IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ජේ.ආර් දුන් ලණු

 

හිටපු ඇමැතිවරයෙකු මෙන්ම පළාත් ආණ්ඩුකාරවරයෙකු වූ නන්ද මැතිව් මහතා ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 1965 වසරේ පැවැති මහ මැතිවරණයෙන් කොළොන්න අසුන ජයග්‍රහණය කරමිනි. ඔහු ඒ වනවිට නීතීි ශිෂ්‍යයෙකු ලෙස නීතිය හදාරමින් සිටියේය. එහෙත් නන්ද මැතිව්ට නීතිය හැදෑරීම අතහැර පාර්ලිමේන්තුවට යාමට සිදුවූයේ ඔහුගේ පියා වන සිරිල් මැතිව් මහතා “තමුසෙ මෙදා සැරේ කොළොන්නට කන්ටෙස්ට් කරනවා....!”යි කියමින් තමන්ගේ කොළොන්න ආසනය පුත්‍රයාට දී බණ්ඩාරවෙල ආසනය වෙනුවෙන් තරඟ කිරීමට ගිය බැවිනි. 


එවර බණ්ඩාරවෙල අසුනට එ.ජා.ප.යෙන් තරඟ කළ සිරිල් මැතිව් පරාජයට පත්විය. එහෙත් ඔහුගේ පුත්‍රයා වූ නන්ද මැතිව් කොළොන්න ආසනය ජයගෙන පාර්ලිමේන්තුවට ගියේය. 


“අපේ තාත්තා 1960 මාර්තු සහ ජූලි මහ මැතිවරණ දෙකේදීම කොළොන්න ආසනය ජයගෙන තිබුණා. 1965 මහ මැතිවරණයේදීත් කොළොන්නට ඉදිරිපත් වුණා නම් පහසුවෙන්ම ජයගන්න තිබුණා. ඒත් අපේ තාත්තා 65 මහ මැතිවරණයේදී කොළොන්න ආසනය මට බාරදීලා බණ්ඩාරවෙලට තරඟ කරන්න ගියේ පක්‍ෂයෙන් කියපු නිසයි. නීතීඥයෙක් වෙන්න හිතාගෙන නීති විද්‍යාලයේ ඉගෙන ගනිමින් හිටපු මම ඉගෙනීම අතඇරලා කොළොන්නට තරඟ කෙරුවෙ තාත්තා කියපු නිසා. කොහොම හරි මම තමයි ඒ දවස්වල පාර්ලිමේන්තුවේ හිටපු ළාබාලම මන්ත්‍රී..!”යි නන්ද මැතිව් කියන්නේ එම රසබර අතීත සිදුවීම් මතකයට නගා ගනිමිනි. 
ඔහු සඳහන් කරන අන්දමට එකල පාර්ලිමේන්තුව නියෝජනය කළ පසුපෙළ මන්ත්‍රීවරු හැම දෙනෙක්ම පාහේ තම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට අතිශය භය පක්‍ෂපාතී බවක් දැක්වූහ. එසේම තමන් වැනි නවකයන් එවැනි ගෞරවාදරයක් දක්වන ලද්දේ එ.ජා.ප.යේ නායක කාරකාදීන්ට පමණක් නොවන බවද හෙතෙම පවසයි. 


“ඇන්. ඇම් ලා, කොල්වින්ලා, බර්නාඞ් සොයිසලා විතරක් නෙවි ශ්‍රී.ල.නි.ප.යේ මෛත්‍රීපාල සේනානායක මහත්තයා දැක්කත් අපි පුටුවෙන් නැගිටලා ගරු සැලකිලි දක්වනවා. කටපුරා සර් කියලයි අපි ඒ අයට කතා කරන්නේ. අද කාලෙ වගේ විරුද්ධ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් කතා කරන කොට ආණ්ඩු පක්‍ෂයේ නවකයන් ඒ අයට බාධා කෙරුවෙත් නෑ...!


නන්ද මැතිව් එසේ කියන්නේ තමන් මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ 1965 - 70 අතර කාලයේ මෙරට මැතිසබයේ පැවැති ශීලාචාර වාතාවරණය පිළිබඳව සඳහන් කරමිනි. එසේම තම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ උපදෙස් පිළිපැදීමටද ඔවුන් විසින් දක්වන ලද්දේ දැඩි උනන්දුවකි. 


