IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


මුර රස්සාවට ගිය තරුණයා හැට දාහේ රස්සාවත් නැති කරගෙන

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
රාත්‍රියට ගබඩාව මුර කිරීම පැත්තකට දමා පෙම්වතිය මුර කිරීමට ගියා යැයි කියන චෝදනාවකට තරුණ මුරකරුවකු සේවයෙන් ඉවත් කර ඇතැයි කියන සිද්ධියක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
සේවයෙන් ඉවත් කර ඇතැයි කියන තරුණයාගේ වයස අවුරුදු 24 කි. ඔහුට රැකියාවක් නොමැතිව එදා වේලවත් උපයා ගැනීමට නොහැකිව නිවෙසට වී කල් ගෙවමින් සිටියදී හිතවතකු කෑගල්ල නගරයට ආසන්න ගබඩාවක රාත්‍රි මුර රැකියාවක් මීට මාස හතරකට පමණ ඉහතදී සොයා දී ඇත.
සෑම දිනකම රාත්‍රි 9 සිට පසු දා අලු‍යම 6 දක්වා ගබඩාව මුර කිරීමටත් මාසිකව රුපියල් 60,000 ක වැටුපක් ගෙවන පොරොන්දු පිට ඔහු සේවයට බඳවා ගනු ලැබ සිටියේය.
මෙම තරුණයා වසරක පමණ කාලයකට ඉහතදී ගබඩාවේ සිට කිලෝමීටරයක් පමණ ඈතින් පදිංචිව සිටින තරුණියක හඳුනාගෙන පසුව පෙම්වතුන් ලෙස ජීවත් වෙමින් ද සිට ඇත. තරුණයා ගබඩාවේ මුර සේවයට පැමිණි දා සිට මුර සේවය පැත්තකට දමා රාත්‍රි පෙම්වතියගේ නිවෙසට පයින් ගොස් පැය ගණනාවක් ඇය සමග පෙම් බස් දොඩවා ආපසු ගබඩාවට පැමිණෙන බව ගබඩා හිමිකරුට අසල්වැසියකු ඉකුත් දිනක දන්වා තිබුණේ හිතවත්කමටය.
ගබඩා හිමිකරු ඉකුත් දිනක රාත්‍රි 11 පමණ හෙමින් සීරුවේ  ගබඩාවට පැමිණියේ මුරකරු රැකියාවේ නිරතව සිටිනවා ද නැද්ද සොයා බැලීමටය. මුර කාමරයේ දොරට අගුළු දමා වසා තිබූ අතර තරුණයා නොමැති අයුරු ගබඩා හිමිකරුට වැටහී තිබුණි.
තරුණයා කීයට හරි ආපසු ගබඩාවට පැමිණේ යැයි සිතා ගබඩා හිමිකරු ගබඩාවේ පිටතින් ඇති පඩි පෙළ දිගේ ඉහළ මාලයට ගොස් නෙත් නොපියා බලා සිටින්නට විය. 
පාන්දර 2 ට පමණ විදුලි පන්දමත් දල්වාගෙන විරහා ගීතයකුත් ගයමින් තරුණයා මුර කාමරයට පැමිණෙන අයුරු ගබඩා හිමිකරු සියැසින් දැක්කේය.
ගබඩා හිමිකරු ඉහළ මාලයේ සිට තරුණයාගේ නම ආමන්ත්‍රණය කරමින් කතා කළේය. එහිදී තරුණයා කටහඬ ගබඩා හිමිකරුගේ බවට හදුනාගෙන ‘‘සර් මම එහා පැත්තෙ තියෙන වැසිකිළියට ගිහින් එන්න ගියා” යැයි පැවැසුවේ කිසිවක් නොදන්නා තොත්ත බබා මෙන්ය.


‘‘මට කිහිප දෙනෙක් කිව්වා පුතා රෑට ගබඩාව මුර නොකර ඇවිදින්න යනවා කියලා ඒක ඇත්ත ද? නැද්ද? කියලා බලන්න රෑ 11 ට මම මෙතැනට ආවේ. දැන් වේලාව පාන්දර 2 යි. පැය තුනක් කොහෙද ගිහිල්ලා ඉඳලා ආවේ...?”
“නෑ... සර් මම කොහෙවත් ගියේ නෑ වැසිකිළියට නම් ගියා” යැයි තරුණයා බැගෑපත්ව ගබඩා හිමිකරු ඉදිරියේ පැවැසීය.
“මම ළඟට ආපු දවසේ ඉඳලා පුතා මම තමුසේට හොඳ වැටුපක් නියම වේලාවට දීලා තියෙනවා. ඇඳුම් පැලඳුම් අරන් දුන්නා. තව මාස කිහිපයකින් තව කීයක් හරි වැටුප වැඩි කරන්න කියලා හිතාගෙන හිටියා. මම අනුකම්පා කළාට තමුසේ මා ගැන හිතලා නැති බව පෙනී යනවා. මීට පස්සේ වැඩට එන්න එපා. ගබඩාව මුර කරන්නයි පෙම්වතිය මුර කරන්නයි දෙකක් බෑ. එකක් තෝරා ගන්නවා. වැඩ කරලා තියෙන දින ගාණට දහවල් ඇවිල්ලා සල්ලි අරගෙන යනවා” යැයි ගබඩා හිමිකරු තරුණයාට පවසා නිවෙස බලා පිටත්ව යාමට සැරසුණි.
‘‘අනේ සර් එහෙම කරන්න එපා... මට මම ගැහැනු ළමයා බලන්න තමයි ගියේ නැවත කවදාවත් එහෙම වෙන්න ඉඩ තියන්නේ නෑ....” තරුණයා ගබඩා හිමිකරු ඉදිරියේ අඳෝනා නගන්නට විය.
ගබඩා හිමිකරු තරුණයාගේ අඳෝනාව පැත්තකට දමා මෝටර් රථයෙන් නිවෙසට ගොස් සේවය කර තිබුණු දින ගානට වැටුප හදා සුළු මොහොතකට පසුව තරුණයාට ගෙනත් දී ගබඩාවේ රැකියාවෙන් පිටව යන ලෙස දැන්වීය. පසුව තරුණයා මුදලත් ඇඳුම් පැලඳුම් අරගෙන ගබඩාවේ හිමිකරුට දණ නමා වැඳ නමස්කාර කර නිවෙසට ගොස් ඇති බව වාර්තා වෙයි.



අදහස් (0)

මුර රස්සාවට ගිය තරුණයා හැට දාහේ රස්සාවත් නැති කරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 615 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17571 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 722 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site