IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජනාධිපතිවරණයක අතුරු කතා

 

1993 මැයි 01 වැනි දින කොළඹ ආමර් වීදියේදී තම මැයි පෙළපාළිය සකස් කරමින් සිටියදී එල්.ටී.ටී.ඊ.යේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු සිදුකළ පිපිරීමකින් ශ්‍රී ලංකාවේ දෙවැනි ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා මරණයට පත්විය. මේ වනවිට අගමැතිධුරය දරමින් සිටි ඩී. බී. විජේතුංග මහතා ජනාධිපති ලෙස පාර්ලිමේන්තුවේ කැමැත්තෙන් පත්වූ අතර කර්මාන්ත හා විද්‍යා තාක්ෂණ ඇමැති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත්තේය.


විජය කුමාරතුංග අභාවයෙන් පසුව එංගලන්තය බලා ගොස් සිටි චන්ද්‍රිකා කුමාරතුංග මේ වනවිට ලංකාවට පැමිණ ශ්‍රීලනි පක්ෂයට සම්බන්ධවී බස්නාහිර පළාත් සභා මහ ඇමැතිනිය ලෙස කටයුතු කරමින් සිටියාය. 1993 බස්නාහිර පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ධුරය දරමින් සිටියදී 1994 අගෝස්තු 16 වැනි දින පැවැති මහ මැතිවරණයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ නායකත්වයෙන් ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ ජය ලබා 1994 අගෝස්තු 19 වැනි දින ජනාධිපති ඩී. බී. විජේතුංග ඉදිරියේ අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය. 


ආර්. ප්‍රේමදාස මහතාගේ ජනාධිපති ධුර කාලයේ ඉතිරි කොටස සඳහා තෝරාගත් ඩී. බී. විජේතුංග මහතා තුන්වැනි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමේ දිනය ලෙස 1994 ඔක්තෝබර් 07 වැනි දින නියම කරන ලදී. ඒ අනුව පහත අපේක්ෂකයෝ නාමයෝජනා භාරදෙනු ලැබූහ.


1. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග - පොදුජන එක්සත් පෙරමුණ

2. ගාමිණි දිසානායක - එක්සත් ජාතික පක්ෂය

3. නිහාල් ගලප්පත්ති - ජනතා විමුක්ති පෙරමුණ

4. හරිස්චන්ද්‍ර විජේතුංග - සිංහලේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂය

5. ඒ.ජේ. රණසිංහ - ස්වාධීන1

6. හඞ්සන් සමරසිංහ - ස්වාධීන 2


ශ්‍රී ලංකාවේ එකොළොස් වන අගමැතිවරිය ලෙස පත්වී දෙමසක් ඇතුළත චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ජනාධිපති ධුරයට තරග කිරීමට සිදුවිය.


ජනාධිපතිවරණ දේශපාලන උණුසුම ටිකෙන් ටික වැඩි වෙද්දී 1994 ඔක්තෝබර් 24 වැනි දින කොළඹ තොටළඟ එජාපක්ෂ රැස්වීමට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගාමිණි දිසානායක මහතා ඇතුළු පිරිසක් මරණයට පත්වූ අතර ජනාධිපති තෝරා ගැනීමේ පනත අනුව විකල්ප අපේක්ෂක ලෙස එජාපක්ෂය විසින් ගාමිණි දිසානායක මහතාගේ බිරිඳ වූ වජිරා ශ්‍රීමනි දිසානායක මහත්මිය තෝරා ගන්නා ලදී.


1994 නොවැම්බර් 09 වැනි දින ජනාධිපතිවරණය පැවැත්විණි. 1977 මහ මැතිවරණයේ සිට පසුබා සිටි ශ්‍රීලනි පක්ෂය ප්‍රමුඛ වමේ කොටස්වල එකතුවෙන් සැදුණු පොදුජන එක්සත් පෙරමුණ මෙම තුන්වැනි ජනාධිපතිවරණයේදී අති විශිෂ්ට ජයග්‍රහණයන් ලබමින් මෙතෙක් ජනාධිපතිවරයකු ලැබූ වැඩිම ඡන්ද ප්‍රතිශතය එනම් 62.28%ක් ලබමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජයග්‍රහණය කළාය. මෙතෙක් පැවැති ජනාධිපතිවරණ හතෙන්ම වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබා ගැනීමට එතුමිය සමත් වූවාය. 


මෙම ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් කැපී පෙනෙන ලක්ෂණය වන්නේ මෙතෙක් කිසිදු ජනාධිපති අපේක්ෂකයකු පසුගිය ජනාධිපතිවරණ හතේදී ලබා නොගත් ආකාරයට දිස්ත්‍රික්ක 22 ම පොදුජන එක්සත් පෙරමුණු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමය. ලංකා මැතිවරණ ඉතිහාසයේ එකම දේශපාලන පක්ෂයක් උතුරු - නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 22ම ජයග්‍රහණය කර නොමැත. 


සෑම මැතිවරණයකදී ජාතිවාදී ලෙස ප්‍රතිඵල ලැබෙන යාපනය, වන්නි, මඩකළපුව, ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්කත්, එජාපක්ෂයට බහුතර බලය සහිත මහනුවර, නුවරඑළිය කොළඹ, පුත්තලම වැනි දිස්ත්‍රික්කත් සම්පූර්ණයෙන් ජය ගැන්මට චන්ද්‍රිකා මැතිනියට හැකිවිය. තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ මැතිවරණ කොට්ඨාස 160න් මහියංගණය ආසනය හැර සියලු ආසන ජය ගැන්මට එතුමියට හැකිවීමයි. මහියංගණය ආසනය එජාපයේ වජිරා ශ්‍රීමනී දිසානායක ඡන්ද 24,842 ලැබූ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ලබා තිබුණේ ඡන්ද 18,218කි. ඒ අනුව වැඩි ඡන්ද 6624කින් එම අසුන පරාජය විය. මෙසේ එක් ආසනයක් හැර සියලු ආසන ජයග්‍රහණය කිරීමද වාර්තාවකි.

 

 

 


බණ්ඩාරගම සමරසේන මුදලිගේ
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

ජනාධිපතිවරණයක අතුරු කතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site