“ඒ කාලේ ජේ. ආර්. මහත්තයා රාජ්‍ය ඇමැති ඩඞ්ලි සේනානායක අගමැතිතුමාට විතරයි එයා දෙවැනි වුණේ. මගේ ඉලෙක්ෂන් කැම්පේන් එකටත් උදව් කෙරුවා. තාත්තටත් උදව් කෙරුවා. ඔන්න දවසක් මම චේම්බර් එකේ ඉන්නකොට පියන් කෙනෙක් මට ඇවිත් කිව්වා ජේ. ආර්. ජයවර්ධන ඇමැතිතුමා කතා කරනවයි කියලා. ඒ සැරේ මම එතුමාගේ කාමරේට ගිහින් ඇමැතිතුමා මුණ ගැහුණා...!


නන්ද මැතිව් කියන අන්දමට එදින ජේ. ආර්. ඔහුගේ අතට එක්තරා ලිපියක කාබන් පිටපතක් දුන්නේය. එහි සඳහන්ව තිබුණේ එකල පැවැති ප්‍රසිද්ධ රක්‍ෂණ සමාගමකින් හිටපු අගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වෙත අලුත්ම මෝටර් රථයක් පරිත්‍යාග කරන ලදැයි කියන සිද්ධියකට අදාළ තොරතුරකි. 


“ඕක අල්ලස් ගණයට වැටෙන සිද්ධියක්. නන්ද ඔය ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න. ප්‍රශ්නයක් ඇති වුණොත් අපිත් උදව්වට එනවා!යි ඉංග්‍රීසි බසින් කී ජේ. ආර්. තම මේසය මත තිබූ වෙනත් ලිපි ගොනුවක් අතට ගෙන පෙරළා බලන්නට විය. එය තමන්ට එතැනින් පිටව යන ලෙස කළ නිහඬ දැනුම්දීමක් බව වටහාගත් නන්ද මැතිව් ලොක්කාගෙන් සමුගෙන නිල මැදිරියෙන් එළියට ආවේය. 


සබාගැබේ තම අසුන වෙත ගිය ඔහු ජේ.ආර්, තමන් අතට දුන් ලිපිය තුන් හතර වතාවක්ම කියවා බැලුවේය. ඉංග්‍රීසි බසින් ලියා තිබූ එම ලිපියේ සිරිමාවෝ මැතිනියට තෑගිකළ බව කියන මෝටර් රථයේ වර්ගය, එහි ඇන්ජින් අංකය, චැසි අංකය සහ නිෂ්පාදිත වර්ෂය පවා පැහැදිලිව සටහන් කර තිබුණේය. එහෙත් ප්‍රශ්නය වූයේ අදාළ රක්‍ෂණ සමාගම මගින් එම මෝටර් රථය පරිත්‍යාග කර තිබුණේ හිටපු අගමැතිනියට වීමයි. කෙසේ වෙතත් එතුමිය එම මෝටර් රථය භාරගත්තාද නැද්ද යන වගක් එහි සඳහන්ව නොතිබිණි. 


“දැන් මටම තේරෙනවා මේක මහා බරපතළ චෝදනාවක් බව. ඒ වගේම ඒ චෝදනාව කරන්නේ එවකට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායිකාවට විරුද්ධවයි. මේ ගැන මම කිසිම තොරතුරක් දැනගෙන හිටියෙත් නෑ. එහෙම වුණයි කියල ජේ. ආර්. ගේ කීම නොසලකා ඉන්නත් බෑ. එතකොට ලොක්කා හිතාවි මේ යකා මහ නෝංජලයෙක්ය කියලා. ඒ කාලෙ අද වගේ සෙල්ෆෝන් තිබුණෙත් නෑ. එදා තාත්තා ගෙදර සිටියෙත් නැති නිසා මේ ගැන උපදෙසක් ගන්නවත් පුළුවන්කමක් තිබුණෙ නෑ...”


අන්තිමේදී නන්ද මැතිව් ඒ ගැන තීරණයක් ගත්තේය. ඊළඟට ඔහු කළේ අදාළ කාරණය පිළිබඳව ප්‍රශ්න කීපයක් සකස් කර එය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාරදීමය. දින කීපයකට පසු ඔහුට එම ප්‍රශ්නය ඇසීම සඳහා ඉඩ ප්‍රස්ථාවක් ලැබුණද ඒ මොහොතේ සබාවේ මුලසුන දැරූ නියෝජ්‍ය කථානායකවරයා ඔහු වළක්වමින් කියා සිටියේ තමන් ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන බවය. මේ අතර එකල පැවැති සියලුම පුවත්පත් වලින්ද ඒ ගැන පුළුල් ප්‍රචාරයක් ලැබී තිබුණේය. 


