IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ජේ.ආර්. ශ්‍රී.ල.නි.ප.යට

 

දිවංගත ඩඞ්ලි සේනානායක මහතා අග්‍රාමාත්‍ය ධූරය දැරූ එ.ජා.ප. ආණ්ඩුව 1970 මැයි මාසයේ පැවැති මහා මැතිවරණයෙන් පැරදුණේය. එය එසේ මෙසේ පසුබෑමක් නොව අන්ත පරාජයක් විය. එසේ වන්නේ 1965 වසරේ සිට පුරා වසර පහක් මෙරට පාලන බලය දැරූ එ.ජා.ප.යට එවර හිමිවූ මන්ත්‍රීධූර සංඛ්‍යාව 16 දක්වා අඩුවී තිබුණ බැවිනි. 


ඒ අනුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් යුත් සමගි පෙරමුණු සන්ධානයට 2/3 බලයක් ලැබී තිබුණේය. ඒ කාලයේ හැටියට එය විශිෂ්ට ජයග්‍රහණයක් විය. එවර මහ මැතිවරණයෙන් ඊට පෙර පැවැති ආණ්ඩුවේ සිටි අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල, සී. පී. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, යූ. බී. වන්නිනායක, ඇම්. ඩී. බණ්ඩා, ඇම්. එච්. මොහොමඞ් සහ මේජර් මොන්ටේගු ජයවික්‍රම වැනි ප්‍රබල ඇමැතිවරු පවා පරාජයව තිබුණාහ. හිටපු අගමැති ඩඞ්ලි සේනානායක මහතා තම දැදිගම අසුන බේරාගෙන තිබුණේද ඡන්ද 1067 වැනි සුළු වැඩි ඡන්ද සංඛ්‍යාවකිනි. 


කෙසේ වෙතත් දකුණු කොළඹ බහු ඡන්ද කොට්ඨාසය සඳහා තරඟ කළ ජේ. ආර්. ජයවර්ධන මහතා තම මන්ත්‍රී ධූරය වැඩි ඡන්ද 20826 කින් දිනාගෙන තිබුණේය. මේ වනවිට විපක්ෂයේ අසුන්ගෙන සිටි එ.ජා.ප නායක ඩඞ්ලි සේනානායක සහ නියෝජ්‍ය නායක ජේ. ආර්. ජයවර්ධන යන මහත්වරුන් අතර ඇතිවූ යම් සිත් බිඳීමක් දෙපාර්ශවය අතර ගැටුමක් බවට පත්ව තිබුණේය. එය පක්ෂය තුළ සිටි කොට්ටෝරුවන් දෙතුන් දෙනෙකුගේ කේලාම් ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් විය. 


“සර් මේ දවස්වල අරයා ගැන ටිකක් ඇහැගහගෙන ඉන්න. එයා මේ පක්‍ෂනායකකම ගන්න බලාගෙන තමයි ඔය සේරම ලෙඩ දාන්නේ...!” යි බොරැල්ලේ වුඞ්ලන්ඞ්ස් මන්දිරයට ගොස් ඩඞ්ලි හමුවේ කී එම පිරිස ඊට හූවක දුරකින් වූ වෝඞ් පෙදෙසේ ‘බ්‍රෙමාර්’ මන්දිරයට ගොස් ජේ. ආර්. ට කියා සිටියේ ඔබතුමා පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් පන්නා දැමීමට ඩඞ්ලි සූදානම් වන බවය. එම කේලාම්කරුවන් අතේ පැළ කරමින් කී අභූත කතා ඇසූ දෙපාර්ශ්වයම ඔවුනොවුන්ගේ මුහුණ දෙසවත් නොබලන තත්ත්වයකට පත්වීම එහි ඊළඟ ප්‍රතිඵලය විය. 


“මං මොකටද මෙච්චර බාල්දු වෙවී යූ.ඇන්.පී යේ ඉන්නේ...?”යි තමන්ටම කියාගත් ජේ. ආර්. ඊළඟට සූදානම් වූයේ තම බලය හා අගය මත හිටි පිනුමක් ගැසීමටය. ලොක්කාගේ එම අලුත් අදහස ගැන ඇසූ ඔහුගේ අනුගාමිකයන් වැඩි දෙනෙකුට දැනුණේ හිසේ මලක් පිපුණාක් වැනි හැඟීමකි. ඊට හේතුවූයේ ලොක්කා පෙර පැවැති එ.ජා.ප. ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් සිටියදී ඔහු වෙතින් ලැබුණු පළ ප්‍රයෝජන ඒ වන විට ඔවුන්ට අහිමිවී තිබීමයි. 


“ඔව් සර් ඒක හොඳයි. සර් යන්න ආණ්ඩුවට....” යි කී එම පිරිසගේ යටි අදහස වූයේ ජේ. ආර්. ගේ මාර්ගයෙන් තමන්ගේ මඩිය තරකර ගැනීමය. 


