IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


උඩු ගුවනේදී ගුවන් නියමුවාගේ බෙල්ල බදාගත් ඇමැතිවරයා

1971 අප්‍රේල් මස 5 වැනිදා අලුයම් කාලයේ අවිගත් නාඳුනන තරුණයන් පිරිසක් විසින් වැල්ලවාය පොලිසියට හදිසි ප්‍රහාරයක් එල්ලකර තිබුණි. අනතුරුව රටේ වෙනත් ප්‍රදේශවල පිහිටි බොහොමයක් පොලීසිවලට ද ඊට සමාන ප්‍රහාරයන්ට මුහුණ දීමට සිදුවිය. එවැනි ඇතැම් පොලිස් ස්ථාන වසා දමා එහි සිටි පොලිස් භටයන් ඇතුළු නිලධාරීන් මූලස්ථාන පොලීසිවලට අනුයුක්ත කිරීමට රජයට සිදුවූයේ ඒ හැර වෙනත් විකල්පයක් නොතිබූ බැවිනි.


මේ අතර ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කොළඹට කැඳවා වැඩි ආරක්ෂාව සඳහා හෝටල්වල නතර කරවීමට ද රජයට සිදු වී තිබුණේය. එම ප්‍රහාරයන් ගැන සැලවූ විගස පොලීසිය සහ මුළු මහත් ත්‍රිවිධ හමුදාවම සීරුවෙන් තැබුණු අතර ඔවුන්ගේ ආරක්ෂක මෙහෙයුම්වලට ඉඩ සැලසෙන පරිදි විටින් විට රටපුරා ඇඳිරි නීතිය පැනවීමට ද ආණ්ඩුව එසැණින් පියවර ගෙන තිබුණේ ජාතික ආරක්ෂාව මුල්කර ගෙනය.


මුල් සති කීපය තුළ එම කැරලිකාරී තත්ත්වය රට පුරා ශීඝ්‍රයෙන් පැතිර ගිය ද පසුව එහි වේගය බාලවී ක්‍රමයෙන් සන්සුන් වූයේ රාජ්‍ය මර්දනය එම ප්‍රහාරයන් තරමටම බලවත්වූ බැවිනි. ඒ සමගම වාගේ නොමග ගිය තරුණ පිරිසට තම තමන් සතු අවිආයුධත් රැගෙන රජයට බාරවන ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය ප්‍රසිද්ධ ඉල්ලීමක් කළ අතර එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ එම කැරැල්ලට සම්බන්ධ සමහර තරුණ තරුණියන් බුරුතු පිටින් පැමිණ රජයට බාරවීමට පෙළඹීමයි.


කෙසේ වෙතත් අවිගත් තරුණ පිරිස් වෙතින් එල්ල වූ ප්‍රහාරයන් නිසාත්, විටින් විට රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ නිසාත් රටේ ජන ජීවිතය බොහෝ දුරට අඩාළ වී තිබුණේය. ඒ බව මැනවින් අවබෝධ කරගත් අගමැතිනියට අවශ්‍ය වූයේ එලෙස අඩාළ වී තිබුණු ජන ජීවිතය හැකිතාක් ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමටය. ඒ අනුව එතෙක් කොළඹ සුඛෝපභෝගී හෝටල් කීපයකට කොටු වී මර බියෙන් සිටි තම මැති ඇමැතිවරුන් කැඳවූ අගමැතිතුමිය “දැන් ඔයගොල්ලන් කොළඹට වෙලා හිටිය ඇති. ඒ නිසා හෙට ඉඳලම තම තමන්ගේ ආසනවලට ගිහින් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන්න ඕනෑ.” යි කිීවාය.


