IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


තීන්දුවෙන් සත්‍යයට ජවයක්

ජයතිලක ද සිල්වා

ජනාධිපතිතුමන් විසින් පාර්ලිමේන්තුව විසුරුවාලීම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෙවත් මූලික නීතිය උල්ලංඝනයක් යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් සමන්විත මඬුල්ලක  ඒකමතික විනිශ්චයක් වශයෙන් එය ප්‍රබල සහ ස්ථිර තීන්දුවක් බව නොරහසකි. පාර්ලිමේන්තුවෙහි ධුර කාලයෙන් වසර හතරහමාරකට පෙර එහි තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවන්නට නොහැකි යැයි ද එම තීන්දුවේ සඳහන්ය.

මෙම තීන්දුවෙන් ජනාධිපතිතුමන් වෙත චෝදනාවක් එල්ල වෙයි. එපමණක් නොව එය රටෙහි මූලික නීතිය තහවුරු කිරීමක් ද වෙයි. එයින් අධිකරණයෙහි ස්වාධීනත්වය ප්‍රදර්ශනය වූ අතර ප්‍රජාතන්ත්‍රවාදයෙහි ජීවය ශක්තිමත් විය.

මෙම තීන්දුව වඩාත් වැදගත් වන්නේ පසුගිය ඔක්තෝබර 26 වැනි දින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවෙන් පරිබාහිරව අගමැතිවරයා නෙරැපීමෙන් හටගත් ව්‍යවස්ථා අර්බුදය එයින් අවසන් වූ හෙයිනි. කෙසේ වෙතත්, රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමට යම් කාලයක් අවශ්‍ය වනු ඇත. ඒ රාජ්‍ය සේවාවෙහි සහ ව්‍යවස්ථාපිත ආයතනවල ඇති වූ අවුල් නිරාකරණය කරන්නට තිබීම හේතුවෙනි.
උගත් ජනාධිපති නීතිඥයන් ආචාර්ය මහාචාර්යවරුන් සහ දේශපාලන ක්ෂේත්‍රයෙහි සියල්ල දත් පණ්ඩිතයන් ඇතුළු නීති විශාරදයන් පසුගිය සති කිහිපය තුළම ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කළ අර්ධ නෛතික ප්‍රබන්ධ සියල්ල ද එම නඩු තීන්දුවෙන් අරුත් සුන් තත්ත්වයට පත් විය.

ඔක්තෝබර 26 වැනි දින අගමැතිවරයා ඉවත් කිරීම “ජාතිය ගලවා ගැනීමට” ගත් “දේශප්‍රේමී පියවරක්” නොව දේශපාලන කුමන්ත්‍රණයක් බව ද නඩු තීන්දුවෙන් අපට පෙනීයයි. (ශබ්දකෝෂයට අනුව කුමන්ත්‍රණයක් යනු නීති විරෝධී හෙවත් සාපරාධී ක්‍රියාවක යෙදීමට පුද්ගලයන් දෙදෙනකු හෝ වැඩි ගණනක් හවුලේ එකඟ වීමකි.  තනිව ගත් විට අහිංසක සේ පෙනෙන දෙයක් වුවත් පිරිසක් එකතුව කරන විට එය කුමන්ත්‍රණයක් වන බව ද ශබ්දකෝෂය කියයි)

තමන් ළඟ තුරුම්පු රැසක් ඇති බව වරක් ජනාධිපතිවරයා ආඩම්බරයෙන් කියනු අපට මතක ය.  එතුමන් සියලු  තුරුම්පු ගසා නිම කළ පසු ශ්‍රේෂ්ඨාධිකරණය එතුමන්ගේ ස්ථාවරය අනුමත නොකිරීමෙන් පෙනෙන්නේ එතුමන් කාඩ් ක්‍රීඩාවෙහි ශූරයෙකු නොව ආධුනිකයකු යැයි යමෙකු නිගමනය කළහොත් එහි වරදක් දැකිය හැකි ද? නැත.

