IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ඉතිහාසයේ පොඩිම කැබිනෙට්ටුව

දහසක් බලාපොරොත්තු තබා 1956 දී ජනතාව විසින් බලයට පත් කළ බණ්ඩාරනායක ආණ්ඩුව 1959 සැප්තැම්බර් මාසයේ දී එතුමා ඝාතනය කිරීමත් සමග බලයට පත් ඩබ්. දහනායක මහතා විසින් වෙනත් පැතිකඩක් කරා ගෙන යන්නට වූයෙන් 1959 දෙසැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදු විය. 1960 ජනවාරි 04 වැනිදා නාම යෝජනා බාරගෙන 1960 මාර්තු 19 වැනිදා මහ මැතිවරණය පවත් වන බවත් ඒ යටතේ ප්‍රථම පාර්ලිමේන්තු රැස්වීම 1960 මාර්තු 30 වැනිදා පවත් වන බවත් ප්‍රකාශයට පත් විය.


මන්ත්‍රීවරු 151 තෝරා ගැනීමට කොට්ඨාස 145 කට බෙදා වෙන් කරන ලද (බහු ආසන සමග) ප්‍රථම මැතිවරණය ද මෙය වූ අතර ඉතිහාසයේ ප්‍රථම වරට එක් දිනකදී මහ මැතිවරණයක් පවත්වන අවස්ථාව ද මෙය විය. මැතිවරණයට ඉදිරිපත් වන සෑම පක්ෂයකටම සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ගුවන් විදුලියෙන් (රූපවාහිනි නොතිබුණි) ජනතාව ඇමතීමට අවස්ථාව ලබා දුන්නේ ද මෙම 1960 මහ මැතිවරණයයි. ඡන්දය දින ඡන්ද දායකයන් ප්‍රවාහනයට පෞද්ගලික රථ පාවිච්චිය තහනම් කිරීම ද ආරක්ෂක සේවය, රාජ්‍ය සේවය ආදිය නිසා ඡන්දය දිනට ඡන්ද පොළට යාමට අපහසු රජයේ සේවකයන්ට තැපැල් ඡන්දය පාවිච්චි කිරීමටත් ප්‍රථම වරට ඉඩ ලබා දුන් මැතිවරණය ද වූ මෙය ඡන්ද දායකයන් වෙත ගාස්තුවක් නොගෙවා එක් ඡන්ද ලිපියක් යැවීමට පක්ෂවලට අයිතියක් ලබා දුන් මැතිවරණය ද විය. 


1960 මාර්තු 19 මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 23 ලියාපදිංචි වී තිබුණ අතර ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව 3,724,507 ක් විය. එක්සත් ජාතික පක්ෂය ඩඞ්ලි සේනානායක මහතා විසින් මෙහෙය වන ලද අතර ශ්‍රී.ල.නි.පක්ෂය සී. පී. ද සිල්වා විසින් මෙහෙය වනු ලැබීය. මැතිවරණ අතරතුර දිවංගත ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ද ශ්‍රීලනිපයේ ජයග්‍රහණය සඳහා වේදිකාවට අවතීර්ණ වූවාය. බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු අගමැති ධුරයට පත් ඩබ්. දහනායක මහතා ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නම් වෙනම පක්ෂයක් පිහිටුවා මැතිවරණයට අවතීර්ණ වී තිබිණ. 


ප්‍රතිඵල අනුව එ.ජා. පක්ෂය ආසන 127ක් තරග කර ආසන 50ක් ජය ලබා තිබූ අතර ශ්‍රී.ල.නි. පක්ෂය ආසන 109ක් තරග කර 46ක් ජය ලබා තිබිණි. ෆෙඩරල් පක්ෂය 15ක් ද මහජන එක්සත් පෙරමුණ හා ලංකා සමසමාජ පක්ෂය ආසන 10 බැගින් ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 04 කොමියුනිස්ට් පක්ෂය 03 ක්ද ජාතික විමුක්ති පෙරමුණ 02 හා ස්වාධීන 07 දෙනෙක් ද ජය ලබා තිබුණි. මේ අනුව වැඩිම ආසන ගණනක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ ඩඞ්ලි සේනානායක මහතාට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතා විසින් ආරාධනය කරනු ලැබීය. ඒ අනුව පාර්ලිමේන්තුවේ ආසන 151 න් තුනෙන් එකක් පමණ වූ පනස් දෙනෙකු ගෙන් සමන් විත එක්සත් ජාතික පක්ෂයේ නායක ඩඞ්ලි සේනානායක මහතා 1960 මාර්තු 21 වැනිදා අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. මේ ඔහු අගමැති වශයෙන් පත් වූ තුන් වැනි වතාව විය. 


ලංකා ඉතිහාසයේ මෙතේ කුඩාම කැබිනට් මණ්ඩලය පත් කරන ලද්දේ මෙවර ඩඞ්ලි සේනානායක මහතා විසිනි. ඔහුගේ ඇමති මණ්ඩලය සමන්විත වූයේ 08 දෙනෙකු ගෙනි. 


1. අගමැති, විදේශ හා ආරක්ෂක - ඩඞ්ලි සේනානායක 

2. අධ්‍යාපන, සංස්කෘතික කම්කරු කර්මාන්ත හා ධීවර - බර්නාඞ් අලුවිහාරේ 

3. කෘෂි කර්ම ඉඩම් ආහාර වානිජ හා වෙළෙඳ - ඇම්. ඩී. බණ්ඩා 

4. අධිකරණ - උත්තර මන්ත්‍රී එඞ්මන් ජේ. කුරේ

5. මුදල්, පළාත් පාලන හා නිවාස - ජේ. ආර්. ජයවර්ධන 

6. ජන සතු සේවා, නාවුක, ගමනාගමන, තැපැල්, වැඩ සහ විදුලි බල - මොන්ටේගු ජයවික්‍රම 

7. ස්වදේශ කටයුතු හා ග්‍රාම සංවර්ධන - ඇම්. සී. ඇම්. කලීල් 

8. සෞඛ්‍ය හා සමාජ සේවා - උත්තර මන්ත්‍රී ඇම්. වී. පී. පීරිස් 


අට දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය පත්කළ ඩඞ්ලි සේනානායක මහතා 1960 අප්‍රියෙල් 06 වැනිදා හතර වන පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය උත්සවශ්‍රීයෙන් විවෘත කරන ලද්දේය.


බණ්ඩාරගම සමරසේන මුදලිගේ
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

ඉතිහාසයේ පොඩිම කැබිනෙට්ටුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site