IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ජීවිතේට මත් නොවන මිතුරා කුරුම්බා වතුරෙන් මත්වෙලා

කුරුම්බා වතුරට කිසියම් අයෙකු මත් වන යමක් කලවම් කර දීම නිසා තමන් මත් වූ බව කියා මත් වතුර පානය කොට වෙරි මතින් නිවසට පැමිණීම ගැන උරණ වී අමනාපයෙන් කතා නොකර සිටි සිය මව සහ බිරිඳ ඇන්දවූ අයකු පිළිබඳ පුවතක් මිනිපේ මහගොවි ජනපදයේ ගම්මානයකින් වාර්තා විය.
ඔහු පෞද්ගලික ආයතනයක සේවය කරන විසිහත් හැවිරිදි දෙදරු පියෙකි. විවාහයට පෙර මත් වතුර පාවිච්චි කළත් විවාහයෙන් පසු මත් වතුරට තිත තැබූවෙකි. මත් වතුරට තිත තබා මේ වන විට වසර පහක පමණ කාලයක් ගත වී තිබේ. මෙදින නිවාඩු දිනයක් හෙයින් නගරයට ගොස් පෙරලා නිවස කරා යතුරුපැදියෙන් එන අතරේ ඔහුට අතරමගදී හමුවූයේ කොළඹ ප්‍රදේශයේ රැකියාව කර නිවාඩුවට නිවසට පැමිණ සිටි සම වයසේ මිතුරෙකි. 
එම මිතුරා යෝජනා කළේ ගොඩ කාලෙකින් හමු නොවුන නිසා අපේ ගෙදරට ගොඩවෙලා තේ එකක් බීලා ටිකක් කතා කර කර ඉඳලා යමු කියාය. එම යෝජනාවට කැමති වූ ඔහු මිතුරා සමඟ එම අයගේ නිවස බලා ගියේ සවස 5ට පමණය. නිවසට ගොස් තේ එකක් පානය කර කතා බහේ නිරතව සිටින විට මිතුරාගේ මිතුරෙකු පැමිණියේ යමක් රැගෙනය. එය මේසය මත තැබූ විට ඔහු පැවසුවේ “අනේ මචං මම මේකට තිත තියලා ගොඩක් කල්නේ. මට නම් මේවා එපා” කියාය. “කට ගැස්මට හොඳ දඩ මසකුත් තියෙනවා ඔන්න ඔහේ චුට්ටක් ගනිමු.” කියා එම මිතුරන් දෙදෙනාම පෙරැත්ත කළත් ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.