දේශප්‍රේමිත්ව හෝ ප්‍රජාතන්ත්‍රවාදය හෝ පිළිබඳ කෙතරම් ඝෝෂාවක් නැඟුව ද යටින් පැවැතියේ පෞද්ගලික අපේක්ෂා පෙරදැරි කැරැ ගත් බල අරගලයෙකි.  එහි වන් සියල්ලෝම තමන් සාන්තුවරයන් සේ පෙනී සිටිමින් ප්‍රතිවාදියා යක්ෂයකු සේ පින්තාරු කළහ.
පාර්ලිමේන්තුව විසුරවීම නීත්‍යනුකූල යැයි කියා සිටි පිරිස් විශේෂයෙන්ම පොදු පෙරමුණු නායකයෝ සහ අනුගාමිකයෝ නඩු තීන්දුවට තමන්ට රුචි පරිදි අර්ථ දක්වන්නට පටන්ගෙන ඇත්තා හ. යක්ෂයා තම වාසියට ධර්ම පාඨ උපුටා දක්වන්නා සේ ය.  ඔවුන් කියා සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ පැවැත්වීමට එරෙහිව තීන්දුවක් දුන් බව ය.  එය අමූලික බොරුවකි. දුෂ්ට චේතනාවෙන් කරන චෝදනාවකි. මැතිවරණවලට එරෙහි වනු වෙනුවට මැතිවරණ කෙසේ පැවැත්විය යුතු දැයි එම නඩු තීන්දුව නිශ්චය වශයෙන් පෙන්වා දුන්නේය. එනම්, සිය ධුර කාලයෙහි වසර හතරහමාරක් ගෙවෙන්නට පෙර පාර්ලිමේන්තුව විසුරවීමට නීත්‍යනුකූල වන්නට නම් එසේ විසුරවන ලෙස ඉල්ලන යෝජනාවක් පාර්ලිමේන්තුවෙහි තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත විය යුතු බව පෙන්වා දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණය කෙළේ එසේ මැතිවරණයක් පැවැත්වීමෙහි ව්‍යවස්ථාමය හෙවත් නෛතික තත්ත්වය නිරවුල්ව පැහැදිලි කිරීම ය. එයින් නිෂේධ කරන ලද්දේ පොදු ජන පෙරමුණ සහ එහි නිවුන් සොහොයුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරන ආකාරයේ ව්‍යවස්ථාවට පටහැනිව මැතිවරණ පැවැත්වීම පමණකි. මැතිවරණයක් පැවැත්විය යුතු ආකාරය පැහැදිලි කිරීම එය නිෂේධ කැරීමක් වන්නේ කෙසේ ද?

 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් යළි අවධාරණය කර ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයෙහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ස්වභාවය යි. විධායක ජනාධිපතිවරයාගේ එක් පියවරකින් මුළු රටම අකර්මණ්‍යව ජන ජීවිතය අනතුරට ලක් වූ සැටි අප හැම ම ඇස් පනාපිට දුටු කාරණයකි. එයින් අපේ ආර්ථිකයට ද බලවත් පාඩු සිදු වීය. ප්‍රාග්ධනය එතෙරට ගලා යාමෙන් ලත් පාඩුව ඩොලර් බිලියන 70ට ආසන්න ය. සංචාරකයන්ගේ පැමිණීම ද අනපේක්ෂිතව අඩු විය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කැරීම අද තරම් හදිසි අවශ්‍යතාවක් බවට පත් වූ වෙනත් වකවානුවක් නැති තරම් ය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් අප රටෙහි භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීයත්වයත්, සිංහල ජාතිය සහ බෞද්ධාගමත් විනාශ වෙතැයි එම ක්‍රමය රකින්නෝ කියා සිටිත්. ඒ ඇත්තක් ද? විධායක ජනාධිපති ක්‍රමය පවතින්නේ 1978 වසරෙහි සිට ය. ඉන් පෙර පරසතුරු පාලනය යටතේ වුව ඒවා නොනැසී පැවැතියේ ය. කෲර යටත්විජිත පාලකයන්ට පවා විනාශ කළ නොහැකි වූ සිංහල ජාතිය සහ බුද්ධාගම විධායක ජනාධිපති ක්‍රමයෙන් අනතුරට ලක්වෙතැ යි විනාශ වෙතැ යි සිතීම මුළාවකි. අනෙක් අතට එම ක්‍රමය හේතුවෙන් එක් ජාතියක් සහ එක් ආගමක් පමණක් නොව මුළු සමාජයම අගාධයක පත්ලට වැටීමෙහි අනතුරට මුහුණ පෑ හැටි දැක්වූ දින 52ක මෑත අත්දැකීම ද අප සතු ය. 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් රටෙහි ස්වෛරීත්වය නැති වෙතැ යි යන්න ද ප්‍රලාපයකි. ස්වෛරීත්වයට හානි පැමිණීමෙහි ප්‍රධාන හේතුවක් වන්නේ රටක අභ්‍යන්තර සාමය බිඳී ජනතාව ජාති, ආගම් අනුව කුළල් කා ගැනීම ය. ස්වෛරීත්වය නැති වූ ඉරාකය, ලිබියාව ආදී රටවල අත්දැකීමෙන් එය මොනවට පැහැදිලි ය. පොදු ජන පෙරමුණෙහි සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි දේශපාලනය ජාතිවාදයට සහ ආගම්වාදයට නැඹුරු හෙයින් මෙරට ස්වෛරීත්වයට බරපතළම හානිය පමුණුවන්නේ ඔවුන්ම බව මතක් කර දිය යුතු ය. 

