IMG-LOGO

ගල් ගෙයක සිර කළ සුද්දගේ කතාව

සමසමාජ පක්ෂය පොදු මහජනතාව සමඟ වඩාත් සමීප වීමෙහිලා විදේශිකයකු වූ බ්‍රෙස්ගර්ඞ්ල්ගේ ආගමනය දැඩි සේ බලපාන්නක් විය. ආණ්ඩුකාරවරයාගේ නියෝගයට පිටුපා බ්‍රෙස්ගර්ඞ්ල් ක්‍රියා කිරීම තුළින් රජ අණසකට යටත් නොවන ප්‍රබල සමසමාජවාදියකු මතුවීම බි්‍රතාන්‍ය පාලනයට ද එල්ල කරනු ලැබූ අතිවිශාල අභියෝගයක්ය යන්න මුළු රටම දැනගත්තෙන් පක්ෂ විධායකයෝ එක්ව රහසිගතව තීරණයකට එළැඹියහ.


දැන් කළ හැකි එකම දෙය නම් ඔහුට රටෙන් පිටවීමට නොදී සඟවාගෙන සිටීම බව ඔවුන්ගේ තීරණය විය. මේ බැරෑරුම් කටයුත්ත භාර වූයේ රෙජී සේනානායකටය. සමසමාජ පක්ෂයේ උද්යෝගිමත් සාමාජිකාවක වූ සෙලීනා මෙහිදී ඔවුනට උදව් වූවාය. සෙලීනා ලුණුගල අසල ආරක්ෂක ස්ථානයක් සොයා ඒ බව රොබට් ගුණවර්ධනට කීවේය.


රත්නපුර, බළංගොඩ, බණ්ඩාරවෙල පසු කරමින් ලුණුගල නතරවීමට සූදානම් කර තිබූ ස්ථානයට යන විට උදේ පාන්දර හතර පමණ වී තිබිණ. නවාතැන කිසිදු පහසුකමක් නැති ස්ථානයක් විය. එය ලෑලි ගසන ලද කුඩා කාමරයකි. වතු අධිකාරිවරයකු වශයෙන් සිටි ඉහළ සැප සම්පතින් පිරුණු ජීවිතයක් ගත කොට සිටි බ්‍රෙස්ගර්ඞ්ල් තුළ ඇති වූයේ දැඩි පිළිකුලකි.


“සුද්දා මාව අල්ලගෙන ගියත් මෙතැන නම් ඉන්න බැහැ” ඔහු කියන්නට විය.


බැලූ විට එය ඇත්ත කතාවකි. එහෙත් වෙලාවේ හැටියට කළ හැක්කේ කුමක් දැයි පිරිස කතිකා කළහ. බ්‍රෙස්ගර්ඞ්ල් රටෙන් පිටුවහල් කිරීමට නියෝග ලැබුණු පුද්ගලයෙකු නිසා ඉක්මන් තීරණයක් ගත යුතුව තිබිණ.
“මම වැඩ කරපු මඩොල්කැලේවත්තේ මූකලානෙ ගල් ගෙයක් තියෙනව. ඒ ගල් ගුහාවට වෙලා ඉන්න එක මේ ගුබ්බෑයමේ ඉන්නවට වැඩිය හොඳයි” ඔහු වේදනාවෙන් කියන දෙය අසා සිටි හිතවත්තු එහි යාමට තීරණය කළහ. රොබට් මෝටර් රථය පණගන්වන්නට සැරසිණ “කෝ පෙට්‍රල් නැහැනේ” රොබට්ගේ කතාවෙන් ඔවුහු බියට පත්වූහ.


“මම දුවල ගිහින් අරගෙන එන්නම්” විලී ජයතිලක ගෙදර දිව ගියේය. වතුර මිශ්‍ර වී තිබුණ ඒ පෙට්‍රල් දැමූ විට කොහොමටවත් රථය පණ ගන්වන්නට නොහැකි විය. එක් අයකු ටවුමට ගියේ පෙට්‍රල් ගෙන ඒමටය. ඒ අතරතුරේදී ටැංකිය හිස් කළේය. වෙස් වළාගෙන සිටි බ්‍රෙස්ගර්ඞ්ල් මෝටර් රථය පසුපස අසුනේ සැඟවී සිටියේය.


