(සුජිත් හේවාජුලිගේ)

ශාරීරික පිරිසුදුකම ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන ගියහොත්  වඳුරු උණ( මංකි ෆොක්ස් ) රෝගයෙන් ගැලවිය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

විශේෂයෙන්ම විවෘත ස්ථාන ඇල්ලීමෙන් පසු දෑත්  නිවැරදි ආකාරයට සබන් යොදා සේදීම ඉතා වැදගත් බවද  ඔහු සඳහන් කළේය.

වයස 8 ට අඩු දරුවන්ට සහ ගර්භනී මාතාවන්ට වඳුරු උණ රෝගය වැළඳුනහොත් භයානක තත්වයන් ඇතිවිය හැකි බවත්  ගබ්සාවීම් පවා සිදුවිය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා
පැවසුවේය.

රෝගියකුගේ  සමේ ගෑවීමෙන් හෝ රෝගියකු පාවිච්චි කළ තුවා සහ ඇඳ ඇතිරිලි වැනි දෑ  පරිහරණය කිරීමෙන් රෝගය පැතිර යා හැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා රෝගීන්ගේ ආශ්‍රිතයන්ට උණ, සම මත වණ යනාදී  ලක්ෂණ   ඇතිවන්නේ දැයි දින 21 ක කාලයක්  විපරමින් සිටීම වැදගත් බවද පෙන්වා දුන්නේය.

වඳුරු උණ රෝගය සඳහා ඒ වෙනුවෙන් විශේෂයෙන්  නිෂ්පාදනය කර ඇති  එන්නත හෝ වසූරිය එන්නත  පාවිච්චි කළ හැකි බවත් පැපොල රෝගය සඳහා ලබාදෙන එන්නත සමහර රටවල් මෙයට පෙර පාවිච්චි කළද දැන් එය පාවිච්චි නොකෙරෙන බවත්  දීපාල් පෙරේරා මහතා  ප්‍රකාශ කළේය.

දරුවන් තුළ  සැක සහිත රෝග ලක්ෂණ පවතී නම් ඔවුන් පාසල් යැවීමෙන්  වළකින ලෙස විශේෂඥ වෛද්‍යවරයා මවුපියන්ගෙන් ඉල්ලීමක් කළේය.