මේ අතර එ.ජා.ප නායකයා සමග බරපතළ හිත් අමනාපයක් ඇතිකරගෙන සිටි ජේ. ආර්. ද අග්‍රාමාත්‍යතුමියගෙන් ආරාධනාවක් ලැබුණහොත් රජයට එක්වීම ගැන තමන්ටද සලකා බැලිය හැකි බව මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේය. එකල පැවති දවස සහ සන් පුවත්පත් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ එම ප්‍රකාශයට මුල් තැනක් දී පළකර තිබුණ අතර ලේක් හවුස් සහ ටයිම්ස් ආයතනයේ පුවත්පත්වලින් ඒ සඳහා ලැබී තිබුණේ දියාරු මට්ටමේ ප්‍රසිද්ධියකි. 


“අගමැතිනිය ආරාධනා කෙරුවොත් ආණ්ඩුවට එක්වෙන්න ජේ. ආර්. සූදානම්!” වැනි ශීර්ෂ පාඨයක් ද සමග දවස පත්‍රයේ මුල් පිටුවේ පළකර තිබූ එම ප්‍රවෘත්තිය දුටු ආණ්ඩු පක්ෂයේ ඇතැම් ප්‍රබලයන්ද හොඳටම කලබල වී තිබුණේ එවැන්නක් සිදුවුවහොත් තමන්ට ලැබිය හැකි තනතුරු අහිමිවී යාමට ඉඩ ඇතැයි යන සැකයෙනි. විශේෂයෙන්ම ඒ වනවිට ආණ්ඩුව සමග සන්ධානගතව සිටි ලංකා සමසමාජ පක්ෂයත්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත්, ඒ පිළිබඳව තම විරෝධය පළ කර තිබුණි. 


රෝද ගැලවී අබලන්වූ බර කරත්තයකින් එළියට පැනගත් ජේ. ආර්. වේගයෙන් ධාවනය කෙරෙමින් තිබූ නවීන මාදිලියේ බස්රියක් නතර කර ගැනීම සඳහා අත ඔසවා බලා සිටින අයුරු දැක්වෙන කාටුන් චිත්‍රයක් යුනුස් විසින් “ඇත්ත” පත්‍රයට ඇඳ තිබුණේද ඊට ආසන්න කාලයකය. 


මේ අතර ජේ. ආර්. ආණ්ඩුවට එක්වීමට සූදානම් වන්නේ කවුරුන්ගේ ආරාධනයකට දැයි යන ප්‍රශ්නය සමගි පෙරමුණේ මැති ඇමැතිවරුන් අතරද කතා බහට ලක්වී තිබුණේය. 
“ඕක තනිකරම අනුරගේ වැඩක් වෙන්න ඇති, මොකද මිනිහා ජේ. ආර්. එක්ක බොහොම එකතුයි.” 


ඇතැමුන් එසේ කීවද තවත් පිරිසකගේ අදහස වූයේ අගමැතිනියම එම අදහස ජේ. ආර්. වෙත ඉදිරිපත් කරන්නට ඇති බවය. අන්තිමේදී ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමකදී එම ප්‍රශ්නය මතුවූයේ සමගි පෙරමුණට අයත් පක්‍ෂ තුනේ තරුණ මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුම ඒ ගැන විමසන්නට වූ බැවිනි. 


“අපට වෙනත් පක්‍ෂවල අය බුලත් දීලා ආණ්ඩුවට ගන්න තරම් අවශ්‍යතාවක් නෑ..!” හැබැයි යම් කෙනෙක් තමන්ගෙම කැමැත්තෙන් ආණ්ඩුවට සහයෝගය දෙන්න ඉදිරිපත් වෙනව නම් අපි ඒ ගැන නොසලකා ඉන්නෙත් නෑ..! යි කියමින් දෙපැත්තටම ගළපා ගත හැකි පිළිතුරක් දුන් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය තමන්ගෙන් ඒ ගැන විමසූ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිස නිහඬ කිරීමට සමත් වූවාය. බණ්ඩාරනායක මැතිනියගේ එම ප්‍රකාශයට මෙරට සියලුම ජනමාධ්‍යවලින් ඉහළම ප්‍රචාරයක් ලැබී තිබුණි. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ඒ වන විට ඔවුනොවුන් හා නඩු කියාගෙන අධිකරණය හමුවට යාම සඳහා සූදානමින් සිටි ඩඞ්ලි සහ ජේ. ආර්. දෙපළ සමගි කරවීමට ඔවුන් දෙදෙනාගේම සමීප හිතවතුන් කීප දෙනෙකු විසින් දැරූ උත්සාහය සාර්ථක වීමයි. එ.ජා.ප.ය තුළ ඇවිළෙන්නට ගිය අග්නි ජාලාව අවසන් මොහොතේ වැළකී ගියේ එලෙසිනි.

 

 

 

ඒ. රුක්මණී ජයතිලක
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

ජේ.ආර්. ශ්‍රී.ල.නි.ප.යට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1966 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1545 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site