IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


බුද්ධරක්ඛිත හිමි අතට පිස්තෝලයක්

1959 අගෝස්තු මස දිනක දී බුද්ධරක්ඛිත එච්. පී. ජයවර්ධන සමග සෝමාරාම මුණගැසීමට ගියේ මෝටර් රථයෙනි. ඒ වන විට සෝමාරාම සිටියේ බෙහෙත් සාප්පුවේය. බුද්ධරක්ඛිත සෝමාරාම මෝටර් රථය තුළට කැඳවා ගත්තේය. 


“වරායෙන් ලක්ෂ ගණනක් පාඩුයි. මේ විදිහට රටේ වැඩ කෙරීගෙන ගියොත් අපිට තැනක් නැති වෙනවා. සිංහලයාට සිංහල භාෂාවට හෝ ආගමට අනාගතයක් නැති බව පේන්න තියෙනවා. අපි කොහොම හරි අගමැති විනාශ කර දමන්න ඕනෑ”යි බුද්ධරක්ඛිත කීය.
“එතකොට අපිට මොකද වෙන්නේ?” සෝමාරාම ඇසුවේය.


“කිසි දෙයක් වෙන්නෙ නැහැ. මං ඒව ඔක්කොම හරිගස්සලයි තියෙන්නේ. මේ වැඬේ විතරක් හරියට කරන්න. සුමාන දෙකකින් මම තමුන්ව රිමාන්ඞ් එකෙන් එළියට ගන්නවා. කිසි දේකට බය වෙන්න එපා” බුද්ධරක්ඛිත සෝමාරාමට පැවසීය.


“ඉතින් මේ වැඬේ කවද ද කෙරෙන්නේ?”


“අපි හෙට අනිද්දාට පිස්තෝලයක් ගෙනත් දෙන්නම්” කියූ බුද්ධරක්ඛිත හිමි සෝමාරාම ද කැටුව අමර විහාරය අසලදී ඔහු රථයෙන් බස්සවා යන්නට ගියේය.

 

 

ඉන් දින දෙක තුනකට පසු බුද්ධරක්ඛිත හිමි නිව්ටන් පෙරේරා කැඳවා තමාට පිස්තෝලයක් සොයා දෙන ලෙස කියා සිටියේය. බෞද්ධ භික්ෂුවක් පිස්තෝලයක් ඉල්ලන්නේ කුමකට ද යන්න නිව්ටන් පෙරේරාට දැනගැනීමට අවශ්‍ය නොවීය. සමහර ප්‍රසිද්ධ විහාරස්ථානවල නායක හිමිවරු ළඟ පිස්තෝල තිබෙන බව නිව්ටන් පෙරේරා දැන සිටියේය.


බුද්ධරක්ඛිත හිමිට පිස්තෝලයක් සොයා දීමට නිව්ටන් පෙරේරා තීරණය කළේය. ඔහු සිය මිත්‍ර ඕසී කොරයා මුණගැසී අවශ්‍යතාව සැල කළේය. ඕසී කොරයා තමා ළඟ තිබූ රිවෝල්වරයක් නිව්ටන් පෙරේරාට දුන්නේය. එහෙත් ඊට අවශ්‍ය පතුරම් ඔහු ළඟ නොතිබුණි. පතරොම් සොයා ගන්නා ලෙස ඕසී කොරයා නිව්ටන්ට කීය.


