IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඩී.එස් ගේ සංවිධානයම ඩී.එස් ට එරෙහි වෙයි

 

ජාතික නායකයන් බිහිවන්නේ, පෞද්ගලිකව තනි තනිව දෙපයින් නැගී සිටීමෙන් නොවේ. දේශප්‍රේමී ජාති හිතෛෂීන්ගේ පරාධීන බවෙන් මිදී ස්වෛරී ස්වාධීනත්වය අරභයා තැනින් තැන කෙරෙන නැගිටීම් හා සංවාද රට පුරා ඇවිළී ගොස්, එක් හඬකට මුළු ගැන්වෙමින්, ප්‍රබල සංවිධානයක් තුළින් ඒකරාශිවී ඇතිවන කතිකාවතකින්ය.


අප රටේ ද හිරු නොබසින අධිරාජ්‍යයක වසර 133 ක් වැනි දීර්ඝ කාලයක් යකඩ සපත්තුවට පෑගී රට පරාධීනාන්ධ කාරයෙන් ආලෝකය ලබන්නට එවැනි ප්‍රබල සංවිධාන දෙකක් එදා මෙරට සාර්ථකව ක්‍රියාත්මක විය.
එයින් එක් සංවිධානයක් වූයේ ඩී. ඇස්. සේනානායකගේ නායකත්වයෙන් යුත් ලංකා ජාතික සංගමයයි. අනික, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් සිංහල මහා සභාවය.


ඉංග්‍රීසි පාලනයෙන් මිදී ස්වදේශිකයන් අතට පාලන බලය ලැබීමෙන් පසු 1947 පැවති පළමුවන මහා මැතිවරණයට ලංකා ජාතික මහා සංගමයත් සිංහල මහ සභාවත් සමගි බැම්මෙන් බැඳී සියලුම ජාතීන් නියෝජනය වනසේ එක්සත් ජාතික පක්ෂය නමින් දේශපාලන එකමුතුවක් තුළින් පළමුවන ස්වදේශික රජය පිහිටුවා ගන්නා ලදී.


මෙය ඩී. ඇස්. සේනානායක හා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක යන ප්‍රබල කණු දෙක මත රඳවාගෙන තිබුණත් නායකත්වය පිළිබඳව පැවතුණේ ලැබූ නායකත්වය රැකගැනීම සඳහාත්, නොලැබූ නායකත්වය ලබා ගැනීම සඳහාත් පැහැදිලිවම පිටතට නොපෙනෙන සුලු ඇතුළාන්ත ගැටුමකි.


මහ මැතිවරණ සමයේ එක කාමරයක එක මේසයක එක කඩදාසියක එක අදහසක් මත එකඟතාවයකට පැමිණ එකට ලියැවුණු ප්‍රතිපත්ති ප්‍රකාශනය එක පැත්තකින් එකම වෙලාවක එකට අත්සන් තැබුවත් එක හිතක් නොවන නිසා දෛනිකව දෙසිතම හිතන්නට වූයේ පැවති එකඟතාව පිළිබඳව හිතට විරුද්ධව වුවත් ආත්ම ලාභය පදවි කෑදරකම හිත තුළ හිතූ ආකාරයෙන්ම කැකෑරෙන්නට විය.


ලංකා ජාතික සංගමයේම විධායක මණ්ඩලය 1949 සැප්තැම්බර් 22 වැනි දින කොළඹ පාම්කෝට් මන්දිරයේදී රැස්වී අභිනව විධායක මණ්ඩලයක් පත්කර ගන්නා ලදී.


එහි සභාපති ධූරයට ජෝර්ජ් ඊ ද සිල්වා පත්කර ගත් අතර අධිනීතිඥ ගිල්බට් පෙරේරා හා මොන්ටේගු ජයවික්‍රම සම ලේකම්වරුන් වශයෙන් පත් කෙරිණ.


එක්සත් ජාතික පක්ෂ රජයේ දෙවැනි පාර්ශ්වකරුවූ සිංහල මහ සභාවේ නායක එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක වක්ක්‍රොක්තියෙන් කරන ලද බලපෑමක් නිසාවෙන් හෝ ලංකා ජාතික සංගමයේ නායකයෙකුව සිටි අගමැති ඩී. ඇස්. සේනානායක එහිදී ඉතා දැඩි ලෙස විවේචනයට ලක්ව ඇති අතර ඔහුගේ පාලනයේ ඇති ජනතා විරෝධී ක්‍රියා කලාපයන්ද මැතිවරණ පොරොන්දු ඉටුකරලීමෙහිලා පෙන්වූ මන්දෝත්සාහී භාවයද හෙළා දකිමින් පහත සඳහන් යෝජනා සභා සම්මත කරමින්, වහා ක්‍රියාත්මක කරන ලෙසට බලකර සිටින ලදී.


