IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


දඩුගම පාලම ළඟින් විජය මිලට ගත් පහන

 

 

විජය කුමාරතුංගයන් ජාතිවාදී අරගලයට විසඳුමක් ලබාදීම සඳහාත් එල්.ටි.ටී.ඊ. ත්‍රස්ත්‍රවාදීන් විසින් හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින අවස්ථාවේ ඔවුන් මුදවා ගැනීමට යාපනයේ කළ සංචාරය පිළිබඳවත් පසුගිය සතියේ අපි කථා කළෙමු. 


ඔහුට ඒ අවස්ථාවේ දේශදෝහියකු ලෙස නම් පට බැඳුණ බවත් ජනතාව ද විජය පිළිබඳව බැලුවේ දෙගිඩියාවෙන් බවත් හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පැවසීය. විජය ඝාතනයට පෙර දවසේ තම නිවසට පැමිණ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කළ බව ෆීලික්ස් පෙරේරා මහතා සඳහන් කළේය. විජය පිළිබඳ මතකය අවදි කළ ෆීලික්ස් පෙරේරා මහතා මෙසේ කීවේය. 


“විජය කුමාරතුංගයන් ඝාතනයට පෙර මගේ නිවසට පැමිණියා. ඇවිල්ලා මට කථා කළා යමු පොළොන්නරුවට කියලා. විජය බොහෝ ගමන් බිමන් යන්නේ මගෙත් එක්ක. අපි පාසල් කාලේ ඉඳලම හොඳ යාළුවෝනේ. අනික අපේ අදහසුත් සමානයි. ඒක නිසා තමයි මමත් ඔහුගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වුණේ. ඒක දවල් ගිහින් එදිනම එන ගමනක් නොවෙයි. පසුවදා එන්නයි සැලසුම් කරලා තිබුණේ. 


මේ ගමනට ප්‍රධාන අරමුණ වූයේ පොළොන්නරුව ප්‍රදේශයේ දී අපේ පක්ෂයේ සාමාජිකයෙක් ඝාතනය කර තිබුණා. මට මතක විදිහට මැදගෙදර වගේ නමක්. එයා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක්. මොකද කොමියුනිස්ට් පක්ෂයත් අපේ සමාජයේ පක්ෂයක් ඒ දවස්වල එකට ක්‍රියා කළේ. අපිට ඕනෑ වුණේ සන්ධානයක් හදන්න අනික ඒ මහතා සීදුව රද්දොළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. විජයට අවශ්‍ය කරලා තිබුණා අපේ සන්ධානය බිහි කරන්න. එක්සත් සමාජවාදී පෙරමුණ (ඹී්) කියලා තමයි අපි පිහිටුවන්න සැලසුම් කළේ. ඒ අතරතුර තමයි මැදගෙදර මහතාව ඝාතනය කළේ. ඒ දවස්වල අද වගේ ජංගම දුරකථන තිබුණේ නැහැ. ඒ වෙලේ අපට දුරකථන ඇමතුමක් ගන්න ඕනෑ වුණා. අපි සීදුව ප්‍රදේශයේ තිබු මුද්‍රණාලයකට යන්න ගියාම මම එක්ක ගෙන ගියා රද්දොළුව නිවාස සංකීර්ණයට. අපිට දුරකථන ඇමතුමක් ගන්න පැය භාගයක් විතර ප්‍රමාද වුණා. ඊට පස්සේ අපි මැද ගෙදර මහතාගේ දේහය තිබුණ තැනට ගොඩ වුණා. 


විජයට අවශ්‍ය වුණේ එතන කතාවක් පවත්වන්න. එතන සිටියා කේ.පී. සිල්වා, වයි.පී. සිල්වා වගේ වාමාංශික දේශපාලනයට සම්බන්ධ බොහෝ දෙනෙක්. ඔවුන් රතු පාට කමිස වලින් තමයි සැරසී සිටියේ. එතනදී විජය කතාවක් කරන්න සූදානම් වුණාම එතන සිටිය බොහෝ දෙනෙක් ප්‍රකාශ කළා, කතාවක් පැවැත්වීම මෙතන සුදුසු නැහැ කියලා. විජය ගිහින් ඉතිරි වැඩ ටික කරගෙන යන්න ඒක නතර කරන්න එපා, කියලා ඔවුන් කිව්වා. ඒ අනුව විජයට හිමි කථාව බාර ගත්තේ දයානන්ද ආරියප්පෙරුම කියන කෙනා. ඔහු තමයි රද්දොළුගම නිවාස සංකීර්ණයේ සභාපතිවරයාව සිටියේ. ඔහු බාර ගත්තා කථාව. අප දෙදෙනා දඩුගම පාලම අසලට ආවා. සිදුව බල ප්‍රදේශයේ අවසන් මායිම දඩුගම පාලමයි. ඒ අවට තිබෙනවා විශාල ලෙස මැටි භාණ්ඩ අලෙවි කරන කඩ. අපි එක කඩයක් අසලට ගිහින් මැටි පහනක් මිලදී ගත්තා. මොකද අපි පක්ෂය පිහිටු වන්න සූදානම් වෙද්දී අපේ ලාංඡනය වුණේ පහන. අපි දෙන්නා මැටි පහනක් අරගෙන මගේ නිවසට පැමිණිලා මගේ වාහනය නිවසේ දමලා විජය ගියා. 