ලුණුගලින් පිටත් වූ පිරිස බදුල්ල වැලිමඩ හරහා නුවර එළියට එන විට හොඳටම දහවල් වී තිබිණ. දහවල් කෑම නුවරඑළියෙන් ගත් පිරිස ගල්ගෙය තුළ සැඟවී සිටියදී පාවිච්චි කිරීමට අවශ්‍ය කළමනා නුවරඑළිය ටවුමෙන් මිලදී ගත්හ. ටින්කෑම, ගිනිපෙට්ටි, විදුලි පන්දම් බැටරි ආදිය සෑහෙන්නට ගත් පිරිස මහනුවරට ළඟා වන විට රාත්‍රී නවයත් පසුවීය. කළමනා ටික පොට්ටනියකට දමාගත් බ්‍රෙස්ගර්ඞ්ල් තමා කලින් වතු අධිකාරිවරයා වශයෙන් සිටි වත්තේ කෙළවර වූ ගල්ගෙය බලා පියමං කළේය.


‘හරියට දවස් හතක් ගියතැන රෑ දොළහට අපි එනවා. ටෝච් එක පත්තු කරන කොට කාර් එකට එන්න” රොබට් ගුණවර්ධන ඔහුගෙන් සමුගත්තේය.


රොබට් ගුණවර්ධනත් රෙජී සේනානායකත් දින දෙකක් මුළුල්ලේ එක දිගට මෝටර් රථය පදවා තිබිණ. මේ වන විට ගත වූ ගමන් මඟ සැතපුම් හාරසිය තිස් හයකි. අතරමඟදී ඉවසා ගන්නට නොහැකි නිදිමතක් තිබුණෙත් උතුවන්කන්ද අසල රථය නතර කොට පැය දෙකක පමණ සුළු කාලයක් නිදාගත් දෙදෙනා නැවතත් කොළඹ බලා ගමන් ගත්හ.


කොළඹ කොස්ගස් හන්දියේ පුංචි ගෙයක් කුලියට ගෙන බ්‍රෙස්ගර්ඞ්ල් සැඟවිය යුතු බවට තීරණය කළහ. සතියක් ගිය තැන මහ රෑ දොළහට ඔහු තමන් එනතුරු ගල් ගෙයට වී බලා සිටින බව මේ අය දනිති. මේ කටයුතු මෙසේ සිදුවෙද්දී කොයි මොහොතක හෝ බ්‍රෙස්ගර්ඞ්ල් පිටුවහල් වන බව දැන සිටි වතු අයිතිකරුවෝ කොළඹ ජී. ඕ. එච්. හෝටලයේ උඩු මහලේ නවාතැන් ගෙන සිටියහ. බ්‍රෙස්ගර්ඞ්ල් වැඩ කළ වත්තේ අයිතිකරුවාත් ඒ අතර විය.


මේ කාලයේ පොලිස්පති පදවිය දැරූ බෑන්ක්ස් රට දෙවනත් කරමින් ආණ්ඩුකාරයාගේ නියෝගය පරිදි බ්‍රෙස්ගර්ඞ්ල් සොයන්නට දැඩි පරිශ්‍රමයකින් කටයුතු කළේය. මේ අතර තුර සම සමාජ පක්ෂය ‘බ්‍රෙස්ගර්ඞ්ල් කෝ’ යනුවෙන් අත් පත්‍රිකා බෙදාහරිමින් විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඇරඹීය. තැනින් තැන රැස්වීම් පවත්වන්නට විය. මෙය එක්තරා අන්දමකින් අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයේ උච්චතම අවස්ථාවට ජනතාව යොමු කිරීමේ ක්‍රියාමාර්ගයක් විය.


ආණ්ඩුකාරයාගේ නියෝගය කඩමින් සැඟවී සිටින මේ මිනිහා කොහි ගියාදැයි කවුරු කවුරුත් කතා කරන්නට වූහ. මඩොල්කැලේ මූකලානේ ගල් ගෙයකට වී ඔහු සිටින බව දැන සිටියේ සම සමාජ පක්ෂයේ කිහිප දෙනෙකු පමණි.


