IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඇන්.ඇම්.ගේ අපූරු විවාහය

 

ජීවිත කාලයක් මුළුල්ලේ මෙරට පොදු ජන සුබසිද්ධිය උදෙසා ඇපකැප වූ ඇන්. ඇම්. ට පෞද්ගලික ජීවිතයක් නොවූ තරම්ය. ඔහුට විනෝදාංශ දෙකක් තිබිණ. එකක් පොතපත කියවීමය. අනෙක තමා උපන් බිමෙහි  දුක් විඳින ජනතාව එම දුකෙන් මුදා ගැනීම සඳහා දිවි හිමියෙන් ඇපකැප වීමයි.


බොහෝදෙනකු ඇන්. ඇම්. ගැන දන්නේ මෙරට සමාජවාදී දේශයක් උදෙසා ඇපකැප වූ පුද්ගලයෙකු වශයෙනි. එහෙත් මේ අපූරු මිනිසාගේ බහුශ්‍රෑතභාවය පිළිබඳව හෝ ඔහු ලද අධ්‍යාපන ජයග්‍රහණයන් පිළිබඳව දන්නේ අල්ප වූ ජන ප්‍රජාවකි.


අධිරාජ්‍යවාදීන්ට ගැතිවන අන්දමේ අදහස් උදහස් හා පරිසරයක් තිබූ ශාන්ත තෝමස් විදුහලේ මූලික අධ්‍යාපනය ලද ඔහු කොළඹ ආනන්ද විදුහලට පැමිණීමත් සමග ඔහුගේ ගමන්මග ප්‍රභාමත් වූයේ විදුහල්පති පී. ද එස්. කුලරත්න මැතිතුමා සමග එක්ව සිටි කීර්තිමත් ගුරු පිරිසකගේ ඇසුරට පත්වීම තුළිනි. ගුණපාල මලලසේකර, පී. වීරමන්ත්‍රී, ටී. බී. ජයා, සී. සුන්දරලිංගම්, ඩී. එස්. ස්ටේ්‍රන්ජ්, සී. වී. රණවක, ජේ. එස්. ජිනේන්ද්‍රදාස, විලියම් පෙරේරා, එල්. එච්. මෙත්තානන්ද, ජී. සී. එදිරිසිංහ බදු දක්ෂ ගුරු පිරිසක් හමුවීම හේතු කොටගෙන ඇන්. ඇම්. තුළ ජාතික සංස්කෘතිය මෙන්ම මුල් බැසගත් පාරම්පරික උරුමයන් යළි නංවන දේශ හිතෛෂී ජන ප්‍රජාවක් බිහි කළ යුතුය යන ඒකාන්ත විශ්වාසය පහළ විය.


ඉගෙන ගැනුමට අති දක්ෂයකු වූ ඇන්. ඇම්. ලංකා විශ්වවිද්‍යාලයට (ඹබසඩැරිසඑහ ක්‍දකකැටැ) ඇතුළත් වුයේ දහනව වැනි වියේදීය. මුලින්ම කලා විෂයයන් හැදෑරූ ඇන්. ඇම්. මධ්‍ය පරීක්ෂණයත් සමත්ව එය අත්හැර දමා විද්‍යා විෂයයන් හදාරමින් එහි මධ්‍ය පරීක්ෂණයෙන් ද සමත් විය. වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගොස් ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන හැරල්ඞ් ලැස්කිගේ හිතාදර ශිෂ්‍යයකු වශයෙන් 1929 වසරේදී ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් විශ්ව විද්‍යාල පීඨයෙන් අර්ථ ශාස්ත්‍රය පිළිබඳව ඩී.එස්.සී. ගෞරව උපාධිය හිමි කර ගත්තේය. ඉන් අනතුරුව අර්ථ ශාස්ත්‍රය හා දේශපාලන විද්‍යාව පිළිබඳ 1931 දී පී.එච්.ඩී. (දර්ශන විශාරද) උපාධිය හිමිකර ගත්තේය. එයින් නොනැවතී විද්‍යාව පිළිබඳ ලැබිය හැකි උසස්ම උපාධිය වන ඩී.එස්.සී. උපාධිය හිමිකර ගත්තේ පාර්ලිමේන්තු පිළිබඳ තුලනාත්මක අධ්‍යයනය නමැති පර්යේෂණ නිබන්ධය ඉදිරිපත් කරමිනි.
මෙරට දේශපාලනයෙහි නියුක්තව සිටි පිරිස අතුරින් ඇන්. ඇම්. තරම් බුද්ධිමතකු මෙතෙක් පහළ වී නොමැත. එහෙත් ඔහු සිය බුද්ධිය මෙහෙයවූයේ යළි පණ උපද්දා ගත යුතු නව පරපුරක් බිහිකිරීම උදෙසා ජන ජීවිතය මුළුමනින්ම වෙනස් කළ යුතුය යන අභියෝගයක පිහිටුවමින්ය. පී.එච්.ඩී. උපාධියේ කබායත් ඩී.එස්.සී. උපාධියේ ලෝගුවත් ගලවා පසෙකට විසිකොට කොට කලිසමක් හැඳගෙන ඔහු මහමගට පිළිපන්නේය. දැනුම උපාධිය හා සමාජ තත්ත්වය වැනි ඇගයුම් හදවතින් ඉවත් කොට මැලේරියා වසංගතයෙන් සහ දුප්පත්කමින් හෙම්බත් වූ තුන්කෝරල වැසි දුක් විඳින ජනතාවට සහනය සලස්වන අටියෙන් පාරක් පාරක් ගානේ නියරක් කුඹුරක් ගමක් නියං ගමක් ඔස්සේ සැරිසැරූ ඇන්. ඇම්. තරුණයා මැලේරියා වසංගතයට ගොදුරු වූ අහිංසක ගම්වැසියන්ට බෙහෙත් බෙදුවේ කාරුණික වෛද්‍යවරයකු පරිද්දෙනි.


