IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ප්‍රභාගෙන් රනිල්ට චරිත සහතිකයක්

මහින්ද රාජපක්‍ෂගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බොහෝ දෙනාගේ සහයෝගය නොලැබුණු තත්ත්වය තුළ ඒකට කරගහලා කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය වගේ කණ්ඩායම්. ඇත්ත වශයෙන්ම ජනතා  විමුක්ති පෙරමුණ තමයි 2005 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණයේ ශත්තිය වුණේ.


බිම් මට්ටමේ ප්‍රචාරක කටයුතු ඉතාම සැලසුම් සහගතව ජනතා විමුක්ති පෙරමුණ කරගෙන ගියා. ශ්‍රී ලංකා කිදහස් පක්‍ෂය බිම් මට්ටමේ වැඩවලින් ඈත්වෙලා හිටියේ. ඡන්දදායකයා ළඟට ගිහින් ප්‍රචාරක කටයුතු ටික කළේ ජනතා විමුක්ති පෙරමුණ.


ඒ වගේම තමයි ජාතික හෙළ උරුමයත් මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කළා. මේ කණ්ඩායම් කොච්චර කැපවීමෙන් වැඩ කළත් රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය ගැන තමයි වැඩි විශ්වාසයක් රට තුළ තිබුණේ. ඒකට විශාල හේතුවක් වුණේ ඒ මොහොතේ දෙමළ ජාතික සන්ධානය  ඇතුළු දෙමළ සංවිධාන එළිපිටම සහයෝගය ප්‍රකාශ නොකළත් වක්‍රාකාරව ඔවුන්ගේ සහයෝගය රනිල් වික්‍රමසිංහට ලබාදීම. ඔවුන් රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය අපේක්‍ෂාවෙන් තමයි හිටියේ. ඒත් එක්කම දකුණේ දේශපාලන පක්‍ෂ බහුතරයකුත් රනිල් වික්‍රමසිංහට සහයෝගය පළ කළා.  වතුකරයේ පක්‍ෂත් හිටියා. තොණ්ඩමන්ගේ පක්‍ෂය එහෙම හිටපු ලෙසම රනිල් වික්‍රමසිංහ හිතවාදී මතයක ඉඳගෙන කටයුතු කළේ.


මේ විදියට ප්‍රචාරක කටයුතු කරගෙන යද්දී තමයි උතුරේ ඡන්ද පිළිබඳ තීරණාත්මක කතාව එජාප පටන් ගත්තේ. රනිල් වික්‍රමසිංහ කල්පනා කළා උතුරේ ඡන්ද නැතත් ජයග්‍රහණයට දකුණේ ඡන්ද ප්‍රමාණවත් කියලා. ඒ නිසා උතුරේ ඡන්ද ගැන ඒ තරම් ලොකු අවධානයක් යොමු කළේ නෑ.


ජනාධිපතිවරණය ආසන්න කාලයේ මමත් මලික් සමරවික්‍රමත් මන්නාරම, ත්‍රිකුණාමලය, කින්නියා, වන්නි වගේ ප්‍රදේශවල මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වුණා. දෙමළ නායකයින්  වගේම සාමාන්‍ය ජනතාව මුණගැසුණා. මේ මැතිවරණ ව්‍යාපාරය  යද්දී මුලින් එල්.ටී.ටී.ඊ. සංවිධානය නිශ්ශබ්දව හිටියා. ටී.එන්.ඒ. එක එළිපිට අදහස් ප්‍රකාශ කළේ නෑ. ඒ කොහොම වුණත් ජනාධිපතිවරණය දවසට කලින් රාත්‍රියේ එල්.ටී.ටී.ඊ. සංවිධානය තීරණය කළා ඡන්දය දීම වළක්වන්න. ඒත් අපි හිතුවා අපිට ඒක ඒ තරම් බලපෑමක් වෙන එකක් නෑ කියලා.


මේ අතරේ දවසක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වෙච්ච ලලිත් කොතලාවල මට කතා කරලා කිව්වා උතුරේ ඡන්ද පිළිබඳ අවිනිශ්චිතතාවක් තියෙනවා කියලා. ඒ ගැන රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු කරන්න කියලා මට දැනුම් දුන්නා. මම මේ ගැන කිව්වම රනිල් වික්‍රමසිංහ ඒ තරම් ගණන් ගත්තේ නෑ. ලලිත් කොතලාවල මට කිව්වෙ උතුරේ ඡන්ද පිළිබඳ කටයුතු හොයා බලන්න ඔහුට බාර දෙන්න කියන්න කියලා. රනිල් වික්‍රමසිංහ  ඒකට කැමති වුණේ නෑ. ඔහු  කිව්වේ මේ සඳහා කිසිම බාහිර පුද්ගලයෙකුගේ සහයෝගයක් ලබාගන්න එපා කියලා. රනිල් වික්‍රමසිංහ කිව්වේ ඒ වැඬේ මිලින්ද මොරගොඩ හරහා කරගන්නම් කියලා. මිලින්ද තමයි ජනාධිපතිවරණයේ උතුරේ ද්‍රවිඩ කණ්ඩායම් සම්බන්ධීකරණය කිරීමේ ප්‍රධානියා විදියට වැඩ කළේ.


මේ මැතිවරණ ව්‍යාපාරය යන අතරේ නවීන් දිසානායක ඔහුගේ පියා ඝාතනය කිරීම ගැන එල්.ටී.ටී.ඊ. සංවිධානයට චෝදනා කරමින් ඔවුන් මිනීමරුවන් ලෙස ප්‍රකාශ කළා. මේ ප්‍රකාශයට එල්.ටී.ටී.ඊ. එක ඔවුන්ගේ අප්‍රසාදය පළ කරලා තිබුණා. මිලින්ද මොරගොඩගේ ක්‍රියාකලාපය ගැනත් එල්.ටී.ටී.ඊ. එක හිටියේ හිත හොඳින් නොවෙයි. එල්.ටී.ටී.ඊ. එක ඡන්දය දීම වළක්වමින් කරපු ප්‍රකාශයට ලොකු ප්‍රචාරයක් ලැබුණා.


ප්‍රභාකරන් කියලා තිබුණේ රනිල් වික්‍රමසිංහ කියන්නේ කපටි නරියෙක්. ඔහු ජයග්‍රහණය කළොත් එල්.ටී.ටී.ඊ. එක ජාත්‍යන්තරයට කොටු කරලා දේවි කියලා. ඒ නිසා රනිල්ගේ ජයග්‍රහණය කොහොම හරි වළක්වන්න ඕනෑ කියලා තමයි ප්‍රකාශ කළේ.


මේ කතාව ඒ තරම් අපේ ජයග්‍රහණයට බලපෑමක් වෙයි කියලා අපි හිතුවේ නෑ. ජයග්‍රහණය පෙනි පෙනී තිබුණත් අවසානයේ ජනාධිපතිවරණ ප්‍රතිඵලයට අනුව රනිල් වික්‍රමසිංහ පරාජය කරලා මහින්ද රාජපක්‍ෂ දිනුවා. මේ අනුව දෙවැනි වතාවටත් රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය අහිමි වුණා.


තව කොටසක් ලබන සතියට.

 

 

 

 


ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

ප්‍රභාගෙන් රනිල්ට චරිත සහතිකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site