අඳුරු ගල් ගෙයක රැය පහන් කරන බ්‍රෙස්ගර්ඞ්ල් අලුයම හිරු නැඟෙත්ම තම පාලනය යටතේ පැවති වතු යායේ සෞන්දර්යය දක්නට තවත් කවරදාවත් නොලැබෙන බව දුක්බරව සිතන්නට වුවද මුළුමහත් අහිංසක ජන කන්දරාවක් වෙනුවෙන් තමන් කරන පරිත්‍යාගය ඉතිහාසයේ කවරම දිනක වුවද සටහන් වනු ඇතැයි සිතන්නට විය.


ගල්ගුහාවට වී සතියක් ගිය තැන රොබට් ගුණවර්ධන සිය සගයා සමඟ එතැනට ගියේ දැනුම් දුන් වේලාවට වඩා විනාඩි කිහිපයක් ප්‍රමාද විය. දත්මිටි කමින් ගල්ගුහාව ඉදිරියේ පොට්ටනියත් සූදානම් කරගෙන සිටි බ්‍රෙස්ගර්ඞ්ල් දුවගෙන විත් මෝටර් රථය තුළට රිංගා ගත්තේය. ග්‍රෑන්ඞ්පාස් හි කොස්ගස් හන්දියේ කුලියට ගත් නිවසෙහි ඔහු සැඟවීය. දිගින් දිගටම රැස්වීම් පවත්වා ජනතාව තීවූ කළ සමසමාජ පක්ෂය විසින් මැයි මස 5 වැනිදා ගාලු මුවදොර මහා සභාවක් කැඳවනු ලැබීය.


“ගෝල්ෆේස් පිට්ටනියේ රැස්වීමක්. එදාට බ්‍රෙස්ගර්ඞ්ල් ජනතාව අමතනවා”


සමසමාජ පක්ෂය රට පුරා පත්‍රිකා බෙදා හැරියේය. රැස්වීමට බ්‍රෙස්ගර්ඞ්ල් ගෙන ඒමේ කටයුත්ත භාර වූයේද රොබට් ගුණවර්ධනටය.


කොස්ගස් හන්දියේ බ්‍රෙස්ගර්ඞ්ල් සඟවා සිටි තැන ගැන සැකයක් ඇති වූ නිසා රැස්වීමට දින දෙකකට කලින් ඔහු හේවාගම් කෝරළයේ කොරතොට පිහිටි නිවසක නතර කරවනු ලැබීය. ගාලු මුවදොර පිටියේ පැවැති රැස්වීම නියම කරගෙන තිබුණේ සවස 5 ටය. සවස 3 වන විටත් විසිපන්දහසකට අධික ජනකායක් ගාලු මුවදොර පිට්ටනියට එක්රොක් වී සිටියහ.


අශ්වයන් පිට නැඟුනු සුදු පොලිස්කාරයන් ගාලු මුවදොර වටලාගෙන සිටියහ. මෝටර් රථයේ පිටුපස අසුනේ සැඟව සිටි බ්‍රෙස්ගර්ඞ්ල් ගාලු මුවදොර වේදිකාව අසලටම රොබට් ගුණවර්ධන රැගෙන ආවේය. කිහිප දෙනෙකු මෝටර් රථයේ හැපී විසි වුණත් ඒ කිසිවක් ගණනකට නොගෙන බ්‍රෙස්ගර්ඞ්ල් කැඳවාගෙන එනු දුටු මහජනතාව ප්‍රීතිඝෝෂා කරන්නට වූහ.


වේදිකාවට පැමිණී ඔහු ජනතාව ඇමතීය. සුදු පොලිස්කාරයන් විස්මිතව බලා සිටියත් ඔවුනට කරකියාගත හැකි කිසිවක් නොවීය. මහජන ප්‍රීති ඝෝසා මධ්‍යයේ රැස්වීම නිමාවට පත්විය. සුද්දන් ආහාර ගන්නා ජී. ඕ. එච් හෝටලයට බ්‍රෙස්ගර්ඞ්ල් ගෙන ගිය රොබට් ආදීහු සුද්දන් බලා සිටියදීම කෑම ගත්හ.

 

 



අදහස් (0)

ගල් ගෙයක සිර කළ සුද්දගේ කතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1558 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1686 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site