IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


තිස්ස අතුලගුටි කෙළිය

ඇඟේ හැපීම දත නියවීම හෝ කකුල පෑගීම වැනි ඉතා සුළු කරුණක් මුල් කරගෙන පවා එකිනෙකාට අභියෝග කරමින් පොරට වැටීම ඇතැම් කුඩා දරුවන්ගේ ප්‍රකට සිරිතකි. එහෙත් ඔවුන්ගේ එම තරහ මරහ වැඩි කාලයක් නොපවතින අතර ඊළඟ පැයේදී දකින්නට ලැබෙන්නේ ඊට මොහොතකට පෙර ගුටිබැට හුවමාරු කරගත් කුඩා දරුවන් දෙදෙනා කරට අත දමා ගෙන සිනාසෙමින් යන අයුරුය.


එහෙයින් පොඩිත්තන්ගේ එවැනි රණ්ඩුසරුවල් දෙස බොහොමයක් වැඩිහිටියන් උපේක්ෂා සහගතව බලන්නේ එවැනි අඬදබර ඉතා සුළු කාලයකට පමණක් සීමාවෙතැයි දැන සිටින බැවිනි.


කෙසේ වෙතත් මෙවැනි ගුටිබැට හුවමාරුවක් මීට වසර විසිපහකට පමණ ඉහත සිංගප්පූරුවේ පිහිටි තරු පන්තියේ හෝටලයක් තුළ සිදුවී තිබුණේය. එහි තිබූ වෙනස වූයේ එහිදී පොරට වැටී ගුටි බැට හුවමාරු කරගත් දෙදෙනා කුඩා දරුවන් දෙදෙනකු නොව එජාපයේ ජවසම්පන්න තරුණ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වීමයි.


ඒ අතරින් එක් අයකු පසු කාලයකදී මෙරට කැබිනට් ඇමැතිවරයෙකු මෙන්ම එජාප මහ ලේකම්වරයෙකු ද වූ තිස්ස අත්තනායක ය. අනෙකා එවකට රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ අභාවප්‍රාප්ත අතුල ආටිගලය. ඔවුන් දෙදෙනාම එවකට ජවසම්පන්න තරුණයන් වීමද විශේෂත්වයකි.


දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට විරුද්ධව ලලිත්ලා ගාමිණීලා දෝෂාභියෝගයක් ගෙනාවට පස්සේ එජාපයේ නවක මන්ත්‍රීවරුන්ට පෙරට වඩා සැලකිල්ලක් දැක්වීමට ජනාධිපතිතුමා පෙලඹී සිටියා. ඒ අනුව තමයි පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් කණ්ඩායමකට සිංගප්පූරුව, තායිලන්තය සහ ඉන්දුනීසියාවේ සති තුනක සංචාරයක් ලබාදී තිබුණේ චන්ද්‍රා රණතුංග ඇමැතිතුමා තමයි කණ්ඩායමේ නායකත්වය දැරුවේ. යි කියන තිස්ස අත්තනායක සඳහන් කරන අන්දමට තමාත් අතුල ආටිගල මන්ත්‍රීවරයාත් අතර ඇතිවූ ගුටි කෙළියට මුල්වූයේ එක්තරා රාත්‍රී භෝජන සංග්‍රහයකදී තමාට වැරදීමකින් ඔහුගේ කකුල පෑගීමේ සිද්ධියකි.


සිංගප්පූරුවට පැමිණි ශ්‍රීලාංකික මන්ත්‍රීවරුන් වෙනුවෙන් එරට ශ්‍රී ලංකා දූතමණ්ඩල ප්‍රධානියා රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා තිබුණේය. එහිදී සැර බීම වර්ගවලින්ද නොඅඩුව සංග්‍රහ කෙරුණ අතර අතුල ආටිගලට තරමක් වැඩිවී තිබුණ බව තිස්ස අත්තනායකට මතකය. ඔහු අසුන් ගෙන සිටියේ තිස්සගේ දකුණු පසිනි.


භෝජන සංග්‍රහය අතරතුර තිස්සට ඔහුගේ කකුල පෑගුණ විට අතුල ඔහු දෙස රවා බැලුවේය.


“අනේ සොරි මචං”


තිස්ස එසේ කීවද යළිත් වරක් ඔහුට අතුලගේ කකුල පෑගුණේ අහම්බෙනි.


“මොකද යකෝ වෙලා තියෙන්නේ” යී


ඇසූ අතුල ආටිගල තිස්සට පහත් හඬින් බැණ වැදුණේය. තිස්ස ඊට කිසිවක් නොකියා ඉවත බලා ගත්තේ කෑම මේසයේ තමන් අසලින්ම ශ්‍රී ලංකාවේ දූතමණ්ඩල ප්‍රධානියාත් අසුන්ගෙන සිටි බැවිනි.