සියල්ලන්ටම සාධාරණ වූත්, යුක්තිය සහ සම අයිතිය හැමට සහතික කරන්නා වූත්, මානව අයිතිවාසිකම් සුරකින්නා වූත් නූතන ප්‍රජාතන්ත්‍රවාදී නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව අද ක්ෂණික අනිවාර්යතාවක් බවට පත්ව ඇත.

කෙසේ වුවත්, හදිසියේ නව ව්‍යවස්ථාවක් හඳුන්වා දිය නොහැකි ය. නො යුතු ය. එය පුළුල් ජනතා සහභාගීත්වයකින් සහ සියලු අදහස් සලකා බැලීමකිත් කළ යුතු හෙයිනි. පසුගිය තෙවසරක කාලය තුළ මේ පිළිබඳව ආරම්භයක් පාර්ලිමේන්තුවෙහි මෙන්ම බාහිරව ජනතාව අතර ද ගෙන ඇති බව සැබෑවකි. එහෙත් ඒ ප්‍රමාණවත් නොවේ. වර්තමාන පාර්ලිමේන්තුවෙහි සංයුතිය සලකන කල ඉතිරි ධුර කාලය තුළ එම කාර්යය සාර්ථකව හමාර කරන්නට හැකි වෙතැ යි සිතිය නොහැකිය. එහෙයින් වඩාත්ම හොඳ ක්‍රියාමාර්ගය වනු ඇත්තේ මීළඟ ජාතික (ජනාධිපති හෝ මහා) මැතිවරණයක දී නව ව්‍යවස්ථාවක් සම්පාදනයට ජන වරමක් ලබාගෙන ව්‍යවස්ථානුකූලව එය සකසා නියමිත කාලයක්, නිදසුනක් වශයෙන් වසරක් හෝ දෙකක් හෝ ඇවෑමෙන් එය ජනමත විචාරණයකින් අනුමත කරවා ගැනීම ය. 

බිය වීමට හෝ ප්‍රකෝප වීමට හෝ කිසිදු හේතුවක් නැත. ස්වෛරී ජනතාවගේ අනුමැතියෙන් තොරව එය ක්‍රියාවට නැඟිය නොහැකි හෙයිනි. තීරණය ගනු ඇත්තේ ඇතැමුන් කියන පරිදි රාජ්‍ය නොවන සංවිධාන හෝ විදේශ බලවතුන් විසින් නොවන හෙයිනි.

මේ අතර පාර්ලිමේන්තුවට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වැනි සංශෝධනය හදිසි කටයුත්තක් සේ සලකා සාකච්ඡාවට ගත හැකි ය. එය සම්මත කැරීමෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වනු ඇත. එයින් ව්‍යවස්ථානුකූලව ඒකාධිපතින් බිහිවීමෙහි භව්‍යතාව නැති කළ හැකිය. එසේම එයින් ද්වන්දව බල අධිකාර වැනි අයහපත් ලක්ෂණ පහළ වීම ද මඟහැරිය හැකි ය. 

