IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


එජාප පෙළපාළියේ කොටි කොඩි

තිස්සගේ  මතක වත-69

අපි යාපනේ පවත්වන්න සූදානම් වුණු මැයි දින රැස්වීම සැලසුම් කළේ පෙළපාළියකින් දොරේ අප්පා ක්‍රීඩාංගණයට ඇවිත් ඊට පස්සේ රැස්වීම ආරම්භ කරන්න. යාපනය නගරය හරහා තමයි පෙළපාළිය ගමන් කරන්න තීරණය කළේ. ඒත් මේ තීරණයේ අවදානමකුත් තිබුණා. එල්.ටී.ටී.ඊ. සංවිධානය නැතිවෙලා තිබුණත් වෙනත් නම්වලින් ක්‍රියාත්මක කල්ලිවලින් අනතුරක් වෙන්නත් බැරි නෑ කියන අදහසක් තිබුණා. ඒකටත් සූදානමින් තමයි මේ වැඬේට බැස්සේ. අනිත් එක ආණ්ඩුවත් බලාගෙන ඉන්නවා අපිට වරදිනකම් ඒක නිසා අඩුපාඩුකම් අවම කරගෙන මේක කරන්න අපි පරිස්සම් වුණා.

අපේ මැයි රැස්වීමට එන බස්වලට හිරිහැර කරනවා කියල එදා උදේ අපිට ආරංචි වුණා. සෝදිසි කරන මුවාවෙන් ආරක්ෂක අංශවලින් රැස්වීමට එන බස්වලට හිරිහැර කරනවා කියලා එදා උදේ අපිට ආරංචි වුණා. සෝදිසි කරන මුවාවෙන් ආරක්ෂක අංශවලින් රැස්වීමට එන බස් ප්‍රමාද කිරීමේ උත්සාහයක් තමයි අරගෙන තිබුණේ. ඒක ආණ්ඩුවේ වුවමනාවකට සිද්ධ වුණු දෙයක්. අපි මේ ගැන යාපනේ හමුදා ප්‍රධානීන්ටත් කිව්වා. ඒත් ඒකෙන් වැඩක් වුණේ නෑ.


අපි පෙළපාළිය නගරය හරහා තමයි ආවේ. රනිල් වික්‍රමසිංහ පෙළපාළියේ ආවේ නෑ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නෙ නිසා. පෙළපාළියේ ආපු අය අතරට මම එකතුවුණා. අනෙක් මන්ත්‍රීවරුත් පෙළපාළියේ ගමන් කළා. අපේ මැයි දිනේ ආවරණය කරන්න මාධ්‍යවේදීන් විශාල පිරිසකුන් ඇවිත් හිටියා. පෙළපාළියෙන් කට්ටිය එන අතරේ එක පුද්ගලයෙක් අයි.ටී.එන්. එකේ කැමරා සවිකරලා තිබුණ තැනදී ඒ කැමරාවලට පේන්න එල්.ටී.ටී.ඊ. එකේ කොඩියක් ප්‍රදර්ශනය කරගෙන ආවලු. මටත් එතන ඉඳපු කෙනෙකු කතා කරලා කිව්වා බලන කෙනෙකුට පේන්නේ අපේ මැයි පෙළපාළියේ කොටි සංවිධානයේ කොඩි අරගෙන යන අයත් හිටියා කියලා. මට මේක ආරංචි වුණු ගමන් ඒ සිද්ධිය වුණු හරියේ ඉඳපු ගාමිණී ජයවික්‍රම පෙරේරාට මම කතා කරලා කිව්වා මෙහෙම සිද්ධියක් වෙනවා හොයලා බලන්න කියලා. ජයවික්‍රම පෙරේරා ගිහින් මේ පුද්ගලයා අල්ලගෙන ප්‍රශ්න කරලා තියෙනවා. මම කිව්වා මේ පුද්ගලයා පොලිසියට බාර දෙන්න කියලා. කොහොම හරි විස්තර අහගෙන ජයවික්‍රම පෙරේරා මේ කෙනාව අත ඇරලා දාලා තියෙනවා.


කොහොම හරි අපි පෙළපාළිය ඇවිත් රැස්වීමක් තියලා වැඬේ සාර්ථකව ඉවර කළා. විශාල සෙනඟකුත් ආවා රැස්වීමට. සම්බන්දන් ඇතුළු ටී.එන්.ඒ. නායකයොත් අපිත් එක්ක සම්බන්ධ වුණා. යාපනේ දෙමළ ජනතාවත් මේ රැස්වීමට ආවා. ඒක විශේෂත්වයක්. අපි පළමු වතාවට යාපනේ පවත්වපු මැයි දින රැස්වීම සාර්ථකව පවත්වන්න පුළුවන්වීම ගැන හැමෝම හිටියේ සතුටකින්.


ඔක්කොම වැඩ ඉවරවෙලා අපි රෑ නවාතැන් අරගෙන ඉඳපු තැනට ඇවිත් රූපවාහිනියේ ප්‍රවෘත්ති බලන්න වාඩි වුණා. අයි.ටී.එන්. එකේ ප්‍රවෘත්තිවලට අර කොටි ලාංඡනය සහිත කොඩිය අරගෙන ගිය පුද්ගලයාගේ දර්ශන පෙන්න පෙන්න අයි.ටී.එන්. “නිව්ස්වලින්’ අපිට පහර දෙනවා දැක්කා. අපි හිතුවා වගේම මේක සැලසුම්සහගත වැඩක් කියලා ඒත්තු ගියා අපිට. මම එවලේම “කෝල්” එකක් ගත්තා එතකොට අයි.ටී.එන්. එකේ සභාපති විදියට වැඩකරපු රොස්මන්ඞ් සේනාරත්නට. මම ඇහුවා ඇයි මේ වගේ බොරු ‘නිව්ස්’ ගහන්නෙ කියල. කැත වැඩ කරන්න එපා කියලා මම තදින්ම දෝෂාරෝපණය කළා රොස්මන්ඞ්ට. රොස්මන්ඞ් කිව්වෙ එයාලා මොකුත් දන්නේ නෑ එයාලටත් ආපු “නිව්ස්” එකක් තමයි ප්‍රචාරය කළේ කියලා. මම ආරක්ෂක ලේකම්ට කෝල් කරලා මේ ගැන කියන්න උත්සාහ කළා. ඒ වෙලාවෙ කතා කරගන්න බැරිවුණා. පස්සෙන්දා මම මේ සිදුවීම ගැන ආරක්ෂක ලේකම්ට ලිපියක් ලියලා දැනුම් දුන්නා.


මේ වැඩ ඔක්කොම ඉවරවෙලා අපි කොළඹ ආවා. කොළඹ එද්දිම මට දරුණු විදියට බෙල්ලෙ අමාරුවක් ආවා. කොළඹ ආපු ගමන් මම රෝහල් ගත වුණා. එකදිගට වාහනවල එහෙ මෙහෙ ගිහින් ගොඩක් මහන්සි වීම නිසා අමාරුව ඇවිත් තියෙන්නේ. බෙල්ලෙ ජොයින්ට් එකක් පුපුරලා තිබුණා. පැය හයක ඔපරේෂන් එකක් කරලා තමයි සනීපවුණේ. දවස් එකොළහක් විතර හොස්පිට්ල් එකේ ඉන්න සිද්ධ වුණා.

 

 


තව කොටසක් ලබන සතියට.

 

 

 

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

එජාප පෙළපාළියේ කොටි කොඩි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1810 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1474 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site