අපේ දෛනික චර්යාව ගත්විට කෙතරම් ක්‍රියාකාරකම්වලින් එය පිරී ඇත්ද? ඒ අතර හොඳ පුරුදු, වෙනස් කර ගත සහ වැරැදි පුරුදු කොතෙක්ද? නිරෝගීතාව පවත්වා ගැනීමට රෝගී වූ විටත් අපි සිතා මතා, ක්ෂණික සහනය පතා කෙතරම් වැරැදි ගොඩක් කරනවාද? ඒ අතර අපේ ශරීර උෂ්ණත්වය වැඩි වූ විගසින්ම හිතුමතයට ඖෂධ ගැනීම, සමහර රෝග තත්ත්වාදියට නෑම බාධාවක් කර ගැනීම, මුඛ සෞඛ්‍යය ගැන සිතා පමණ ඉක්මවා කටයුතු කිරීමාදිය ඉන් කිහිපයක් පමණි. මෙකී කාරණා සියලුම දෙනාට පොදු බැවින් පහත ලිපිය ඒ අළලා සැකසුණකි. 

‘උණ ‘ ගත් වහාම ඖෂධ ගන්න එපා

පුද්ගලයකුගේ ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වය පරීක්ෂා කිරීමේදී එය ෆැරන්හයිට් 100.4 නම් හෝ සෙල්සියස් අංශක 38ට වැඩි නම් එය නියත උෂ්ණත්වය ඉක්මවා යාමකි. සාමාන්‍ය ව්‍යවහාරයට අනුව ‘උණ‘ ගැනී ඇත. ඒ සඳහා විවිධ හේතු බලපෑ හැකිය. එවිට අප ඉක්මන් සහනය පතා ඖෂධ ගැනීමට හුරුව ඇති අතර එසේ එකවර ඖෂධ ගැනීමකට නොයා උණ තත්ත්වය පාලනය කර ගත හැකි බව ඔබ දන්නවාද? ඒ සඳහා ඔබට පහත පියවර අනුගමනය කළ හැකිය.

1) ප්‍රථමාධාර උණ කටුවක් භාවිතයෙන් උෂ්ණත්වය මැන බලන්න. එවිට උෂ්ණත්වයේ ස්වාභාවය අනුව අවශ්‍ය පියවර ගැනීමට පහසු වනු ඇත. ඒ වගේම උණ කටුව නැවත භාවිතයට ගත හැකි වන සේ පිරිසුදුව තැබීමටත් අමතක නොකරන්න.

2) අනතුරුව රෝගී පුද්ගලයාගේ සිරුර කොටසින් කොටස තෙත රෙදි කඩක් භාවිතයෙන් තෙත මාත්තු කළ හැකිය. මේ සඳහා අධීක සීතල වතුර යොදා නොගන්න. සාමාන්‍ය කාමර උෂ්ණත්වය මත හෝ ෆැරන්හයිට් අංශක 95ත් 96 ත් , සෙල්සියස් අංශක 32ත් අතර වන මඳ උණුසුම් වතුරින් රෝගියාගේ ඉකිලි, කිහිලි, මුහුණ,අත,පය තෙත මාත්තු කොට පිසදා නැවතත් පොරවා තැබිය හැකියි. ශරීර උෂ්ණත්වය අඩු වෙනවාද වැඩි වෙනවාද යන්න දිගටම නිගමනය කරන්න.

3) පැය කාලකට පමණ පසු රෝගියාගේ උෂ්ණත්වය ක්‍රම ක්‍රමයෙන් පහළ බසී නම් පොරෝනයකින් පොරවා අවම සුළං ධාරිතාවක් ලැබෙන පරිදි විදුලි පංකාවක් දමන්න. ඒත් හුස්ම ගැනීමට අපහසු හෝ පෙනහලු රෝග ඇත්නම් හෝ වෙනත් රෝග ලක්ෂණ ඇති රෝගීන්ට මෙම ක්‍රමය යොදා නොගන්න.

4) උණ තත්ත්වය කෙමෙන් අඩු වී යයි නම් විටමින් ‘සී‘ අඩංගු බීම වර්ගයක් බීමට දෙන්න. ඒ සඳහා දෙහි හෝ දොඩම් යොදා ගත හැකියි. එසේම ඇඳ විවේකය ලබා දෙන්න.

5) ඒ වගේම උෂ්ණත්වය අඩු වෙනවාද , වැඩි වෙනවාද යන්න මුලින්ම පැය කාලෙන් කාලෙටත් අනතුරුව පැය භාගයෙන් භාගයටත් නිරීක්ෂණය කරන්න. උණ ගතිය වැඩි වේ නම් ඖෂධ නියමිත පරිදි නිසි මාත්‍රාවෙන් ලබා ගන්න.

කොවිඩ් ආසාදිත වීම නෑමට බාධාවක්ද?

කොවිඩ් ආසාදිත වුවද වෙනත් කිසිඳු රෝගී තත්ත්වයක් නොමැති නම් දිනපතාම පාහේ ස්නානය කළාට වරදක් නැත. සැබැවින්ම රෝගී වූ විටත් ශරීරයේ පිරිසුදුතාව පවත්වා ගැනීම ඉතාම වැදගත් වේ. ඒ අනුව ඇස්, පාද, කන්,දත්වල සනීපාරක්ෂාව ප්‍රධානයි. රෝගියාගේ රුචිකත්වය මත සීතල හෝ උණුසුම් ජලයද යන්න ගැටලුවක් නැත. මඳ උණුසුම් ජලය වුවද සිරුරට ප්‍රියමනාපයි. සුවදායී බවක් මෙන්ම ප්‍රාණවත් ගතියක්ද එක් කරයි. 

දන්ත සෞඛ්‍යය රැක ගැනීමට කී පාරක් දත් මැදිය යුතුද?

සිනහවක් ලස්සන වීමට නිරෝගී දත් දෙපළක් තිබිය යුතුය. දත් කියන්නේ අපේ ශරීරයේ ශක්තිමත්ම අවයවයයි. ඒ අනුව දත් නිරෝගී වීමට දිනකට දෙවරක් උදෑසන සහ රාත්‍රී නින්දට යාමට පෙරාතුව දත් මැදීම බොහෝ ප්‍රමාණවත්ය. විනාඩි 02ක් පමණ උඩු සහ යටි ඇඳි දෙකම දත  පහළ ඇතුළේ සිට එළියට වන පරිදි බුරුසුව අංශක 45ක කෝණයෙන් තිබිය යුතුය. මෙහිදී දත්වල රැඳුණු කෑම කොටස් මෙන්ම විදුරු මහේ රැඳෙන මැලියම් හොඳින් ඉවත් වේ. දත් පමණක් නොව දිව, හක්ක, කම්මුල ඇතුළත කොටස පිරිසුදු කළ යුතුය. දත් සුදු වීමටයැයි සිතා දිනකට පස් හය වතාවක් අත තදකර දත් මැදීමෙන් දතේ එනමලය හානි වීමට ඉඩ ඇත. දත් බුරුසුවද කෙඳි නැමී කැඩී නොගිය එකක් විය යුතු අතර මාස 03කට වරක්වත් එය මාරු කළ යුතු වේ. දත් බෙහෙත් වුවද ගත යුත්තේ කඩල ඇටයක තරමේ සුළු ප්‍රමාණයකි. 

-සටහන- මාධවී ධර්මරත්න