මුළු රටම එක් මැතිවරණ කොට්ඨාසයක් සේ සැලැකෙන ජනාධිපතිවරණයක ප්‍රචාරක වියදම් සලකන කල එය උත්පත්තියෙන්ම ඇති හැකි අයට, ධනවතුන්ට හෝ ඔවුන්ගේ අනුග්‍රහය ලබන්නවුන්ට හෝ පමණක් වාසිදායක ය. දුප්පතුන්ගේ නියෝජිතයෙකුට එවන් තරගයකට  මුහුණ දීමෙහි ආර්ථික ශක්තියක් නැත. එක් පුද්ගලයකු අත අසාමාන්‍ය බලයක් සහ දැවැන්ත සම්පත් සංකේන්ද්‍රණය කරන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කැරීමෙන් ජනාධිපති මැතිවරණයට වැයවන මුදල් කන්දරාව ද ඉතිරි කැරැ ගත හැකි ය.



අදහස් (10)

තීන්දුවෙන් සත්‍යයට ජවයක්

Deepal Nirosh Thursday, 27 December 2018 07:56 AM

13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීමත් සමඟ අප රටේ ආණ්ඩු ක්‍රමය ලිහිල් සන්ධීය ක්‍රමයක් බවට පරිවර්තනය වී දැනට අවුරුදු 30යි. රටේ භෞමික අඛණ්ඩභාවය මේ ව්‍යවස්ථාව යටතේ රැකිලා තිබෙන්නෙ විධායක ජනාධිපති ක්‍රමය නිසයි. ඉතින් 20වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වුණොත් සිදු වන්නෙ පූර්ණ සන්ධීය ව්‍යවස්ථාවක් බවට පරිවර්තනය වීමයි. එතකොට විධායක ජනාධිපතිවරයෙකුත් නැහැ. ඉතින් උද්ගත වෙන්න පුළුවන් තත්ත්වය නොදැන ද 20 වන සංශෝධනයට මේ වගේ අනුබල දෙන්නෙ?

:       16       193

අනුරFriday, 28 December 2018 02:29 AM

20 වෙනි සංශෝධනයක් තවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නීත්‍යානුකූලව එකතුවී නැති නිසා එය මෙම ලිපියේ ප්‍රස්තූතයට අදාළ නොවේ.

:       60       20

ජයසේකරSunday, 30 December 2018 05:50 PM

ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, කැනඩව සහ බොහො රටවල්විධායක ජනාධිපති නොමැතිව ප්‍රදේශීය රජයන් සහිතව පවතියි

:       1       31

Chathura Jayasinghe Friday, 28 December 2018 03:19 AM

ඓතිහාසික තත්ත්වය සැලකූ විට, ඉතා ශක්තිමත් මාධ්‍යගත පාලනයක් පැවති ප්‍රබල රජවරුන් කිහිප දෙනෙකුගේ පාලන කාලසීමාවන් තුළ හැරුනු විට අතීත ශ්‍රී ලංකාවේ සැමවිටකම ප්‍රාදේශීය පාලකයන් වෙත පුළුල් බලතල පැවරුණු පාලන ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක විය. ඉංග්‍රීසීන් විසින් සිය පාලනය පහසුවෙන් පවත්වාගෙනයාම සඳහා මධ්‍යගත පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමෙන් පසු මහජන ගැටළු උග්‍ර වූ අතර සුලු කණ්ඩායමක් විසින් බොහෝ දෙනෙකු වෙනුවෙන් තීරණ ගැනීම බෙහෙවින් අහිතකර ප්‍රතිවිපාක රැසකට හේතුවිය. විධායක ජනාධිපති ක්‍රමය තුලින් ඇතිවූ ඒකාධිපති පාලන ක්‍රමය තුලින් පසුගිය දශක හතරක් තුළ බහුතර ජනතාවට කිසිඳු සෙතක් අත්වී නොමැත.

:       101       118

ජෝතිරත්න Friday, 28 December 2018 09:45 PM

අධිකරණය ස්වාධීන විය යුතු වුවත්, හැම තීන්දුවක්ම නිවැරදි යයි වහසි බස් දෙඩීම සුදුසු නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන නඩු විභාගයේදී විදේශ රටවල් කීපයක් දැඩි ලෙස මෙම නඩු තීන්දුවට බලපෑම් කල බවට කතා පැතිරුණා. ජනාධිපති ගැසට්ටුව නිකුත් කලේ ඉතා විශාල අධි නීතිඥවරුන්ගේ උපදෙස් අනුව බව හැමෝම දන්නවා. යම් හේතුවකින් ඉහත තීන්දුව අනිත් අතට දුන්නේ නම් ඊනියා බටහිර රටවල් ලංකාවට විරුද්ධව 'යුද්ධ ප්‍රකාශ කිරීමට' සූදානමින් සිටි බවටත් කතා පැතිරුණා. මෙම බෙදුම්වාදී රටවල් ඇගිලි ගැසුවේ නැතිනම් තීන්දුව කුමක් විය හැකිදැයි සැක සහිතයි.

