IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මැතිනියගේ ඔඩොක්කුවට වමනය කළ මාධ්‍යවේදියා

අගමැතිවරයෙකු හෝ අගමැතිවරියකගේ ඩඩොක්කුවට (උකුලට) වමනය දැමීම බලවත් වරදකි. ලෝකයම පිළිගත් පාලකයෙකුට මෙවැන්නක් සිදුකිරීම බෙල්ලට තොණ්ඩුව නොව බෙල්ල ගහලා යන වැඩකි. මෙවැන්නක් ගුවනේදී සිදුවීම මහා ජංජාලයකි.


මා මේ ලියන්නට යන්නේ මීට වසර 30කට පෙර ශ්‍රී ලංකාවේ අහස් තලයේ සිදුවූ එක්තරා සිද්ධියක් ගැනය. මෙය සිදුවන විට “පයිලට්” හැරෙන්නට හෙලිකොප්ටරය තුළ හතර දෙනෙක් සිටියහ. ඉන් දෙදෙනෙකු මාධ්‍යවේදීන්ය. අනිත් දෙදෙනා ශ්‍රී ලංකාවේ මුල් පුටුවට තේරී පත්වූවන්ය. කොටින්ම කියනවා නම් ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය සියතට ගත් දෙදෙනෙකි.


මේ පාලකයින් දෙදෙනාගෙන් එක් අයෙක් ලංකාවේ අගමැති ධුරයට තුන් වරක්ම තේරී පත්වූහ. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. අනිත් තැනැත්තා 2015 දී අගමැති තනතුරටත් ඉහළ ධුරය වූ විධායක ජනාධිපති තනතුරට පත් මෛත්‍රිපාල සිරිසේනය. ඇය ලෝකයේ ප්‍රථම අගමැතිවරියයි. ඔහු ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතියි.
පොළොන්නරුවේ රැස්වීමක් ඇමතීමට සිරිමාවෝ මැතිනිය ගියේ හෙලිකොප්ටරයකිනි. මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ රජයේ සේවයෙන් ඉවත් වී දේශපාලනයට පිවිසි මෛත්‍රීය. මැතිනිය සමග මෙදින පොළොන්නරුවට පැමිණියේ මාධ්‍යවේදීන් දෙදෙනෙකි. එක් අයෙක් ගුවන් විදුලියේ අමරබන්දු රූපසිංහය. අනිත් තැනැත්තා ඡායාරූප ශිල්පී එඞ්වින් වීරසිංහය.


පොළොන්නරුවේ රැස්වීම පවත්වද්දී අමරබන්දු රූපසිංහ මදු විතෙන් හොඳටම සප්පායම් වී සිටියේය. රැස්වීම අවසන් වීමෙන් පසු සිරිමාවෝ මැතිනිය කන්තලේ පවත්වන තවත් රැස්වීමකට යාම සඳහා පැමිණෙන ලෙස මෛත්‍රිපාල සිරිසේනයන්ට පැවසුවාය. මේ අනුව අමරබන්දු සහ වීරසිංහ ද සමඟ ඔවුහු හෙලිකොප්ටරයෙන් කන්තලේ බලා පිටත් වූහ.
විනාඩි 20ක පමණ කාලසීමාවක් ඇතුළත හෙලිකොප්ටරය තුළ ගුවනේදී සිරිමාවෝ මැතිනිය සහ මෛත්‍රි කතා කළේ ජේ. ආර්. ගේ ආණ්ඩුව පෙරළන එක ගැනය. මේ දේශපාලන කතා සිදුවෙද්දී හෙලිකොප්ටරය තද සුළං පහරකට හසුවී ගැස්සුණේය. දවල් තරු බලමින් සිටි අමරබන්දු රූපසිංහ පැද්දී දෙකට නැවී සිරිමාවෝ මැතිනියගේ ඔඩොක්කුවට වමනය දමන්නට පටන් ගත්තේය. මුළු හෙලිකොප්ටරය පුරාම අරක්කු සහ වමන ගඳ පැතිරුණේය. සිරිමාවෝ මැතිනියගේ මුළු සාරියම වමනෙන් පිරී ගියේය.


ඉන්පසු හෙලිකොප්ටරය තුළ සිදුවූ වචන හුවමාරු පිළිබඳ විස්තර මෙම සටහනට ඇතුළත් නොකරමි. හෙලිකොප්ටරය කන්තලේ ගොඩ බැස්ස විට සිරිමාවෝ මැතිනියට සිදුවූයේ නිවසකට ගොස් සුද්ධ පවිත්‍ර වී ඇඳුම් මාරු කරගෙන රැස්වීමට යාමටය.


මෙම සිද්ධියෙන් පසුවද මැතිනිය අමරබන්දු සමඟ අමනාප නොවූවාය. ඔහුට ශ්‍රීලනිප ප්‍රකාශනය වූ “දිනකර” පත්‍රයේ සංස්කරණ කටයුතු ද බාර දුන්නාය. අමරබන්දු ගුවන්විදුලියේ තම මිතුරන් සමඟ අහසේදී මෙම කබරයා (වමනය) දැමීමේ සිද්ධිය නිතරම කියමින් ඔවුන් හිනැස්සුවේය.


අමරබන්දු රූපසිංහ ගුවන් විදුලි නිවේදකයෙකු, ප්‍රවෘත්ති සංස්කාරකවරයෙකු, පුවත්පත් කතුවරයෙකු හා කථිකයෙකු වශයෙන් උපන් හපන්කම් දැක්වූ අයෙකි. 1972 සිට 1977 දක්වා මා ගුවන්විදුලියේ ප්‍රවෘත්ති අංශයේ සේවය කළ නිසා ඔහු සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වීමට අවස්ථාව ලැබිණි. ඔහු ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ ආකාරය අති විශිෂ්ටය. ඔහු කිසිදාක තම දේශපාලන ප්‍රතිපත්ති වෙනස් නොකළ මාධ්‍යවේදියෙකි. ඔහු අකාලයේ මියගොස් දීර්ඝ කාලයක් ගත වී ඇත. එදා හෙලිකොප්ටරයේ ගිය ඡායාරූප ශිල්පී වීරසිංහ ගුවනින් යාපනයට යද්දී කලකට පෙර කොටි ප්‍රහාරයකට හසු වී ගුවනේදීම අවසන් හුස්ම හෙළුවේය.


දැන් ගුවනින් පොළොන්නරුවට යන විටදී “වමනය සිද්ධිය” මෛත්‍රි ජනපතිට සිහිපත් වනු ඇත. ඒ වනවිට මැදවච්චියේ මෛත්‍රිපාල සේනානායක සමඟ විරසක වී සිටි සිරිමාවෝ මැතිණිය පොළොන්නරුවේ මෛත්‍රිපාල සිරිසේන කරළියට ගෙන ඒමට ක්‍රියා කළාය. එම සිද්ධිය සිදුවී වසර 6කින් සිරිමාවෝ මැතිනිය තුන් වැනිවරටත් අගමැතිනිය බවට පත් වූවාය. ඉන් වසර 30ක් ගත වූ පසු මෛත්‍රිපාල සිරිසේන අගමැතිකම අබිබවා විධායක ජනාධිපති තනතුරට පත්වුණේය. මේ තරුණ ගැටයා අනාගතයේදී තම තනතුරත් අබිබවා යනු ඇතැයි සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනිය එදා හෙලිකොප්ටරයේදී සිතන්නට නැත.

 

 


සිරී හීන්පැල්ල 
නිව්යෝර්ක් නුවර සිට...
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

මැතිනියගේ ඔඩොක්කුවට වමනය කළ මාධ්‍යවේදියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site