් නිසා තම යුද්දය ජය ගත්තේ නමුත් කෝ අද මෙයාව අගයනවද.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 537 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 321 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site