IMG-LOGO

තවමත් ළමයින්ට MMR එන්නත ලබා දී නැත්ද?

උණත් සමග මේ දිනවල පැතිර යන සරම්ප අවදානම ගැන වැඩි අවධානයක් මතුව ඇති බැවින් සියලු දෙනාගේ දැනුම්වත් වීම උදෙසා පහත ලිපිය පළ කෙරේ.

සරම්ප, වයිරස් රෝගයකි

සරම්ප යනු නිසි ප්‍රතිශක්තිකරණය මගින් වළකා ගත හැකි රෝගයකි. ‘පැරමික්සො‘ (Paramyxo) වයිරස කාණ්ඩයට අයත් වයිරසයක් මගින් හට ගැණෙන, බෝවන රෝගයකි.

ස්වසන පද්ධතිය හරහා බෝවේ.

මෙම රෝගය පුද්ගලයන් අතර ව්‍යාප්ත වනුයේ ස්වසන පද්ධතිය හරහාය. එනම් ස්වසන පද්ධතිය ආශ්‍රිත ස්‍රාව හරහා රෝගය බෝවේ. සරම්ප රෝග ව්‍යාප්තිය වේගවත් අතර වයිරසය ශරීර ගතව ඇතත්, රෝග ලක්ෂණ මතු වීමට දින කිහිපයකට පෙර සිටම ආසාදිතයාගෙන් වෙනත් පුද්ගලයන්ට බෝවිය හැකිය. රෝගයේ බීජෞවසන සමය වන සතියක් දෙකකින් පසු රෝග ලක්ෂණ මතු වේ.

රෝග ලක්ෂණ මේවාය

මුලින්ම සාමාන්‍යාකාරයේ සෙම්ප්‍රතිශ්‍යා ගතියක් පෙන්වයි. අනතුරුව උණ,නාසයේ බර ගතිය, සොටු දියර ගැලීම සිදු වේ. ඒත් සමගම ඇස් දෙක තද පැහැති ආකාරයට රතු වීමට පටන් ගැනේ. මෙකී වයිරසයේ බලපෑම මුළු ශරීරය පුරාවටම බලපැවැත්විය හැකි අතර ඇස් රතු පැහැ ගැන්වීමට හේතුව වයිරසයේ බලපෑම ඇහැට බලපා ඇති නිසාය.

සමේ රතු ලප පැතිරීම

රෝග ලක්ෂණ මතුවී දින 04ට පසු සමේ රතුලප මතුවේ. මේ රතු ලප සිරුර පුරාම දැකිය හැකි අතර හැඩයකට අනුව පැතිරීමට පටන් ගැනේ. එනම් මුලින්ම මුහුණෙත්,පසුව පපුව ප්‍රදේශයෙත්, පිට දෙපැත්ත,දෙඅත්,දෙපා යනාදී ලෙස සිරුරේ පහළට පැතිර යයි. මේ අතර තද උණ ගතිය සමග කුෂ්ඨයක් ආකාරයටද පැතිරීමට පටන් ගැනේ.

රෝගී කාලයේදී අපේ පරෙස්සම

රෝගී තත්ත්වය උත්සන්න වීමේදී තෙහෙට්ටුවක් දැනීම, මලානිකභාවය, ආහාර ප්‍රතික්ෂේප කිරීම, අධික උණ තත්ත්වයක් පවා මතු වීමට පිළිවන. එනම් ෆැරන්හයිට් අංශක 104ට වගේ උණ පැවතිය හැකිය. මේ රෝග ලක්ෂණද සතියක් ඇවෑමෙන් පහවී යයි.

ප්‍රතිශක්තිය දුර්වලවී ආසාදන ඇති වේ.

රෝග කාරක වයිරසය නිසා පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වේ. එසේම පසුකාලීනව වෙනත් ආසාදන පවා ඇති වීමට පිළිවනි. එනම් නිව්මෝනියාව, මොළයට බලපෑම් එල්ල වීම වැනිදෑ සඳහන් කළ හැකිය. දිගින් දිගටම ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වේනම් බැක්ටීරියා ආසාදන තත්ත්ව පවා මතු වීමට හැකිය.

එබැවින් රෝගී කාල සීමාවේදී රෝගියා ආහාර පාන ප්‍රතික්ෂේප කරන බැවින් විජලනය වීමෙන් වළකා ගත යුතුය.

සරම්ප රෝගය දරුවන්ට, වෙනත් නිදන්ගත රෝග ඇති අයට වැළඳුණහොත් බරපතළ විය හැකිය.

අවුරුදු කිහිපයකින් දරුණු සංකූලතාවක්

සමහර අවස්ථාවලදී සරම්ප වැළඳී සුව වුවද අවුරුදු 05ක් 06ක් පමණ ගත වෙද්දි මෙහි අවදානම මොළයට බලපෑමට හැකිය. එය දැඩි සංකූලතාවකි. මෙනිසා මොළයේ ක්‍රියාකාරීත්වය කෙමෙන් කෙමෙන් අඩපණ වීමට පටන් ගැනේ. අනතුරුව සිහි කල්පනාව අඩු වීම, වලිප්පු තත්ත්වයට පැමිණීම වැනි දෑද සිදු වේ. එසේම ප්‍රකෘති සිහිය මුළුමනින්ම පාහේ අහිමිව ගියහොත් ජීවිත හානි පවා සිදු විය හැකිය.