මේ අතර කැරලිකරුවන්ගේ ප්‍රහාර නිසා ඇතැම් ප්‍රදේශවල බෝක්කු හා පාලම් කැඩීබිඳී ගොස් තිබුණෙන් එවැනි ප්‍රදේශවලට යාමට මැති ඇමැතිවරුන්ට රජයේ හෙලිකොප්ටර් යානා ලබාදෙන බව ද එතුමිය ප්‍රකාශ කළාය. තරුණයන්ගේ හදිසි ප්‍රහාරයන් දැක බියට පත්ව සිටි ඇතැම් මැති ඇමැතිවරුන් තම රාජ්‍ය නායිකාවගේ නියෝගයට අනුව එලෙස තම තමන්ගේ ආසන කරා ගොස් තිබුණේ එතරම් කැමැත්තකින් නොවන බව ප්‍රසිද්ධ රහසක් විය.


එවැනි ඇතැමෙකු රාත්‍රී කාලයේ ගහකින් පොල් ගෙඩියක් වැටෙන හඬින් පවා කලබල වූයේ තමන් වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇතැයි සිතමිනි.


මේ අතර ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට තම තමන්ගේ ආසනවල ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම පමණක් භාර වී තිබුණ ද කැබිනට් ඇමැතිවරුන්ට පැවරී තිබුණේ ඊට වඩා භාරදූර වගකීමකි.


“ඔයගොල්ලන් තම තමන්ගේ දිස්ත්‍රික්කවලට අයිති සියලුම ආසන ගැන අධීක්ෂණය කරන්න ඕනෑ” යි කී අගමැතිනිය තම කැබිනට් සගයන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීමට ද පියවර ගෙන තිබුණාය.


මේ කාලයේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයකු වන පී. බී. ජී. කළුගල්ල මහතා නාවික හා සංචාරක ඇමැති වශයෙන් කටයුතු කළේය. ඔහුගේ මැතිවරණ කොට්ඨාසය කෑගල්ල වුවද ඔහුට මුළු දිස්ත්‍රික්කයටම අයත් සියලු ආසනවල ජන ජීවිතය නගා සිටුවීමේ කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම පැවරී තිබුණේය. එසේම එහි  වගකීම තවත් බරපතළ වූයේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් බොහොමයක් ප්‍රදේශ කැරලිකරුවන්ගේ ග්‍රහණයට නතුව සති දෙකක පමණ කාලයක් පැවතුන බැවිනි.


වෙනත් මැති ඇමැතිවරුන් තම තමන්ගේ ආසනවලට යාමට තරමක මැළිකමක් දැක්වූවද “අපේ පළාතේ මට කරදරයක් කරන්න ඔය කිසිම කෙනෙක් එන්නේ නෑ” යි කියමින් පාරම් බෑ කළුගල්ල ඇමැතිතුමා ඒ දිනවල තම සුපුරුදු නිවසේ නතර වී සිටියේය. මේ අතර සතිඅන්ත දිනයක පැවැත්වෙන හදිසි කැබිනට් සාකච්ඡාවක් සඳහා කළුගල්ල ඇමැතිතුමා කොළඹට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවක් මතුවූයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් විශේෂ හෙලිකොප්ටරයක් කෑගල්ලට යවා තිබුණේය. 


ඒ සඳහා යවා තිබුණේ ඒ දිනවල මෙරටට විදේශයකින් ලැබුණ කුඩා ප්‍රමාණයේ හෙලිකොප්ටරයකි. එහි ගමන් කිරීමට හැකිවූයේ යානයේ නියමුවාට සහ තවත් එක් අයෙකුට පමණි. ඇමැතිවරයා කැඳවාගෙන ඒම සඳහා ගිය එම කුඩා හෙලිකොප්ටරය ගොඩබස්වා තිබුණේ එවකට කෑගල්ල පොලිසිය අසල තිබූ පිට්ටනියකටය.


