(තලාතුඔය ටී.එච්. සරත්)
නිල්වන් කෙත්යායෙන් ද නිබඳ ගලනා සුදු මිහිදුම් සළුවෙන් ද වැසීගිය කඳුරට පෙදෙසකි. අතීත ශ්‍රී විභූතිය කියාපාන මනරම් දාගැබක් හා ඉංග්‍රීසි පාලන සමයේ ලෝ පසිඳු තේ කර්මාන්ත ශාලාවක නටබුන් ද දැනුදු මෙහි දැකිය හැකිය.
මෙකී ගම්මානයේ ජනයා කෘෂි ආර්ථිකය පෙරදැරි කරගත් එළවළු වගාවෙහි කෙළපැමිණියෝය. ගම තවමත් තාක්ෂණයෙන් වැසී නොගිය ද ගමෙන් පිටතට රැකියා සොයා ගිය පිරිස් ගමට තාක්ෂණය කෙමෙන් කෙමෙන් රැගෙන ආවෝය. ජංගම දුරකථනය ගමට පැමිණීමත් සමග මුහුණු පොත ඔස්සේ විවිධ දෑ සොයා යන තරුණ පිරිස් ද බහුල විය.
ගමෙහි පවතින සුහදතාව අනුව විසිඅට වියැති අප කතානායකයා රුපියල් විසිදහසකට අධික මිලක් ගෙවා ජංගම දුරකථනයක් මිලදී ගන්නේ සිය මිතුරන්ගේ ඉල්ලීම පරිදිය. ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙකු වන අතර ජංගම දුරකථනය හැසිරවීමේ හැකියාව ලබාගන්නේ ද සිය මිතුරන් මඟිනි.
ඔහුට මුහුණු පොතේ ගිණුමක් සාදා දීමට මිතුරෝ එක්වූහ. ක්‍රමයෙන් ජංගම දුරකථනයට ඇබ්බැහි වූ හෙතෙම මුහුණු පොත ඔස්සේ මිතු සබඳතා සොයා ඉගිලෙන්නට විය.
මුහුණු පොතේ සුන්දර ලලනාවක් ඔහුට ඉඟිබිඟි පාන්නේ මේ අතරතුරේදීය. ඇතැම් දිනෙක දෙදෙනා රෑ මැදියම දක්වා කතාබහේ ද යෙදුනහ. අවසන ඔවුහු පෙම්වතුන් බවට පත්වූහ. දැන් ඔහුට තම රැකියාවේ නිදහසක් ලැබුණ හැමවිටම සුරූපිනිය හා අල්ලාප සල්ලාපයේය.
මෙලෙස මාස කිහිපයක් ගතවිය. ඇයට ඔහු සියලු තතු ඇති සැටියෙන්ම කීවේය. තමා වෘත්තියෙන් පෙදරේරුවකු බව ද පවුලේ පසුබිම හා අනාගත සැලසුම් පිළිබඳව ද කීවේය.
තමාගේ රැකියාව පිළිබඳව ඇයගේ නොකැමැත්තක් ඇතිදෝහෝයි ඔහු තුළ බියක් ඇතිවූවා සේම එසේ වුවහොත් තම සිහින මාලිගා කඩා වැටේදෝයි බියක් ද පැවතුණි.
එහෙත් ඇයගෙන් ඊට ලැබුණේ ධනාත්මක ප්රතිචාරයකි. එයින් ඔහු හිස මල් පිපුණි.
‘‘ඔයාගේ රස්සාව ගැන අපේ පවුලේ අය විරුද්ධ වුණත් මම එක සිතින් ඔයාට ආදරය කරනවා, එනිසා හැකි ඉක්මනින් සියල්ලන්ට රහසේ අපි කසාද බඳිමු” යි ඇය කියා සිටියාය.
මේ වනවිට දෙදෙනා තැන තැන කිහිපවිටක් මුණගැසී තිබුණි. තමන් වෙත මවුපිය විරෝධය එල්ලවන බැවින් රහසේ ඉක්මන් විවාහයකට ඇය මඟ සලසා ගත්තාය.
විවාහය සිදුවිය. මංගල උත්සවයක් හෝ පැමිණි නෑදෑයෙක් නොවීය. සැන්දෑ සමයේ මනාලිය කැටිව ඔහු නිවසට ආවේය. දෙමාපියන්ට හඳුන්වා දුන්නේ තම විවාහක බිරින්දෑ ලෙසිනි. දෙමව්පියෝ මුණිවත රැක්කාහ.
රාත්‍රී භෝජනය සරුවට ලැබුණි. දින දෙකක කාලයක් නිවසේ ගතවිය. නැන්දම්මාට හා මාමණ්ඩියට ඇය අසීමිතව ආදරය පෑවාය. තම ලේලිය ගැන මහත් ආඩම්බරයක් සිත් තබාගත් දෙමහල්ලෝ පුතණුවන්ගේ බිරින්දෑ ගැන සතුටු කඳුළක් හෙලූහ.
තෙවන දිනයේ උදෑසන ඔහු අවදි වී වටපිට බැලුවේය. බිරින්දෑ කුස්සියේ යයි සිතූ ඔහු තව මොහොතකින් ඇය තේ කෝප්පයක් අතැතිව කාමරයට ඇතුල්වන අයුරු මනසේ සිත්තම් කළේය. අනතුරුව කුස්සිය දෙසට පා නැඟීය. අම්මා පොල්ලෙලි ගොන්නක් ළිපට ඔබා වතුර මුට්ටිය රත්කරනු දක්නට ලැබුණි.
‘‘අම්මේ කෝ අරයා...?” ඔහු විමසීය.
‘‘මම දන්නේ කොහොමද, උඹත් එක්ක නේ නින්දට ගියේ” මව කීවාය.
වැසිකිළියේ දොර විවෘතව ඇත. වත්තපිටියේ ඇවිද යාමට තරම් දැනුමක් ද ඇයට නැත. නැවත කාමරයට ගිය ඔහුට ඇයගේ ගමන් බෑගය නොමැති බව දක්නට ලැබුණි. වටපිට විපරම් කෙරිණි. කිසිදු හෝඩුවාවක් නැත. ඔහු කාමරයේ වූ මේස ලාච්චුව ඇර බැලුවේය. එහි වූ රුපියල් දොලොස්දාහක මුදල් හා රන් මුදුව ද කසාද සහතිකය ද අතුරුදන් වී ඇත.
එපමණක් නොව රහසේ කැඳවාගෙන ආ මුහුණු පොතේ සුරූපිනිය ද අතුරුදන්ව ඇත.
ඇයගේ නිවැරැදි නම, ගම, වතගොත කිසිත් ඔහු දැන සිටියේ නැත. මුහුණු පොතේ ඇත්තේ ව්‍යාජ තොරතුරු බව පසුව අනාවරණය විය.
පොලිසියට පැමිණි ඔහු සියල්ල පවසා මෙවැනි ගැහැනියක් ගැන සොයා බලා වැඩක් නැතැයි ද සෝ බරව කියා සිටියේය.
ව්‍යාජ නම් ගම් වලින් පෙනී සිටින මෙවැනි සටකපට කතුන් සිටින බවත් ඔවුන් අහිංසකයන් රවටා ඔවුන් සතු දෑ පැහැර ගන්නා කල්ලියක් බවත් මෙය මුහුණු පොතේ පෙම්වතුන්ට යස පාඩමක් බවත් පොලීසිය ඔහුට කියා දී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මුහුණු පොතේ මනමාලි හනිමුන් එක්කම අතුරුදන්