IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


”දීපු ඇමැතිකම එපා නම් අස්වෙලා යන්න” ජේ. ආර්. ගාමිණීට කියයි

දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා 1977 මහ මැතිවරණයෙන් මන්ත‍්‍රීධුර 140 ක් දිනා ගනිමින් පිහිටුවන ලද නව ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍ය ධුරයට පත් වෙද්දී ඔහුගේ සිතේ සුන්දර සිහින කීපයක්ම තිබූණේය. ඒ අතරින් එක් සිහිනයක් වූයේ ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික ක‍්‍රමය හඳුන්වා දෙමින් රට සිංගප්පූරු ක‍්‍රමයට වැඩි දියුණු කිරීමය. ඒ වන විට වසර 30කින් නිම කිරීමට සැලසුම් කර තිබූ මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය ඊට වඩා අඩු කාලයක් තුළ අවසන් කර තමන්ගේ ජීවිත කාලයේදීම එහි සාර්ථක ප‍්‍රතිඵල දැක ගැනීම ඔහුගේ ඊළඟ සිහිනය විය.


තමන්ගේ එම සුන්දර සිහිනයක් සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය අති දක්ෂයන් කීප දෙනෙකුද හෙතෙම කල්තියා තෝරාගෙන සිටියේය. එයින් එක් අයෙකු වූයේ පසු කාලයකදී ජේ. ආර්. ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය ඉසිලූ රොනීද මැල්ය.


රොනී දක්ෂයා. එයාට ලේසියෙන්ම පුළුවන් මේ වැඩවලට මුදල් සොයාගන්නයි සිතූ ජේ. ආර්. ජයවර්ධන මහතා රටට විවෘත ආර්ථික ක‍්‍රමය හඳුන්වාදීමේ කාර්යය ඒ වනවිට ගම්සභා මැම්බර් කෙනෙකුවත් නොවූ ලලිත් ඇතුළත්  මුදලි මහතාට පැවරීමටත්, මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය එවකට නුවරඑළිය එ.ජා.ප මන්ත‍්‍රීවරයා වූ ගාමිණී දිසානායක මහතාට පැවරීමටත් තීන්දු කරගෙන සිටියේ 1976 වසරටත් පෙර සිටය.


එහෙත් ජයවර්ධන මහතා තමන් තුළ පැවැති එම අනාගත බලාපොරොත්තු පිළිබඳව ඔවුන් තිදෙනාට නොපැවසීමටද පරෙස්සම් වූවේය. මේ අතර 1977 මහ මැතිවරණයෙන් අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත් එ.ජා.ප නායකයා විසින් පිහිටුවන ලද නව ආණ්ඩුවේ ඇමැතිවරුන් 23 දෙනා අතර රොනීට, ලලිත්ට සහ ගාමිණීට ඉතා වැදගත් අමාත්‍යංශ ලැබී තිබුණේය.


මෙහිදී රොනීද මැල් සහ ලලිත් ඇතුළත් මුදලියන මහත්වරුන් තමන් වෙත පැවරුණු ඇමැතිධූරවලින් සතුටට පත් වූවද ගාමිණී දිසානායක මහතා දැරුවේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ආකල්පයකි. වාරිමාර්ග, විදුලිබල සහ මහාමාර්ග ඇමැති ධුරයට පත්කර සිටි ඔහු ඒ පිළිබඳව දැඩි නොකමැත්තකින් පසුවූවේය.


”මම මොනවද වාරිමාර්ග, මහාමාර්ග ගැන දන්නේ?” ”ඊටත් විදුලි බලය ගැන මම මෙලෝ හසරක් දන්න එකක් යෑ” යි කී ගාමිණී දිසානායක මහතා එම ඇමැතිධූරය භාරගෙන දිවුරුම් දුන්නද ඉතා ඉක්මනින්ම ලොක්කා හමුවී එය වෙනත් ඇමැති ධුරයක් සමග හුවමාරු කර ගැනීමට කැමැත්තෙන් සිටියේය. ඔහුට අවශ්‍ය වූයේ වැවිලි කර්මාන්ත ඇමැතිධූරය ලබා ගැනීමටය. එහෙත් ලොක්කා ගාමිණීලවා මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය කඩිනමින් අවසන් කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියේය. එසේම එය කළ හැකි වූයේ ගාමිණී දිසානායක වැනි ජවසම්පන්න තරුණ දේශපාලනඥයෙකුට පමණකැයි හෙතෙම තරයේ විශ්වාස කළේය. එහෙත් එ.ජා.ප නායකයා  අතින් සිදු වූ ලොකුම අඩුපාඩුව වූයේ තමන්ගේ සිතෙහි පැවැති අදහස අදාළ පුද්ගලයන්ට කල්තියා හෙළිනොකිරීමය.


මේ අතර තමන්ට ලැබුණු ඇමැතිධූරය ගැන දින කීපයක් අසතුටින් සිටි ගාමිණී දිසානායක මහතා අග‍්‍රාමාත්‍ය ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. පී. බී. මැණික්දිවෙල මහතාට දුරකථන ඇමතුමක් ගත්තේ හදිසියේම සිතට නැගුණ අදහසක් අනුවය.
”මිස්ට මැණික්දිවෙල මට අද ලොක්කගෙන් ඇපොයිමන්ට් එකක් අරගෙන දෙන්න පුළුවන්ද?’’