මනා පෝෂණය, විජලනයෙන් තොර වීම, උණ පාලනය

සරම්ප රෝගියකුගේ ප්‍රතිකාර ගැන කතා කරද්දි මෙය වයිරස් තත්ත්වයක් බැවින් විශේෂිත ප්‍රතිකාර නොමැත. එහෙත් රෝගී කාල සීමාව තුළ නිසි පෝෂණය ඉතා වැදගත්ය. රෝගියාව විජලන තත්ත්වයෙන් වළකා ගෙන උණ තත්ත්වය මනාව පාලනය කර ගත යුතුය.

සරම්ප එන්නත ගැන දැනුම්වත්ද?

වර්ෂ 1983 සිට මෙරට තුළ සරම්ප එන්නත ලබා දීම ඇරැඹිණි. ඒ අනුව දරුවකු ඉපදී මාස 09න් හා අවුරුදු 03දිත් මෙකී එන්නත ලබා දේ. MMR නමින් හැඳින්වෙන මෙය සරම්ප, කම්මුල් ගාය, රුබෙල්ලා යන ත්‍රිත්ව රෝගවලට ලබා දෙන එන්නතකි.

මෙහි පළමු මාත්‍රාව මාස 09න් ලබා දී දෙවැනි මාත්‍රාව අවුරුදු 03දී ලබා දෙයි. සරම්ප වැළඳුණත් ,නැතත් මෙම එන්නත සියලුම දරුවන්ට ලබා දිය යුතුය.

එන්නත ලබා දුන් මුල් කාලයේ සිට සරම්ප රෝගීන්ගේ වර්ධනයක්, අලුත් රෝගීන් වාර්තා නොවුණ බැවින් 2019 වසරේදී ලංකාව සරම්පවලින් තොර රටක් ලෙස නිර්දේශ කරනු ලැබිණි.

MMR හි වැදගත්කම

නිසි එන්නත්කරණය නිසා සරම්ප රෝගය මෙරටින් තුරන් වුවද ඉකුත් සතිය වනවිට සරම්ප යැයි තහවුරු කළ ළමා රෝගීන් කිහිප දෙනකු යළි වාර්තා විය. මේ කිසිඳු දරුවකු MMR එන්නත ලබා නොගෙන තිබීම ඉතාම කනගාටුදායකය.

එන්නත ලබා නොගෙන සිටියදී යම් හෙයකින් සරම්ප වැළදුණහොත් සංකූලතා වැඩි අතර වැළඳුණායින් පසු එන්නත ලබා ගැනීමද ප්‍රායෝගික නොවේ. සරම්ප යනු නිසි ප්‍රතිශක්තිකරණය මගින් වළකා ගත හැකි රෝගයක් බැවින් ළමා ජීවිත මෙයාකාරයට අනතුරේ හෙළීම කෙතරම් අසාධාරණද යන්න මවුපියන් පිළිතුරු දිය යුතුම පැනයකි.

එන්නත තවමත් ලබා ගෙන නැත්නම්

මේවනවිටත් ඔබේ දරුවාට සරම්ප එන්නත (MMR) ලබාදී නොමැති නම් නොපමාව ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලය හෝ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂණ කාර්යාලය( MOH ) වෙතින් එන්නත ලබා දීමට කටයුතු කරන්න. මෙකී එන්නත රජය මගින් නොමිලේ ලබා දෙනු ඇති.

දරුවකුට නිසි කලදී එන්නත් ලබා දීම සහ ප්‍රතිශක්තිය නැංවීමේ අවශ්‍යතාව මෙහිදී මතුවන අතර එකඳු එන්නතක්වත් මඟ නොහැර නිසි කලට ලබා දීමද මවුපිය වගකීමකි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

තවමත් ළමයින්ට MMR එන්නත ලබා දී නැත්ද?

S. Sandeesh nimna Monday, 12 February 2024 09:39 AM

සරම්ප එන්නත ලබා දී ඇත. එහෙත් දින කිහිපයකට පසු ඇතිවූ උණ තත්වය දින තුනක් පමණ තිබුණා. එය අඩු උන පසු සමෙහි රතු බිබිලි ඇතිවිය. එය පෙන්වීමට පෞද්ගලික වෛද්‍ය වරයෙකුට පෙන්වීම සිදු කලේය .එතුමා විසින් උණ නිසා ඇතිවූවක් බව පවසා සමට ආලේප කිරීමට බෙහෙතක් ලබා දීම සිදුකර දින තුනකින් පමණ එම තත්වය සුව අතට හැරුණේ නැති උවහොත් එතුමියව නැවත් හමුවීමට පැමිණෙන ලෙස පැවසුවේය.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1467 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 535 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 602 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site