මේ අතර එම මන්ත්‍රීවරුන් පිරිස රාත්‍රී භෝජන සංග්‍රහය අවසන් වී ආපසු තමන් නතරවී සිටි තරු පන්තියේ හෝටලය වෙත පැමිණුනේ වාහන දෙකකිනි. මේ අතර එම හෝටල් පරිශ්‍රයට පැමිණි තිස්ස වාහනයෙන් බසින විටම අනෙක් වාහනයෙන් බැස දුවගෙන ආ අතුල ආටිගල තිස්සගේ පිට මැද්දට දෑතබදා පොල් අඩියක් ඇද බෑවේය. අනපේක්ෂිත මොහොතේ වැදුණ එම පොල් අඩියේ සැරකමට ඔහු මුණින් අතට වැටෙන්නට ගොස් බේරුණේ අනූ නවයෙනි.


ඒ සමගම එතැනට දුවගෙන ආ මනෝ විජේරත්න මන්ත්‍රීවරයා අතුල පැත්තකට රැගෙන ගියේ මොනවද මිනිහෝ මේ පොඩි ඈයො වගේ මරාගන්න හදන්නේ යි අසමිනි. ඔහු අතුල ආටිගලත් වත්තම් කරගෙන ඔවුන් නතරවී සිටි කාමරය දෙසට යන අයුරු බාලා සිටි තිස්ස “පිස්සු යකෙක්” යැයි කියමින් ආපසු හැරුණේය. ඒ සමඟම මනෝ විජේරත්න මන්ත්‍රීවරයා පසෙකට තල්ලු කර දැමූ අතුල යළිත් වරක් තිස්සගේ පසුපසින් පැමිණ ඔහුගේ ඇඟට පැන්නේ ගොදුරක් වෙත පනින කොටියෙකුගේ වේශයෙනි.


මම ඒ වෙනකම්ම ඉවසුවේ අතුල ඒ වෙනකොට හොඳටම බීලා හිටපු නිසා. වෙරිමත වැඩි කමට මිනිහා කෑම කෑවෙත් නෑ. ඒත් ඉතින් මේ මනුස්සයා නිකරුණේ ගහද්දී මට පුළුවනෑ තවත් ඉවසගෙන ඉන්න. ඊට පස්සෙ මමත් මිනිහට ගැහුවා. එයත් මට ගැහුවා. ඔය විදියට අපි විනාඩි දෙක තුනක්ම ගහගන්න කොට තමයි මනෝ පී. ඩී. අබේරත්නත් එක්කර ගෙන ඇවිත් අපි දෙන්නා දෙපැත්තට ඇදගෙන ගියේ.


කෙසේ වෙතත් ඒ වන විට ඔවුන් දෙදෙනාගේම ඇඳුම් ඉරීගොස් නාස්පොලු චප්පවී තිබුණේය. තිස්ස තම කාමරයට ගිය විගස කළ මුල්ම රාජකාරිය වූයේ නාන කාමරයට වැදී උණුදියෙන් පොඟවා ගත් තුවායක් ගෙන තම නාසය තවාගැනීමය. අතුලයාටත් ඊට සමාන හානියක් සිදුවන්නට ඇතැයි ඒ සමගම ඔහුට සිතුණේය. ඔහු එදින නින්දට ගියේ අතුල ආටිගල තවත් සෑහෙන කාලයකට තමන්ගේ මුහුණවත් නොබලනු ඇතැයි සිතමිනි.
එහෙත් ඊට පසුදා උදේම නාසය මත තුවාල පැලැස්තරයක් අලවාගත් අතුල ආටිගල මන්ත්‍රීවරයා තිස්සගේ කාමරයට අඬාගෙන ආවේය.


මචං ඊයේ රෑ උඹයි මමයි ටිකක් සැරට ගහගත්තලු නේද? මට ඊයේ රෑ හොඳටම වැඩිවුණා. සමාවෙයං මචං ඕවා ගණන් ගන්න එපා යි කී අතුල ආටිගල තිස්ස දෑතින්ම බදා ගනිද්දී ඒ වන විටත් පුපුරු ගසමින් තිබුණු ඔහුගේ නාස්පොල්ල ඉවසාගැනීමට පවා නොහැකි අයුරින් රිදුම් කෑවේය. කෙසේ වෙතත් කලින්දා රෑ තමන් අතර ඇතිවූ ගුටි කෙළිය තම කණ්ඩායමේ ලොක්කාවූ චන්ද්‍රා රණතුංග ඇමැතිතුමාගෙන් වසන් කර ගැනීමට ඔවුන්ට සෑහෙන වෙහෙසක් දැරීමට සිදුවී තිබුණේය.

 

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූප : අන්තර්ජාලයෙනි.



අදහස් (0)

තිස්ස අතුලගුටි කෙළිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1917 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site