IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මැතිවරණ වේදිකාවේ “ගොබ්බ කතා”‍

සර් ජෝන්ගේ නොපළ කතා

 

අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා තමන් විසින්ම රචනා කරන ලද ජීවිත කතාවේ දක්වා ඇත්තේ මෙරට පාලනය කළ අධිරාජ්‍යවාදීන් ඇතැම් රාජ්‍ය කටයුතුවල දී ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතක් අනුගමනය කළ බවයි. එබැවින් රටේ අභ්‍යන්තර පාලනය සාමාන්‍ය රටවැසියන් අතට පත්කිරීමේ ඔවුන්ට වුමනාවක් තිබූ බව ද හෙතෙම කියයි. 
“ඔවුන් රටේ පාලනය අප අතට පත්කළේ ඉතා සෙමෙන් වුවත් 1931 පමණ වනවිට පාලනය සම්බන්ධයෙන් තරමක වගකීම් අපට පවරා තිබුණා. එමෙන්ම විදේශීය පාලනය විවේචනය කිරීමේ අවස්ථාව පවා අපට තිබුණා. මහජන මතය සංවිධානය කර ව්‍යවස්ථා සංශෝධනය සඳහා උද්ඝෝෂණය කිරීමේ ඉඩ කඩ හෝ ආණ්ඩුව විවේචනය කිරීම ඔවුන් කිසිම අවස්ථාවක දී සීමා කළේ නැහැ. ජාතියේ සමගියත් සමගියට සරිලන නායකයනුත් සිටි සෑම අවස්ථාවක දී ම අධිරාජ්‍යවාදී පීඩනය මගහරවා ගැනීමට මහජන මතය කියන ආයුධය අපි අතේ තිබුණා.”‍ 


ඔහු පවසන්නේ 1931 දී තමන් මුල්වරට දේශපාලනයට පැමිණි බවයි. ලංකාවට ලැබුණු ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ සර්ව ජන ඡන්ද බලය තුළින් තරමක ස්ව පාලනයක් දිනා ගැනීමට හැකිවීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීමේ ඉතා වැදගත් පියවරක් බව ද ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා පවසා තිබේ. 


“1931 බිහිකළ රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීන් තේරීමට තිබූ පළමුවැනි ඡන්දයේ දී මා ඉදිරිපත් වුණේ කුරුණෑගල ආසනයට. දේශපාලන පක්ෂයක් හෝ ප්‍රතිපත්තියක් හෝ මේ මැතිවරණයේ දී තිබුණේ නැහැ. එදා මට පක්ෂව වගේ ම විපක්ෂවත් ඉදිරිපත් කළ කරුණු ඉතා හාස්‍ය ජනකයි. අවුරුදු 25ක දේශපාලනයෙන් පසු මේ ගැන සිහිපත් කරන විට හිතෙන්නේ එදා සිටි තත්ත්වයත් අද අප සිටින තත්ත්වයත් අතර විශාල වෙනසක් ඇති බව”‍ යැයි එදා පැවති පළමු මැතිවරණය මෙනෙහි කරමින් කොතලාවල මහතා සඳහන් කර තිබේ. 


ඔහු පවසන්නේ එදා තමන්ට පක්ෂව කටයුතු කළ ඇතැම් පිරිස් ඔහු රටට සේවය කිරීමට ඉතා උනන්දුවෙන් බලාපොරොත්තුවෙන් සිටින ආගමික හා ජාතික භේදයකින් තොර දේශප්‍රේමී තරුණයකු ලෙස හඳුන්වා දුන් බවයි. තමන් ප්‍රදේශයට එතෙක් කර තිබූ සේවය ද ඔවුහු විස්තර කළ බව කොතලාවල මහතා පවසයි. 


“ඔවුන් මා ඉදිකළ පාසලක් ගැනත් පේෂකර්ම මධ්‍යස්ථානයක් ගැනත් කීවා. එමෙන්ම පාලන කටයුතුවල දී මා අපක්ෂපාතීව සහ පවිත්‍රව කටයුතු කිරීමට තරම් දැඩි ආත්ම ශක්තියකින් යුතු තරුණයකු හැටියටත් ඔවුන් විසින් මා හඳුන්වා දුන්නා. ඇතැම් වේදිකාවල කීවේ මා ලංකාවේ නිදහස සඳහා සටන් කරන තරුණ නායකයන් අතරින් කෙනෙකු බවයි. කුරුණෑගල ප්‍රදේශයේ මට අයත් වතු සහ මිනිරන් පතල් තිබෙන බැවින් පළාතේ වැසියන්ට නොයෙක් අයුරින් සේවය කිරීමට මා තුළ විශේෂ සුදුසුකමක් ඇතැයි ද මා වෙනුවෙන් රැස්වීම් පැවැත්වූ අය නිතර නිතර කීවා මට මතකයි.”‍ ඔහු තම පළමු මැතිවරණ සටන සිහිපත් කර ඇත්තේ ඒ ආකාරයෙනි. 


වරක් එක් රැස්වීමක දී කථිකයකු කියා ඇත්තේ ජෝන් කොතලාවල තරුණයාට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිතයකු ලෙස ලැබෙන වැටුප කිසිම පැකිලීමකින් තොරව රට වෙනුවෙන් කැපකිරීමට ඔහු සූදානම්ව සිටින බවයි. කොතලාවල මහතා පසුකාලීනව ඒ කතාව සිහිපත් කරමින් කියන්නේ ඒ වනවිටත් සැළකිය යුතු ධනවතෙකුව සිටි තමන්ට රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් ලැබෙන වැටුප රටේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කිරීම අපහසු කාර්යයක් නොවන බවයි. එවැනි දෑ පැවසීමට තරම් වැදගත් නොවූව ද වේදිකාවල වැඩසටහන් මෙහෙයවූ කථිකයන් එවැනි වැඩකට නැති කතා රස කරමින් කියූ බව ද කොතලාවල මහතා පසුකාලීනව සඳහන් කර තිබේ. 


“ඔවුන් මොනවා කීවත් මා කීවේ ඩොනමෝර් ව්‍යවස්ථාවේ දක්නට ලැබෙන දුර්වලතා ඉවත් කර නියම වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගොඩනැගීමේ පදනමක් කර ගැනීමට හැකිවන පරිදි එය සංශෝධනය කර ගැනීමට වෙහෙසෙන බව.”‍


ඔහු පවසන්නේ රටක අභිවෘද්ධිය රඳා පවතින්නේ ව්‍යවස්ථා පනත් හා නීති ගැන සියුම් තර්ක ඉදිරිපත් කිරීමටත් අප තුළ ඇති දක්ෂතාව උඩ නොව  අපේ රට මුහුණ පා ඇති ආර්ථික ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා අප ගන්නා පියවර හා මහන්සිය මත බවත් ඔහු සෑම වේදිකාවක දී ම සිහිපත් කර තිබේ. 


එමෙන්ම ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ඉන්දීය නිදහස් සටනේ නායකයකුව සිටි ජවහර්ලාල් නේරු කුරුණෑගලට පැමිණි අවස්ථාවක දී දැක්වූ අදහස් ද මතක් කරමින් මේ මැතිවරණ වේදිකාවේ දී ඒ බව පැහැදිලි කර ඇත.

 

සජීව විජේවීර
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

මැතිවරණ වේදිකාවේ “ගොබ්බ කතා”‍

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site