නිව්ටන් පෙරේරා කැලණි විහාරයට ගොස් රිවෝල්වරය බුද්ධරක්ඛිත හිමිට දුන්නේය. තමන් බලාපොරොත්තු වූවාටත් වඩා සුදුසු අවියක් ලැබීම ගැන බුද්ධරක්ඛිත සතුටු විය. නවලෝක මුදලාලි හෙවත් ධර්මදාස මුදලාලි මුණගැසී පතරොම් ටිකක් ඉල්ලා ගන්නැයි බුද්ධරක්ඛිත හිමි නිව්ටන් පෙරේරාට කීය. එහෙත් නවලෝක මුදලාලි ළඟ පතරොම් නොතිබුණි. පතරොම් අවශ්‍ය වී ඇත්තේ බුද්ධරක්ඛිත හිමිට බව දැනගත් නවලෝක මුදලාලි නිව්ටන් පෙරේරා කැටුව බී. ඩබ්ලිව්. පෙරේරා හමුවීමට ගියේය. නවලෝක මුදලාලි පතරොම් ගෙනෙන තෙක් නිව්ටන් පෙරේරා රෝලන්ඞ් ගරාජය අසලට වී සිටියේය. බී. ඩබ්. පෙරේරා පොලිස් සුපිරින්ටැන්ඩන්ට් වරයෙකි. කෙසේ නමුත් බුද්ධරක්ඛිත හිමිට පිස්තෝලයක් සහ පතරොම් අවශ්‍යව තිබුණේ කුමටද යන්න ඔවුන් කිසිවෙක් නොදැන සිටියා පමණක් නොව, ඒ ගැන විමසීමට හෝ උනන්දුවක් නොදැක්වූහ. බුද්ධරක්ඛිත කැලණි විහාරයේ විහාරාධිපති හෙයින් එවැනි අයෙකු මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට මෙලෙස ගිනි අවි පතරොම් සොයන බවක් කිසිවෙකුත් නොසිතන්නට ඇත.


නිව්ටන් පෙරේරා බුද්ධරක්ඛිත හිමිට පතරොම් සොයා දුන් පසු දිනෙක එච්. පී. ජයවර්ධන නිව්ටන් පෙරේරාගේ නිවසට ගියේ මෝටර් රථයෙනි. ඔහු නිව්ටන් පෙරේරා ද කැටුව කැලණි විහාරයට යන අතරමග දී අමර විහාරයට ගොස් සෝමාරාම ද රථයට ගොඩ කරවා ගත්තේය. කැලණි විහාරයේ දී ඔවුහු බුද්ධරක්ඛිත හිමි හමුවූහ. රිවෝල්වරය නිසි පරිදි වැඩ නොකරන බව බුද්ධරක්ඛිත හිමි නිව්ටන් පෙරේරාට පැවසීය. එවිට නිව්ටන් පෙරේරා රිවෝල්වරය සුද්ධ කර, එයින් වෙඩිල්ලක් තබා බැලීමට සූදානම් විය.


බුද්ධරක්ඛිත හිමි එයට ඉඩ නොදුන්නේය. පන්සල් භූමියෙන් පිටතට ගොස් බලමු යැයි බුද්ධරක්ඛිත යෝජනා කළ හෙයින් සියලු දෙනාම ජයවර්ධනගේ මෝටර් රථයෙන්ම මුතුරාජවෙලට ගියෝය. පාර අයිනේ රථය නතර කළ පසු නිව්ටන් පෙරේරා රථයෙන් බැස රිවෝල්වරයෙන් වෙඩි කිහිපයක් අහසට තැබීය. රිවෝල්වරය නිසි පරිදි ක්‍රියා කළ අතර, සෝමාරාම රථයෙන් බැස රිවෝල්වරය ඉල්ලා ගත්තේය. නිව්ටන් පෙරේරා එය පාවිච්චි කරන අන්දම කියා දුන්නේය.


සෝමාරාම කඳුරු ගසක් ඉලක්ක කර වෙඩි කිහිපයක් තැබීය. එක් වෙඩිල්ලක් වැදී කඳුරු ගෙඩියක් බිමට වැටුණු විට “අන්න හොඳයි” යනුවෙන් කිසිවෙක් පැවසූහ.