වහාම අග‍්‍රාමාත්‍යවරයාගේ රාජකාරි දිනපොත පෙරළා බැලූ මැණික්දිවෙල මහතා කියා සිටියේ එදින නොව පසුදා උදෑසන 8.00ට එතුමා හමුවීමට අවස්ථාවක් ලබාදිය හැකි බවය. 


”හරි මිස්ට මැණික්දිවෙල එහෙමවත් කරමු” යි කී ගාමිණී දිසානායක තමන්ගේ අවශ්‍යතාව ගැනද අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා දැනුම්වත් කළේය.


බහුල වශයෙන් තේ වගාව පැතිරුණ නුවරඑළිය වැනි ප‍්‍රදේශයක් නියෝජනය කරමින් ඡුන්ද 65,903 ක් ලබා පාර්ලිමේන්තුවට තේරීපත් වූ තමන්ට වාරිමාර්ග විදුලිබල සහ මහාමාර්ග වැනි විෂය ක්‍ෂේත‍්‍රයක් පිළිබඳව මෙලෝ හසරක් නොතේරෙන බැවින් ලොක්කාට කරුණු කාරණා පැහැදිලි කර වැවිලි කර්මාන්ත අමාත්‍යංශය ලබා ගැනීමට තමන් බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.


”හරි මම ලොක්කට ඒ ටිකත් කියල තියන්නං. ඔයා උදේට වෝඞ්ප්ලේස් එකට එන්න යි” කී මැණික්දිවෙල මහතා දුරකථනය විසන්ධි කළේය.


පසුවදා උදෑසන  ඇමැතිවරයා නියමිත වේලාවටත් පෙර වෝඞ් පෙදෙසේ ‘බ්‍රෙමාර්’ මන්දිරය වෙත ගියේ තම බිරියත් සමගය. ඒ සඳහා තම නිවසින් එළියට බසිද්දී දුටු පෙර මග නිමිති අනුව ඔහුට සිතුණේ තමන්ගේ බලාපොරොත්තුව ටක්කෙටම හරියන බවයි. එදින උදෑසන 8.00 ටත් පෙර ජේ. ආර්. ජයවර්ධන මහතාගේ බ්‍රෙමාර් නිවසට පැමිණ සිටි ගාමිණී දුටු මැණික්දිවෙල මහතා දෑත් ඔළුවේ ගසා ගෙන ඉදිරියට දුව ආවේය.


”ගාමිණී දැන්නං යන්න එපා ලොක්කා ගාවට” ඔහු එසේ කියද්දී ගාමිණීට පුදුම හිතුණේය.


”ඉතින් මිස්ට මැණික්දිවෙලමනේ මට උදේ 8.00 එන්න කිව්වේ ඇයි දැන් මට ලොක්කා හම්බ වෙන්න යන්න එපයි කියන්නේ?”යි ඇසූ ගාමිණී දිසානායක මහතාට අවශ්‍යවූවේ ඒ සඳහා මුල් වූ හේතුව දැන ගැනීමටය.


‘‘ගාමිණී ලොක්ක කැමැති නෑ මුලින් ගත්තු තීරණයක් වෙනස් කරන්න’’


ඔහු එසේ කියද්දී ඇමැතිවරයාට සිතුණේ මැණික්දිවෙල මහතා තමන් කී දෑ නිසිපරිදි රාජ්‍ය නායකයාට කියා නැති බවය. ඉතින් ඔයා කිව්වේ නැද්ද මම වාරිමාර්ග, මහාමාර්ග ගැන කිසිදෙයක් නොදන්නව බව?”


‘‘මම කිව්වා ගාමිණී, ඒත් ලොක්ක කියන්නෙ වෙන කතාවක්නේ” යි කී මැණික්දිවෙල මහතා අග‍්‍රාමාත්‍යවරයාගේ තීරණය ගාමිණීට පැහැදිලි කරන්නේ කෙසේදැයි සිතමින් උඩබිම බැලූවේය.


‘‘ඇයි මොකක්ද එතුමා කියන්නේ?’’


ඇමැතිවරයා එසේ ඇසුවේ ප‍්‍රශ්නාර්ථය දෙනෙතට නංවා ගනිමිණි.


”ලොක්ක කියන්නේ ඔයාට දීපු ඇමැතිකම කරන්න බැරිනං ආණ්ඩුවෙන් අස්වෙලා යන්න” කියලයි. 


අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා බිඳුණු හඬින් එසේ කියද්දී බලාපොරොත්තු සුන්කරගත් ගාමිණී දිසානායක මහතා මුහුණ බෙරි කරගෙන ආපසු හැරුණේය. කෙසේ වෙනත් ක‍්‍රියාශීලි අති දක්‍ෂයෙකු වූ ගාමිණී දිසානායක මහතා දින කීපයකින්ම එම විෂය ක්‍ෂේත‍්‍රය පිළිබඳව හසළ දැනුමක් ලබා ගත්තා පමණක් නොව තම රාජ්‍ය නායකයාගේ සිතැඟි ඉටු කරමින් තිස්වසරකට සැලසුම් කර තිබූ මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය හය වසරක් තුළ නිම කිරීමටද සමත් වූවේය.

 

නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (1)

”දීපු ඇමැතිකම එපා නම් අස්වෙලා යන්න” ජේ. ආර්. ගාමිණීට කියයි

abaran Wednesday, 16 August 2017 06:27 AM

රටට යමක් කල හැකි පුද්ගලයෙක්..

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 569 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17391 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site