එකල පැවැති ලේක්හවුස්, ටයිම්ස්, දවස සහ වීරකේසරී සමාගම් මගින් පළකෙරුණු සියලුම පුවත්පත්වලින් ලැබුණු පුළුල් ප්‍රචාරය දුටු නන්ද මැතිව්ට පවා සිතුණේ එම සිද්ධිය පිටුපසින් යම් බලසම්පන්න හස්තයක් ක්‍රියාත්මක වන බවය.


මේ අතර නියෝජ්‍ය කථානායක පොරොන්දු වූ අයුරින්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර තිබුණේ එවකට පැවැති ආණ්ඩුවේ දෙවැනි බලවතාවූ ජේ. ආර්. ජයවර්ධන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් කීපදෙනෙක්ම එහි සාමාජිකයන් වශයෙන් පත්කර තිබුණහ. 


“දැන් ඔන්න ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මාව කැඳෙව්වම මම අර ලිපියේ සඳහන් සියලුම තොරතුරු අකුරක් නෑර කිව්වා. ඒ දවස්වල විපක්‍ෂයේ ප්‍රබලයන් හැටියට හිටපු ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, පීටර් කෙනමන්, බර්නාඞ් සොයිසා, ෆීලික්ස් ඩයස් වගේ දේශපාලනඥයන් තමයි මගෙන් පැන පැන ප්‍රශ්න ඇහුවේ. ඒ සැරේ මම කිව්වා මම දන්නේ ඔය කියපු හරිය විතරයි. අදාළ රක්‍ෂණ සමාගමේ ප්‍රධානියාගෙන් මේ සිද්ධියේ සියලුම තොරතුරු දැනගන්න පුළුවන් කියලා.....”


ඒ අනුව අදාළ රක්‍ෂණ සමාගමේ ප්‍රධානියා ද තේරීම් කාරක සභාව හමුවට කැඳවා ඔහුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරුණේය. එහිදී ඔහු කියා සිටියේ තම සමාගම එකී වාහනය පරිත්‍යාග කරන ලද්දේ ශ්‍රී.ල.නි.ප.ය ඇතුළු සමගි පෙරමුණු සන්ධානයට මිස ශ්‍රී.ල.නි.ප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට නොවන බවය. එසේම ඊට පෙර පැවැති ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ මැතිනියට රජයේ නිල වාහන අවශ්‍ය තරම් ඇති බැවින් තම රක්‍ෂණ සමාගමෙන් වාහනයක් පෞද්ගලිකව එතුමියට පරිත්‍යාග කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද ඔහු වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් කියා තිබුණේය. 


මෙහිදී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට අවශ්‍ය වූයේ සිරිමාවෝ මැතිනිය ශ්‍රී.ල.නි.ප.ය ඇතුළු සමගි පෙරමුණේ සභාපතිනිය වූ බැවින් එම වාහනය ඇයට කරන ලද පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස ඒත්තු යන අන්දමින් එම සාක්‍ෂිය ලබා ගැනීමටය. එහෙත් ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයන් දැරූ එම උත්සාහය අසාර්ථක විය. අන්තිමේදී නන්ද මැතිව් මන්ත්‍රීවරයා මතුකළ ප්‍රශ්නයට අදාළ කිසිදු කරුණක් ඒ පිළිබඳව පත්කළ තේරීම් කාරක සභාව මගින් කළ සාක්‍ෂි විමසීමේදී තහවුරු කර ගැනීමට නොහැකි වූයෙන් එහි සභාපතිවරයාවූ ජේ. ආර්. ජයවර්ධන මහතාටම සිදුවී තිබුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමටය. කෙසේ වෙතත් එම සිද්ධියෙන් පසු වසර ගණනාවක් යනතුරු සිරිමාවෝ මැතිනිය තමන් දකින විටත් මුහුණ ඉවතට හරවා ගැනීමට පුරුදුව සිටි බව නන්ද මැතිව් පවසයි. 


“ඒ වුණාට මා ලවා එතුමියට මේ ආරංචිය ඇදපු ජේ. ආර්. එක්ක නං සිරිමාවෝ මැතිනිය හොඳට හිනා වෙවී කතා කරන හැටි ඊට පස්සෙත් මම බොහෝවිට දැක තිබුණා...!යි කියන නන්ද මැතිව් වැඩිදුරටත් සඳහන් කරන්නේ එම සිද්ධියෙන් ඉගෙන ගත් පාඩම නිසා ලොක්කන් විසින් දෙන දිරච්ච ලණු නොකෑමට තමන් තරයේ වග බලාගත් බවයි.

 

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (0)

ජේ.ආර් දුන් ලණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17579 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site