පෑලියගොඩ මාළු වෙළඳසැල ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා ආසාදිතයන් පොකුර හේතුවෙන්, මාළු ආහාරයට ගැනීමට බියක් දැක්විය යුතු නැතැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

වෙළඳසැල්වල ආහාර මිලදීගැනීමෙන්,  ආහාර පාර්සල් අත දරා සිටීමෙන්, අතපත ගෑමෙන් පසු සහ ආහාර පිළියෙල කිරීමට සහ ආහාර ගැනීමට පෙර තත්පර 20ක් සබන් යොදා හොඳින් අත් සෝදාගැනීම වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

කොරෝනා වයිරසයට  විවිධ පෘෂ්ඨ මත පැය ගණනක කාලයක් රඳාපැවතිය හැකි බවද, මාළුවකු මතුපිට වයිරසයට රඳා පැවතිය හැකි කාලය කොතරම්ද යන්න තවම හඳුනාගෙන නොමැති බවද ඒ මහතා පැවසීය.

''මාළු පිසීමට පෙර සෑමවිටදී ම, සබන් යොදා දෑත් සෝදා පිරිසිදු කරගත යුතුයි. දෑත් නොසෝදා ඇස්, මුඛය හෝ නාසය ඇල්ලීම නොකළ යුතුයි.

මාළු මත කොරෝනා වයිරසය පැතිර තිබු අවස්ථාව වුවත්, සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ උපදෙස් පිළිපැදීමෙන්, එය ව්‍යාප්තවීම අඩුකරගැනීමට පුලුවන්'' යැයිද වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

(16844)