IMG-LOGO

2025 සැප්තැම්බර් මස 05 වන සිකුරාදා


පෝස්ටරයක් කළ හදියක්

 

මුලින් ඉතා හොඳින් ක්‍රියාත්මක වී විවෘත ආර්ථිකය ඇතිවීමත් සමග ක්‍රමයෙන් සාමාන්‍ය ආයතනයක් බවට පත් වී පසුව වසා දැමීමට ආසන්න තත්ත්වයට පත්වී දැනට යම් ප්‍රමාණයක ක්‍රියාකාරිත්වයක් ඇති ආයතනයක් ලෙස වී අලෙවි මණ්ඩලය හැඳින්විය හැකිය. වී අලෙවි මණ්ඩලය වී පිළිබඳව වූ සහතික මිල ස්ථාවරව පවත්වා ගැනීමට මෙන්ම ගොවි ජනතාවගේ වී හා වෙනත් භෝග විකුණා ගැනීමට විශාල වශයෙන් උපකාරී වූ ආයතනයකි. ඒ නිසාම ශ්‍රී ලංකාව පුරා සෑම ප්‍රදේශයකම මෙන් වී අලෙවි මණ්ඩලයේ ගබඩා හා වී මෝල් පැතිරී තිබුණි. 


70 හා 80 දශකයන්හි මෙම මණ්ඩලය කෙතරම් බලවත්ව තිබුණේද යන්න කෘෂිකාර්මික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයෙක් හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් වශයෙන් සිටි අභාවප්‍රාප්ත රංජන් විජේරත්න මහතා වරෙක ප්‍රකාශ කළේ කොළඹ හතේ ගැහැනුන් විවාහවීමට සොයන්නේ වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් බවයි. එතුමාගේ එම ප්‍රකාශයෙන් එකල වී අලෙවි මණ්ඩලය රටේ ප්‍රබලතම ආයතනයක් බවත් එහි නිලධාරීන්ද ප්‍රබල පිරිසක් වූ බව පෙනේ.


කෙසේ වුවද මෙම වී අලෙවි මණ්ඩලය සතුව වී මෝල් හා ගබඩා රාශියක් රටපුරා පැවති අතර ඉන් කච්චිගල්ආර වී මෝල විවෘත කළ අවස්ථාව පිළිබඳව අපේ මතකයට නැංවෙන සිදුවීමක් ගෙන හැර පෑමට අදහස් කරමි.


එකල කැකුළු සහල් නිෂ්පාදනය කළ ප්‍රධාන වී මෝලක් වූයේ අම්බලන්තොට වී මෝල් සංකීර්ණයයි. ඊට අමතරව අඟුණකොළපැලැස්ස කච්චිගල්ආර සහල් මෝල හා මොරකැටිය සහල් මෝල නවීනතම යන්ත්‍ර සූත්‍රවලින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වූ වී තම්බා කොටන සහල් මෝල් වශයෙන් ආරම්භ විය. හසලක, ඉඟිනියාගල - ගල්ගමුව වී මෝල් ද එම කාල පරිච්ඡේදයේම ආරම්භ වූ වී මෝල් වශයෙන් සඳහන් කළ හැකිය. මා මෙහි සඳහන් කළ සිදුවීම 1979 වසරේදී සිදුවිය. අඟුණකොළපැලැස්ස කච්චිගල් ආර වී මෝල් සංකීර්ණය විවෘත කිරීම ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජයේ කෘෂිකර්ම අමාත්‍ය ධුරය දැරු දිවංගත ඊ. ඇල්. සේනානායක මැතිතුමා කෘෂිකර්මය දියුණුවට විශාල වැඩ කොටසක් ඉටුකළ කෘතහස්ත දේශපාලනඥයෙකි. එතුමා කෘෂිකර්ම අංශයේ වැඩ සඳහා විවිධ ව්‍යාපෘති සඳහා ලංකාව පුරාම සංචාරය කළ අතර අනුරාධපුර වප් මඟුල් උත්සවය, තිස්සමහාරාම වප් මඟුල් උත්සවය ආදිය එතුමා විශේෂ උනන්දුවක් දක්වා අතිගරු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන් ගෙන්වා පවත්වන ලද විශේෂිත වූ වප් මඟුල් උත්සව වශයෙන්ද එකල ප්‍රසිද්ධ විය. කෙසේ හෝ වේවා කච්චිගල් ආර වී මෝල් සංකීර්ණය නවීන පන්නයේ මැෂින් හා අදාළ උපකරණ සමග හා සුදුසු මාදිලියේ ගොඩනැගිලි සමග ඉතා මනස්කාන්ත හා දර්ශනීය අයුරින් ඉදිකරවා නිම විය. ඒ අනුව එය එවක කෘෂිකර්ම අමාත්‍ය ඊ. ඇල්. සේනානායක මැතිතුමා ලවා විවෘත කරවීමට කටයුතු සූදානම් කරන ලදි. තංගල්ලේ පිහිටි වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලයත් අම්බලන්තොට පිහිටි වී මෝල් හා ගබඩා සංකීර්ණයත් ඒකාබද්ධව මෙම විවෘත කිරීම සංවිධානය කළේය. විශේෂයෙන් තංගල්ල කාර්යාලයේ උපදෙස් ඇතිව අම්බලන්තොට වී හා සහල් මෝල් සංකීර්ණය විසින් මෙම උත්සවය සංවිධානය කිරීමට දැඩි කැප කිරීමක් කළ බව එවකට අම්බලන්තොට සහල් මෝල් සංකීර්ණයේ ස්ථානභාර ඉංජිනේරු බෙනඩික් උල්ලුවිස්හේවා මහතා කීවේය. මේ අතර වී අලෙවි මණ්ඩලය මගින් කච්චිගල්ආර සහල් මෝල සඳහා ස්ථාන භාර ඉංජිනේරු වශයෙන් පත් කරන ලද්දේ එස්. පී. පී. සමරතුංග මහතායි. ඒ මහතාත් අම්බලන්තොට කාර්ය මණ්ඩලය සමග උත්සවයේ වැඩ කටයුතු සංවිධානය කරද්දී පෝස්ටරයක් මුද්‍රණය කොට ප්‍රචාරයක් ලබාදීමද එහි එක අංගයක් විය. 


