(විනීතා එම්. ගමගේ)

භාවිතා කර ඉවතලන මුහුණු ආවරණ ලක්ෂ ‍6කට ආසන්න ප්‍රමාණයක් එක් දිනයක දී පරිසරයට බැහැර කරතැයි පරිසර අමාත්‍යංශය කියයි.

ඒ අතර ශල්‍ය මුව ආවරණ ලක්ෂ 5ක් පමණද, කේ.එන් 95 වර්ගයේ මුව ආවරණ ලක්ෂයක් පමණ ද ඇතැයි ගණන් බලා ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

මුව ආවරණ පැළඳිම අනිවාර්ය කළත් ඉවතලන මුව ආවරණ සෞඛ්‍යාරක්ෂිතව බැහැර කිරීම සම්බන්ධව නිවැරදි උපදෙසක් ජනතාවට ලබාදීමට සෞඛ්‍ය බලධාරින් මේ වනතුරුත් කටයුතු කර නොමැති වීම හේතුවෙන් ඉදිරියේදී බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇතිවිය හැකි යැයි පරිසර විද්‍යාඥයන් පෙන්වා දී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවක දී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
 
ආසාධිතයින්, ආසාධිතයින් ඇසුරු කළ නිරෝධායනයේ සිටින පුද්ගලයින් මෙන්ම සාමාන්‍ය නිරෝගී ජනතාව පළඳින මුව ආවරණ ද මෙසේ බැහැර කරන ඒවා අතර ඇතැයි පෙන්වා දුන් අමරවීර මහතා, කිසිඳු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකර මේවා බැහැර කිරීම පවතින ප්‍රශ්නය බවද පෙන්වා දුන්නේය.

වැසි සමය ද එළැඹ ඇති බැවින් මෙසේ මුව ආවරණ බැහැර කිරීම ඉතාම භයානක ප්‍රතිඵල ඇති කළ හැකි යැයි පෙන්වා දුන් අමාත්‍යවරයා තවත් රැල්ලක ආරම්භයක් එයින් ඇති විය හැකි බව ද පෙන්වා දුන්නේය.

මේ වනවිටත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් සකසා ඇති කොවිඩ් වැළැක්වීමේ මාර්ගෝපදේශන මාලාව ක්‍රියාත්මක කරනලෙස පළාත් පාලන ආයතනවලට බල කර කියා සිටිය යුතු යැයි ද අමාත්‍යවරයා පැවසීය.