යහලුවන් දෙදෙනා ගමේ බඩු තොලගාමින් සිටින විට එම මේසයට ආ කටගැස්ම අනුභව කරන්නට ඔහුටද ආරාධනා කළෙන් එයටද එකඟ වූයේය. ඉතා රසවත් වූ කට ගැස්ම නිසාත් මිතුරා වීදුරුවට වක්කර අතට දුන් මත් වතුර වීදුරුවද ටිකෙන් ටික හිස් වුණේ ඔහුටත් නොදැනුවත්වය. 
ගෙවී ගියේ පැය තුනක පමණ කාලයකි. නිවසින් ලැබුණු ආහාරයද ගෙන ඔහු සිය යතුරුපැදියෙන් නිවස බලා ගියේ ඉතා අපහසුවෙනි. යතුරුපැදිය නිවසේ මිදුලේ නතර වෙනවාත් සමඟම ඔහුගේ මුවින් පිටවූයේ මහත් හඬක් නගමින් ඔක්කාරයකි. මේ හඬ ඇසී එම ස්ථානයට දිව ආ මවත් බිරිඳත් මේ මොකද අසනීපයක් වත් දැයි විමසා ඔහු අසලට ළංවෙනවාත් සමඟම ඔහුගේ ලඟින් ආ දුර්ගන්ධය ඔක්කාරයට හේතුව බව ඔවුන්ට තේරුම් ගැනීමට හැකි විය.
දුර්ගන්ධයත් සමඟ මවගේත් බිරිඳගේත් මුවින් පිටවූයේ වෙනදා පිට නොවූ වදන් වැලකි. ඔක්කාර හඬ ඇසී පැමිණි අසල්වාසීන් දෙදෙනෙක් ඔහු නිවස තුළට රැගෙන ගොස් ඇඳුම් උනා දෙහි යුෂ ශරීරයේ ගල්වා යාමට තරම් කාරුණික වූහ.
මත් වතුරෙන් මත් වූ ඔහු එදින රාත්‍රියේ අවදි නොවූ අතර පසු දින උදේ අවදිවූයේද දැඩි වෙහෙස කර තත්වයක් යටතේය. වෙනදා අවදි වන විට මව හෝ බිරිඳ ඇඳ අසලට රැගෙන එන තේ එක මෙදින නැත. ඇඳෙන් බැස මුළුතැන්ගෙයට ගිය විට මවගෙන් සහ බිරිඳගෙන් එල්ල වූයේ දැඩි දෝෂාරෝපණයකි. ඒ නැවතත් මත් වතුරට හුරු වූ බවත් පෙර දින සවස පැමිණීම ඉතා අශෝබන බවත් කියමිනි. තොරතෝංචියක් නොමැතිව දිගටම පැවති දෝෂාරෝපණය නිසා ඔහු වහා හැඳ පැළඳගෙන ආහාරයත් නොගෙනම නිවසින් පිටවූයේ සේවයට යෑම සඳහාය. 
සේවයට පැමිණියත් ඔහුට පෙර මෙන් සේවය කිරීමට නොහැකි විය. ඒ පෙර දින සිදුවූ දේත් මවගේ සහ බිරිඳගේ නොමනාපයත් ඔහු වටා බඹරයක් මෙන් කරකැවෙමින් තිබෙන හෙයිනි. ඉතා අපහසුවෙන් සවස 4.30 පමණ වන තුරු සේවය කර කෙළින්ම ගියේ මිතුරාගේ නිවස කරාය. එහි ගිය ඔහු මිතුරාට සිදුවූ දේ පවසා මෙයට උපදෙසක් පැතීය.
“අයියෝ ඕවා සුළු දේවල්නේ මහත්තයෝ. දෙන්නකෝ අම්මාගේ දුරකතන අංකය.” යැයි කියා මවගේ ජංගම දුරකතන අංකය ලබා ගත් මිතුරා “නැන්දේ පණිවිඩයක් කියන්නයි කතා කළේ. මම අහවලා. ඊයේ හරි වැඩක් වුණානේ. මල්ලියි මමයි අහවලාගේ ගෙදරට ගියා පොඩි වැඩකට. එහේ ගියාට පස්සේ අපි දෙන්නට මිනිහා වත්තේ තිබුණු කුරුම්බා ගහෙන් ගෙඩි දෙකක් කඩාගෙන ගෙට අරගෙන ගිහිල්ලා කුරුම්බා වතුර වීදුරු දෙකකට දාලා ගෙනත් දුන්නා. අපිත් බිව්වා. හැබැයි බොනකෙට ටිකක් අමුතු රසයක් නම් ආවා. අපි ඒක ගණන් ගත්තේ නැහැ. මට ගෙදර එන්න හම්බ වුනේ නෑනේ නැන්දේ. මට කලන්තේ හැදිලා ඔක්කාරය යන්නට පටන් ගත්තනේ. අපේ ගෙදර අය හොඳටම බය වුණා. මොකද මේ වුණේ කියලා. මොකද මම ඔය ජරාව කටේ තියන මිනිහෙක් නෙවෙයිනේ. පස්සෙයි මට තේරුනේ මේ මිනිහා අපිට තරහට කුරුම්බා වතුරට මත්වෙන යමක් දාලා දීලා කියලා. මල්ලිට වෙනසක් තිබුණෙ නැද්ද නැන්දේ.” යැයි විමසා තිබේ. “අනේ පුතේ අපේ එකාටත් ඊයේ හවස ඕකමනේ වුනේ. අපි හිතුවේ මේකා කොහෙන් හරි ජරාවක් බීලා ඇවිදින් මේ ඔක්කාරේ දාන්නේ කියලා හිතලා අපි දෙන්නා පුතාට නොසෑහෙන්න බැන්නා. ඔන්න උදේට කන්නෙත් නැතිව වැඩට ගියා. අපරාදේ අපි දෙන්නා කොල්ලට බැන්නේ.” යැයි ඇය පවසා දුරකතනය විසන්ධි කර එම කතාව ලේලියටද පැවසුවාය.
ඔහු නිවසට පැමිණියේ වෙනදා මෙන් සවස 6ට පමණය. නිවසට ගොඩවීමටත් පෙර මව ඔහු වෙත ගොස් අහවලා මට කතා කළා. යැයි කියමින් කතාව සැකවින් පවසා ආයේ ඔය ගෙවල්වල යනවා නෙවෙයි. යැයි අවවාදයක් ද කර පුතා නිවස තුළට කැන්දාගෙන ගොස් බිරිඳ සහ මව පෙරමෙන් කතා බහ කරන්නටත් ආහාර පාන දෙන්නටත් කටයුතු කළහ. යහළුවාගේ තැනට සුදුසු නුවණ නිසා තමන් බේරුණු බව සිතමින් එදින නින්දට ගොස් පසු දින සේවයට ගියත් සේවා ආයතනයට මෙය රහසක් නොවූයේ මිතුරා එම ආයතනයේ තවත් මිතුරෙකුට මේ පුවත පවසා තිබුණු නිසාය.

හසලක සුනිල් ඒකනායක



අදහස් (0)

ජීවිතේට මත් නොවන මිතුරා කුරුම්බා වතුරෙන් මත්වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 615 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17571 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 722 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site