අගහිඟකමෙන් පෙළුණු දරිද්‍රතාවේ මඩවගුරේ ගිලුණු අසරණ ගම්වැසියන්ට කරේ එල්ලා ගත් මලුවලින් පරිප්පු සහ සීනි වැනි ආහාර ද්‍රව්‍ය පමණක් නොව ඒ අතරතුර මේ සමාජ රටාව මුළුමනින්ම වෙනස් කර දමන බුද්ධිය ද බෙදා දුනි. පෞද්ගලිකත්වය සමාජ තත්ත්වය හා මමත්වය ද ඉවත හෙළුෑ ඔහු දුක්විඳින ජනතාව සමග සටන් මගට පිළිපන්නේය.


දේශපාලන වශයෙන් හෝ පෞද්ගලික වශයෙන් ඔහු තුළ සුවිශේෂී ගති ලක්ෂණ රැසක් පිහිටා තිබිණි. ඔහු බුද්ධි මානයෙන් තොර නිහතමානී පුද්ගලයෙකි. මිතුරන්ගේ හා විචාරකයන්ගේ මෙන්ම සතුරන්ගේද මත විවේචන හා අසා සිටීමටත් පිළිගත යුතු නම් ඒවා පිළිගැනීමටත් අවශ්‍ය සහනශීලී චාම් බවක් ඔහු කෙරෙහි පිහිටා තිබුණි.


නිශ්චල පුද්ගලයකු වූ ඔහු ගාම්භීරවත් මිනිසෙකි. කවරාකාර උග්‍ර ගැටලුවක් වුවද සිනාමුසු මුහුණින් විඳ දරාගත් ඔහු කිසි විටෙක කලබලයට පත් නොවීය. ඔහුගේ ජීවිතය මුළුමනින්ම කැපවූයේ පොදු ජනතා සටන වෙනුවෙනි. දූ දරුවන් සමග සැනසිල්ලේ ගත කරන්නට ඔහුට අවස්ථාවක් නොවුවද ඔහු දයාබර බිරිඳකගේ ස්වාමි පුරුෂයෙකු විය.


ඇන්. ඇම්. ගැන කතා කිරීමේ දී ඔහුගේ විවාහ ජීවිතය ගැනද යමක් කිව යුතුව ඇත. පොදු ජනතාව සමග එක්ව සූරියමල් ව්‍යාපාරය ගෙන යද්දී ඇන්. ඇම්. ට සහාය දැක්වූවන් අතර සෙලීනා මාග්‍රට් පීරිස් මෙනෙවිය ද එක්ව සිටියාය. උපාධිධාරිනියක වන සෙලීනා රුවන්වැල්ල ආසනයට ඇන්. ඇම්. තරග කරද්දී උද්යෝගිමත් ආධාරකාරියක වූවාය. ඇන්. ඇම්. මැතිවරණ කටයුතු කරගෙන යද්දීම සෙලීනා සමග විවාහ වීමට නම් දී තිබුණි. දෙදෙනාටම විවාහ දිනය අමතකව ගොස් තිබිණි. නම් දුන්නද විවාහ විය යුතු කාල සීමාව ඉක්මවා ගොස් ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගෙන් ඇන්. ඇම්. ට ලිපියක් ලැබුණි. කාලසීමාව දිගු කර ගැනීමට ඇන්. ඇම්. රුපියල් 2.50ක මුද්දර ගාස්තු ගෙවීය. විවාහය වෙනුවෙන් ඇන්. ඇම්. ට වියදම් වූයේ එපමණකි. කිසිදු උත්සවයක් සම්භාෂණයක් නොවීය.


විවාහයෙන් පසුවද ඇන්. ඇම්. ගේත් සෙලීනාගේත් මුළු කාලයම යොමු වූයේ දේශපාලන කටයුතුවලටය. බ්‍රෙස්ගර්ඞ්ල් පොලිස් අත්අඩංගුවට හසු නොවී තම හමුවට එනතුරු සැඟවී සිටියේ සෙලීනා විසින් බදුල්ලේ පිළියෙල කළ නවාතැනකය. බෝගම්බර සිරගෙදරින් ඇන්. ඇම්. පැන ගොස් ඉන්දියාවේ ජාතික සටනට රහසිගතව සම්බන්ධ වී සිටියදී ඔහුට උරදෙමින් සෙවණැල්ලක් බඳුව සිටියේ සෙලීනාය.

 

 



අදහස් (0)

ඇන්.ඇම්.ගේ අපූරු විවාහය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site