ඔය අතරේ තමයි විජය ඉතා අවේගශීලී කතාවක් කළේ ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව. ඉතාම ආවේගශිලී කතාවක්. මම හොඳට දන්නවනේ මැදගෙදර මහතාගේ අවමඟුල දවසේ කතාවක් කළේ නැහැ කියා. අපිත් සොයා බැලුවා කොහොමද මෙහෙම කතාවක් ප්‍රචාරය වුණේ කියලා. එතකොට විජය අපේ නිවසෙන් යන කොට සවස හතර හමාරට හෝ හතරට විතර ඇති. සීදුවේ ඉඳන් අඩුම තරමේ විනාඩි 45 ක් හෝ පැයක කාලයක් යනවා. ඉතින් කොහොමද ඒ කාලය තුළ විජයගේ මේ කතාව ප්‍රචාරය වුණේ කියලා. 


එතනදි අපිට පොඩි සැකයක් ආවා විජය දේශපාලනයට ආව අලුතම තනතුරකුත් නොමැතිව චිත්‍රපට නළුවෙක් පමණයි. කොහොමද එහෙම කෙනෙක්ගේ ප්‍රවෘත්තියක් ප්‍රධාන ප්‍රවෘත්තියක් වශයෙන් ප්‍රචාරය වෙන්නේ කියලා. ඒ වගේ කෙනෙකුගේ ප්‍රවෘත්තියට කොහොමද මෙච්චර ලොකු ප්‍රචාරයක් දුන්නේ කියලා. අපිට විශාල කුතුහලයක් ඇති වුණා. 


ඊට පස්සේ දවසේ විජය අපේ නිවසට ආවා. මම ඒ වෙලේ ගෙදර සිටියේ නැහැ. ටික දුරකට ඈතින් තිබෙන මගේ ව්‍යාපාරික ස්ථානයක තමයි මම සිටියේ. ඒ සමගම තවත් වාහනයක් අපේ නිවසට පැමිණ තිබෙනවා විජය ආවද කියලා බලන්න.


මම සිතන්නේ ඒ ඝාතකයන් තමයි විජය පිටු පසින් පැමිණ තිබෙන්නේ. ඔවුන්ට අවශ්‍ය නම් අපේ ව්‍යාපාරික ස්ථානයේදීම අපි දෙදෙනාව ඝාතනය කරන්න අවස්ථාව තිබුණා. එතනදී විජය කිව්වා හලාවත ගිහින් එන්න යමු කියලා. මම ඒ වෙලේ ඔහුට කිව්වා මට ටිකක් අපහසුයි ඔයා ගිහින් එන්න කියලා. මම මගේ ෆෝඞ් කොර්ටිනා කියන වර්ගයේ වාහනය ඔහුට දුන්නා. මොකද ඔහු හරි ආසයි ඒ වාහනයට. එතනදී විජය කිව්වා සීට් එක පොඩියි පොඞ්ඩක් පස්සට ගන්න ඕනැ කියලා. ගිහින් එන්නම් කියලා විජය හලාවත බලා පිටත් වුණා.”

ඔය අතරතුරේ තමයි විජයට වෙඩි තියලා කියලා ආරංචිය ලැබුණේ. ඊට පස්සේ අපි කිහිප දෙනෙකු වහාම ගියා බලන්න. මට මතකයි ඒ මොහොතේ හැරි ජයවර්ධන වගේ අපි කිහිප දෙනෙක් මෝචරියට ගියා. විජයගේ තවත් හිතවතෙක් සිටියා වසන්ත කියලා. එයා තමයි මගේ වාහනය බාර දෙන්න ගෙදරට ආවේ එයාත් මගෙත් එක්ක ගියා. 


මේක තමයි ඇත්තම සිද්ධිය. මොකද මම ඒ සිදුවීම අවසන් වෙනකම් විජය අසලම සිටි කෙනෙක්. මෙතන දී ප්‍රධාන දෙයක් වූයේ “කොහොමද විජය නොකළ කතාවක් ප්‍රචාරය වුණේ කියලා.” මේ ගැන මම මගේ කට උත්තරයේදීත් ප්‍රශ්න කළා. මම මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවලා ප්‍රකාශ කරන්න සිටින විටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මට දැනුම් දුන්නේ මේ වෙලේ එවැනි සාකච්ඡාවක් පැවැත්වුවොත් එය පරීක්ෂණවලට බාධාවක් වෙන්න පුළුවන් දැන් මේ වෙලේ එවැනි ප්‍රකාශයක් කිරීම සුදුසු නැහැ කියලා. 


ඇත්ත වශයෙන් විජයගේ ඝාතනය ඉතා සැලසුම් කරපු එකක්. ඒක 100% ක් සැලසුම් කළ ඝාතනයක් බව මට විශ්වාසයි. විජය ඝාතනයට ලක් වීමට පෙර උදේ වරුවේ අපේ ගෙදර ආව වෙලාවේ හලාවත යන ගමන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වගේම චිත්‍රපට නිෂ්පාදකවරයෙකුගේ නිවසට ගොඩ වුණා. එතනදී කොහොම හරි කියවෙලා තිබෙනවා. අනාගත ජනාධිපතිවරයා ඇවිල්ලා ගියා කියලා. එතනදී තමයි මේ ඔත්තුව දීලා ඇති කියලා අපි විශ්වාස කරන්නේ. සමහර විට විජය ගිය වාහනය පිටු පසින් පැමිණි අය විජයව ලුහු බැඳ ගෙන ආවාද කියන එක ගැනත් අපිට සැකයි. මේක ඒ දිනවල එක එක කණ්ඩායම්වලට පැවරුවා. නමුත් පසුව හෙළි වුණ කාරණය අනුව තමයි නියම ඝාතකයන් හමු වුණේ. 

 

 


මතු සම්බන්ධයි.

 

 

 


නිශාන්ත කුමාර බණ්ඩාර



අදහස් (0)

දඩුගම පාලම ළඟින් විජය මිලට ගත් පහන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site