(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු රැගෙන අද(02 ) සවස 4.15 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරණ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගැනීමට විශේෂ කවුන්ටර 08 ක් සුදානම් කර තිබුණි
මෙම ගුවන් මගීන් පිරිස සහ ගුවන් නියමුවන් ඇතුළු ගුවන් යානා කාර්යය මණ්ඩලය ගුවන් තොටුපළ තුළදීම පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ගුවන් තොටුපළ සහ සෞඛ්‍ය බලධාරීන් විසින් සකස් කර තිබුණි .
ඒ අනුව මෙම ගුවන් යානා කාර්යය මණ්ඩලය කොළඹ පෞද්ගලික රෝහලක සහායෙන් සහ පැමිණි ගුවන් මගීන් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ සහ රජයේ රෝහල් කාර්යය මණ්ඩලයක් විසින් පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරුණි .
මෙම ගුවන් මගීන් පිරිසගෙන් පී.සී.ආර්.පරීක්ෂණ සදහා සෙම පටල ලබා ගැනීමට පැය 05 ක පමණ කාළයක් ගත විය හැකි බවට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් ඇස්තමේන්තු කර තිබේ .
මෙසේ ලබා ගන්නා සෙම පටල සාම්පල ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි පරීක්ෂණ සදහා , විශේෂ ගිලන් රථයක් මගින් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමට නියමිතය .
ඉන්පසු එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලබා දීමට අවම වශයෙන් තවත් පැය 24 ක කාළයක් ගත විය හැකි බව එම ආයතනය ගුවන් තොටුපළ බලධාරීන් වෙත දන්වා තිබේ .
මෙසේ පැමිණි ගුවන් මගීන් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් වීමෙන් අනතුරුව , ඒවායේ ප්‍රතිඵල ලැබෙන තෙක් , ගුවන් තොටුපළ අවට හෝටල් 04 ක නවාතැන් ගැනීමට සලස්වා තිබේ .
එම හෝටල් ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ විශබීජ හරණය කර , දුරස්ථභාවය සහ අනෙකුත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුව පවත්වා ගෙන ආකාරයට සූදානම් කර තිබේ .
පසුව එම පී.සී.ආර්.පරීක්ෂණ වලින් ලැබෙන පිළිතුර අනුව , මෙම ගුවන් මගීන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වුවහොත් ඔවුන් අයි.ඩී.එච්.රෝහල හෝ ළගම ඇති රෝහල වෙතත් , අනෙකුත් ගුවන් මගීන් පිරිස නීරෝධායන මධ්‍යස්ථාන වෙතත් යොමු කිරීමට කටයුතු සැළසුම් කර තිබේ .
මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින සියලුම විදේශගත වූවන් ජූලි මස 31 දිනට පෙර නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට රජය අදහස් කරන අතර , ඉන්පසුව අගෝස්තු 01 දින සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළිත් ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා විවෘත කිරීමට ද සැළසුම් කර ගෙන යන බව , අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීගමුවේ මේ වහලා තිබෙන හොටල් වල කාමර භාවිතා කරලා දුරස්ථභාවය රැකෙන පරිදි නිරෝධායනය නියම ප්‍රමිතියකට ප්‍රශ්නයක් නැතුව කරන්න පුළුවන් කියලා මම මාස 1 1/2 පමණ ඉඳන් මේ තීරුවේ නැවත නැවතත් ලියනවා. දැන් තමා බලධාරීන්ගේ මොලේ පෑදිලා තිබෙන්නේ.. මේ ක්‍රමයට ඔය වහලා තිබෙන හොටල් ටික භාවිතා කරලා අරාබි රටවල අතරමන් වෙලා ඉන්න පිරිස මාසයක් ඇතුළත මෙහෙ ගෙණත් නිරෝධායනය කරලා සමාජ ගත කරන්න පුළුවන්... දිනකට රුපියල් 2500 - 10000 අතර මිලකට කාමර අලෙවි කරන ලංකාවේ මධ්‍යම පරිමාණයේ හෝටල්වල හිස් කාමර 10000-20000 අතර ප්‍රමාණයක් ලංකාවේ මේ අවස්ථාවේ තිබෙනවා. ගුවන් තොටුපලේ ගාල් කරලා ශ්‍රී ලන්කන් ගුවන් යානා 10-15ක් විතර තිබෙනවා. මේවා භාවිත කරලා අපේ පුරවැසියන් බේරා ගන්න පුළුවන්... රට ඉන්න සියලුදෙනාම කොරෝනා රෝගීන් නොවේ.. නිරෝධායන මධ්‍යස්ථාන තුළ 30-40 කොරෝනා පොකුරු එකම දිනේ ඇතිවුනේ.. ඒවගේ 30-60 ප්‍රමාණයක් එකම ශාලාවේ ජීවත්වුණු නිසා. හෝටල් කාමරවල වෙන් වෙන් වශයෙන් නිරෝධායනය කරන කොට එහෙම ප්‍රශ්න ඇති නොවෙන නිසා, අපේ සෞඛ්‍ය පද්ධතියට මේක එච්චර බරක් වෙන්නේ නැහැ...