වෙඩි තැබීමට පුහුණුවීම සඳහා මුතුරාජවෙලට ගිය දිනට දින දෙකකට පමණ පසු සෝමාරාම කරෝලිස් අමරසිංහගේ නිවසට ගියේය. “වෙඩි තියන්න පුරුදු වෙන්න ගියේ මොනවටද?”යි අමරසිංහ සෝමාරාමගෙන් ඇසුවේය. “මහ එකාට වෙඩි තියන්නැයි”යි සෝමාරාම පිළිතුරු දුන්නේය. “මහ එකා කියන්නේ කවුද?”යි අමරසිංහ ඇසූ විට “අගමැතිට” යයි නැවත සෝමාරාම පිළිතුරු දුන්නේය. “අනේ හාමුදුරුවනේ ඕව ගැන කතා කරන්න මෙහෙ එන්න එපා” යයි අමරසිංහ බැගෑපත් විය. එම අවස්ථාවේදී බුද්ධ රක්ඛිත ජයවර්ධන ද සමග මෝටර් රථයෙන් අමරසිංහගේ නිවස ඉදිරිපිටට පැමිණියේය. “හා යමු දැන් පරක්කු වුණා” යයි රථයෙන් නොබැසම බුද්ධ රක්ඛිත හිමි සෝමාරාමට කතා කළේය. අනතුරුව සෝමාරාම රථයට ගොඩ වූ අතර, ඔවුහූ එතනින් පිටව ගියහ.


අගමැතිවරයාට වෙඩි තබා ඇති බව අමරසිංහ දැන ගන්නා විට ඔහු සිටියේ පළාත් ආණ්ඩු සභා කාර්යාලයේය. ඒ වන විට උදෑසන 10ට හෝ 10.30ට පමණ ඇත. දහවල් බුද්ධ රක්ඛිත හිමි අමරසිංහට දුරකථනයෙන් කතා කළේය.


“වෙදමහත්තයෝ කිසිදේකට බයවෙන්න එපා. මේ ගැන කාටවත් කියන්න එපා” යි බුද්ධ රක්ඛිත හිමි අමරසිංහට කීහ.


“ඕව ගැන කතා කරන්න එපා” කී අමරසිංහ දුරකථනය විසන්ධි කළේය.


සැප්තැම්බර් මස 26 වැනි දින අගමැතිවරයා මියගිය බව අමරසිංහට සැලවුණි. එදින ජයවර්ධන ඔහු මුණගැසීමට ගොස් හදිසි ගමනක් යාමට තිබෙන බව පවසා රුපියල් සියයක් ණයට ඉල්ලාගෙන ගියේය.


විසි හත්වැනි දින බුද්ධ රක්ඛිත හිමි අමරසිංහගේ නිවසට ගියේ මෝටර් රථයෙනි.


“මොකද මේ තමුසෙ මැරිච්ච මිනිහෙක් වගේ ඉන්නේ? මම දැන් අගමැතිතුමා ගැන ගුවන් විදුලි කතාවකුත් කරලයි ආවේ” බුද්ධරක්ඛිත හිමි අමරසිංහගේ සිත ධෛර්යමත් කිරීමේ අරමුණින් එසේ කීය. “අනේ හාමුදුරුවනේ මෙහාට එන්න එපා” යයි අමරසිංහ බැගෑපත් විය.
ඔක්තෝබර් මස 12 වැනි දින බුද්ධ රක්ඛිත හිමිගේ මෙටල් ඇන්ඞ් ජෙනරල් ටේ්‍රඩිං සමාගමේ සේවය කරන ග්‍රෙහැම් මහතා අමරසිංහ මුණගැසීමට ඔහුගේ නිවසට ගියේය. බුද්ධ රක්ඛිත හිමිට අමරසිංහ මුණගැසීමට අවශ්‍ය වී තිබෙන බව ග්‍රේහැම් මහතා පවසා ඔහුත් කැටුව කැලණි විහාරයට ගියේය. විහාරය අසල රථය නතර කළ ග්‍රෙහැම් මහතා අමරසිංහ එතැන බස්සවා යන්නට ගියේය. අමරසිංහ විහාරයට ගියේය.

 

 

 

මතු සම්බන්ධයි....

 

 

 

 

 

 

 

ප්‍රේමලාල් රණවිළ



අදහස් (0)

බුද්ධරක්ඛිත හිමි අතට පිස්තෝලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 612 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17552 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 719 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site