යෝජනා


1. පැරණි ගම්මුලාදෑනි ක්‍රමය නැවතත් නගා සිටුවීම පිණිස ආණ්ඩුව විසින් ගන්නා උත්සාහයට ලංකා ජාතික සංගමය තදින් විරුද්ධ වන්නීය.


යෝජක : ඒබ්‍රහම් සිල්වා
ස්ථිර කිරීම : ඇම්. ටී. අක්බාර්


2. ඩී. ඇස්. ආණ්ඩුව මත්පැන් සම්පාදනය කරන්නෙකු වී සිටින බැවින් එම ආණ්ඩුවේ මත්පැන් පිළිබඳ ක්‍රියා කලාපය වරද සහිත එකක් බව ලංකා ජාතික මහා සංගමය ප්‍රකාශ කරන්නීය.


යෝජක : පී. ගල්ලොලුව
ස්ථිර කිරීම : ජී. සී. ගුණතිලක


3. රටේ ආහාර සම්පාදනය සම්බන්ධයෙන් දැනට පවත්නා තත්ත්වය ඉතා භයානක බවත් එය මගහරවාලීමට සෑහෙන විධිවිධාන සැලසීම අතපසු නොකර කළ යුතු බවත් ආණ්ඩුවට යෝජනා කරන්නීය.


යෝජක : පී. ඇම්. ජයරත්න
ස්ථිර කිරීම : ක්ලෙමන්ට් ඩයස්


4. නීත්‍යානුකූල බලතල සහිත සංඝාධිකරණ සභා පිහිටුවීම පිණිස ආණ්ඩුව වහාම ක්‍රියා කළ යුතු බව ලංකා ජාතික මහා සංගමයේ අදහසය.


එසේම,


5. දැනට භාවිතයට පැමිණ තිබෙන දිවුරුම් ක්‍රමය නුසුදුසු නිසා එය ප්‍රතිසංස්කරණයට යොමු කිරීම අප්‍රමාදව කළ යුතු බවට ලංකා ජාතික සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.


යෝජක : පී. පී. සිරිවර්ධන
ස්ථිර කිරීම : එච්. යූ. පොඩි සිංඤො


6. දේශපාලන සංවිධානයක් හැටියට ලංකා ජාතික මහා සංගමය පවත්වා ගෙනයෑමට කරගත් තීරණය නිසා මහජනතාව තුළ ඇති වී තිබෙන කුතුහලය දුරුකරලීම පිණිස අවශ්‍ය නම් සුළු වෙනස්කම් ඇතිකොට මහජනයා අතට පමුණුවාලීම සඳහා අනුකාරක සභාවක් පත්කළ යුතුය.


යෝජක : ඇම්. ටී. අක්බාර්
ස්ථිර කිරීම : පී. ගල්ලොලුව


7. අශ්ව රේස් නිසා ලංකාවට සිදුවන අනර්ථය පිළිබඳව ආණ්ඩුව පිළිගත්තත් අශ්ව රේස් තහනම් කිරීමට කිසිදු සැලැස්මක් නැතිකම නින්දිතව හෙළා දකින අතර එය නතර කිරීමේ පියවරක් වශයෙන් අශ්ව රේස් ආරංචි කොළ මුද්‍රණය හා ප්‍රසිද්ධ කිරීම තහනම් කළ යුතුය.


යෝජක : ඇම්. ටී. අක්බාර්
ස්ථිර කිරීම : පී. පී. ඇන්. ජයසේකර


8. ලංකා වාසීන් වහල් මෙහෙයක් වශයෙන් සලකන රාජකාරි පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුය.


යෝජක : කේ. සුමනදාස
ස්ථිර කිරීම : පී. ඇම්. ජයරත්න 

 


රජයේ දෙවැනි පාර්ශ්වයේ නායකයා වන සභානායක අමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, නායකත්වයට කෙටි මග සොයා බැලූ අවස්ථාවකදී ඩී. ඇස්. ට පහර එල්ල කිරීමට ලංකා ජාතික සංගමයේ මෙම තර්ජනය මහත් රුකුලක් විය. (බණ්ඩාරනායකගේ අභියෝගය ඊළඟ ලිපියේ)

 

 

 

 

 

 

එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර



අදහස් (0)

ඩී.එස් ගේ සංවිධානයම ඩී.එස් ට එරෙහි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site