ඒ මොහොතේ හමුදාපති සේපාල ආටිගල, පොලිස්පති ස්ටැන්ලි සේනානායක සහ එවකට ස්වේච්ඡා බළකායේ කර්නල්වරයකු වූ අගමැතිනියගේ ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරි අනුරුද්ධ රත්වත්තේ ඇතුළු තවත් කීපදෙනෙක් ද එහි රැඳී සිටියහ. එම ස්ථානයට පැමිණි කළුගල්ල ඇමැතිතුමා ඔවුන් සමග ද කතාකර ඒ අසල නවතා තිබූ කුඩා හෙලිකොප්ටරයට ගොඩවූයේ “ෂා.... මේක නියම බඩුවක්නේ...!” යි කියමිනි.


“ඊට පස්සේ නියමුවා හෙලිකොප්ටරය උඩට ගන්නවත් බලා ඉඳලා අපි ආපහු හැරුණ විතරයි මෙන්න අර හෙලිකොප්ටරේ එක පාරටම ගිහින් ඒ ළඟම තිබුණු කුඹුරකට පාත්වුණා. පස්සේ අපිත් කලබලවෙලා එතෙන්ට දුවගෙන යනකොට අර පයිලට් ඉංග්‍රීසියෙන් බැණ බැණ හෙලිකොප්ටර් එකෙන් බහිනවා දැක්කා. කළුගල්ල මහත්තයත් මූණ පුළුටු කරගෙන හෙලිකොප්ටර් එකෙන් බිමට බැස්සා...!” යි කියමින් “මහයායේ කතාව” නමැති තම චරිතාපදානයේ එම සිද්ධිය ගැන සඳහන් කරන අනුරුද්ධ රත්වත්තේ මහතා කියා තිබුණේ ඒ මොහොතේ කුඹුර පුරන්වී නොතිබුණා නම් හෙලිකොප්ටරය මඬේ එරී ලොකු ජංජාලයක් වීමට ඉඩ තිබුණු බවය.

“පස්සෙ බලනකොට මොකක්ද දන්නවද සිද්ධවෙලා තියෙන්නේ. අර හෙලිකොප්ටර් එක පුංචි වැඩි නිසා බිම ඉඳල උඩට ගන්නකොට දඩ දඩ ගාලා ගැස්සෙනවා. ඒක ඒ ජාතියේ හැටි. ඒත් කළුගල්ල ඇමැතිතුමා ඒ ගැන දන්නේ නැහැනේ. එයා හිතුවා හෙලිකොප්ටර් එකේ මොකක් හරි ඇන්ජින් ට්‍රබල් එකක් වෙන්න ඇතියි කියලා. එතකොටමත් හිතේ ඇති වෙච්ච බයටම ඊළඟ සීට් එකේ හිටපු පයිලට්ගේ බෙල්ල බදාගෙන. ඒ සැරේ පයිලට් කලබල වෙච්ච පාරට තමයි හෙලිකොප්ටරේ ළඟම තිබුණු කුඹුරට පාත් කෙරුවේ....!”


එම සංගදිය ගැන ඇසූ රත්වත්තේ ඇතුළු පිරිස බඩවල් බදාගෙන සිනාසෙද්දී කළුගල්ල ඇමැතිතුමා පමණක් පුළුටු කරගත් මුහුණින් යුතුව බලා සිටියේය. රත්වත්තේ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ කළුගල්ල ඇමැතිතුමා එදින කොළඹට පැමිණීමටත් පෙර එම සිද්ධිය ගැන ඇමැතිවරුන්ට පවා ආරංචි වී තිබුණ බවයි. තේ බිබී සිටියදී ඒ ගැන ඇසූ ඇතැම් ඇමැතිවරුන්ට තේ වතුර ඉස්පොල්ලේ පවා ගොස් තිබුණු අතර මුලසුනේ සිටි අගමැතිනිය සිනාව නතර කරගෙන තිබුණේ තරමක වෑයමකිනි.

නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (0)

උඩු ගුවනේදී ගුවන් නියමුවාගේ බෙල්ල බදාගත් ඇමැතිවරයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 566 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 325 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site