රුහුණේ ගොවි ජනතාවට ඉතාම ප්‍රයෝජනවත් වන මෙම ව්‍යාපෘතිය ගැන ප්‍රචාරයක් ලබා දීම ඉතා හොඳින් කළ යුතු බව බලධාරීහු තේරුම් ගත්හ. ඒ අනුව ගරු කෘෂිකර්ම අමාත්‍යතුමාගේ සුරතින් හා වී අලෙවි මණ්ඩලයේ සභාපතිගේ සහභාගිත්වයෙන් මෙම වී මෝල විවෘත කරන බව සඳහන් කර ඉතා අලංකාරවත් පෝස්ටරයක් මුද්‍රණය කිරීමට අවශ්‍ය කරන කටයුතු ඉටු කොට එය මුද්‍රණය සඳහා යවන ලද්දේ මාතරටයි. දැන් මෙන් එකල එවැනි පහසුකම් හැම තැනම නොතිබූ අතර යම් පෝස්ටරයක් ඉතා හොඳින් මුද්‍රණය කිරීමට නම් හම්බන්තොට පැත්තේ උදවියත් මාතරට ආ යුතු විය. එම පෝස්ටරය මුද්‍රණය කරවීමේ වගකීම භාරගත්තේ එවකට අම්බලන්තොට වී මෝල් සංකීර්ණයේ සේවය කළ ගබඩා නිලධාරී මහතෙකුය. ඒ මහතා පෝස්ටරය හොඳින් කියවා බලා කල්පනා කළේ මෙය වැඩිදුරටත් සිත්ගන්නාසුලු ආකාරයෙන් ඉටුකිරීමට නම් තවත් වැකියක් පෝස්ටරයට එකතු කළ යුතු බවයි. ඒ අනුව ඒ මහතා පෝස්ටරයේ උඩින් ලොකු අකුරින් ‘කච්චිගල් ආරේ - සහල්ධාරා බේරේ’ යන වැකිය යෙදුවේය. බැලූ බැල්මට ඉතා උචිත බවක් හා ජනතාවගේ ආකර්ෂණයක් ඇති වේ යැයි සිතා ඇතුළත් කළ ඒ වැකිය සහිත පෝස්ටර් විශාල ප්‍රමාණයක් මුද්‍රණය කොට අඟුණකොළ පැලැස්ස හම්බන්තොට - අම්බලන්තොට - තංගල්ල - ඇඹිලිපිටිය ආදී ප්‍රදේශ රැසක ඇලවේය. එසේ ඇලවීමෙන් පසු මෙය දුටු වී අලෙවි මණ්ඩලයේ බලධාරීන් හා බොහෝ අය මවිතයට පත්වූහ. පෝස්ටරයෙන් පෙන්නුම් කරන්නේ සහල් පිළිබඳව ලොකු විනාශයක් හා නාස්තියක් මේ ව්‍යාපෘතිය තුළින් ඇති වන බවකි. ඒ නිසා අලවන ලද පෝස්ටර් සියල්ලේම ඉහත කී වැකිය ඇතුළත් කොටස ඉරා දැමීමට විවෘත කිරීමට පෙර දින රාත්‍රිය පුරාම ක්‍රියා කරන්නට සිදු විය. පසුව පසු දින අමාත්‍යතුමා ප්‍රධාන ආරාධිත අමුත්තන් සහල් මෝල් සංකීර්ණය විවෘත කර උත්සවාකාරයෙන් වැඩ ආරම්භ කරන ලදි. අවුරුදු ගණනාවක් ප්‍රදේශයේ වී තම්බා සහල් කෙටු මෙම විශාල සහල් මෝල් සංකීර්ණය අද වැසී තිබෙන අතර ‘සහල් ධාරා බේරේ’ වැනි වැකියක් එදා ඒ නිලධාරී මහතා යොදන්නට ඇත්තේ අනාගතයේ සිදුවන දේ ගැන යම්තමින් හෝ හැඟීමක් ඇතිවීමක් නිසාදෝයි මට සිතේ.

ජී. තිස්ස කුට්ටිආරච්චි
හිටපු රාජ්‍ය ඇමැති හා 
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

පෝස්ටරයක් කළ හදියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 398 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16741 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 646 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site