:       68       23

rasika Friday, 28 December 2018 10:35 PM

නිකමට හිතන්න මේ 19 වැනි සංශෝධනය තිබුණානම් යුද්ධය කාලේදී හෝ විධායක ජනාධිපති නොහිටියා නම් මොකද මේ රටට වෙන්නේ කියලා. විධායක ජනාධිපති පත්වෙන්නේ මුලුරටේම ජනගහනයෙන්.., කිසිම ජාති අනුව හෝ පළාත් අනුව බෙදීමකින් තොරව. මහා ජාතිය තවම රැකිලා තියෙන්නේ මේ නිසා. මෙය කෙලින්ම මහජනයාගේ කැමැත්ත අනුව පත්වීමක්. නියම ප්‍රජාතන්ත්‍රවාදය. මෙය ඇමෙරිකාවේත් ක්‍රියාත්මකයි.. හැබැයි පාර්ලිමේන්තුවේ සංයුතිය ඕනෑම වෙලාවක මුදලට හෝ වෙන ඕනෙම ක්‍රමයකට වෙනම කරන්න පුළුවන්. එතකොට අගමැති වෙනස් වෙන්න පුළුවන් රටේ ජනතාව කැමති වුනත් නැතත්. මෙයයි ප්‍රජාතන්ත්‍ර විරෝධී. ලංකාව වගේ රටක බල තුලනයක් අවශ්‍ය වෙනවා වගේම මහජනයාට කෙලින්ම වග කියන කෙනෙක් සිටිය යුතුයි.

:       137       120

Chandima Saturday, 29 December 2018 04:24 AM

මතක තියා ඔය විධායක බලේ අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවට ගියත් එතැනදී ඔය කියන වැරදි සිද්ද වෙනවා. පාර්ලිමේන්තුවේදී බහුතර මන්ත්‍රී ගණන තියෙන කෙනා අගමැති වුණු ගමන් එයාව පාලනය කරන්න කාටවත් බැහැ. තමන්ගේ බහුතරයට විවිධ වරප්‍රසාද දීලා තමන්ට පක්ෂපාති බව රැක ගත්තට පස්සේ ඉතිරි පාර්ලිමේන්තු මන්ත්‍රීලට වෙන්නේ නිකම් කෑ ගහලා වාඩිවෙන්න විතරයි. ජවිපෙ කරන්නේ එ්කනේ... එතකොට අගමැතිට පුළුවන් බැඳුම්කර ආදී වංචාවල් කරලා පාර්ලිමේන්තුවේදී ඒවාට විහිළුකරලා නිකම් ඉන්න. ඇමතිවරුන්ට පුළුවන් පගාවල් අරන් තව පොතුත් ලියලා අන්තිමේදී රියැදුරා ඒවා ගත්තේ මම නෙමෙයි කියලා කිසි කරදරයක් නැතුව ඉන්න. ඔන්න දැන් ජනතාවට නියම ප්‍රජාතන්ත්‍රවාදයක් ලැබිලා තියෙනවා. කරන්න දෙයක් නැහැ. ඊළඟ ඡන්දෙ වෙන කම් මුකුත් බැහැ.

:       0       124

d.upul Saturday, 29 December 2018 01:00 PM

අවුරුදු 70ක් තිස්සේ මාරුවෙන් මාරුවට රට පාලනය කළ ඔය කාට කඩේ ගියත් අපට ඉතිරිවෙන්නේ හිස් ගොට්ට විතරයි.

:       32       11

Lal Wednesday, 02 January 2019 10:09 AM

ශ්‍රේෂ්ඨාධිකරණය මොන තීන්දුව දුන්නත් අගමැතිවරයා නෙරපීම ජනාධිපතිතුමන් ගත් කාලෝචිත ජාතිය ගලවා ගැනීම වෙනුවෙන් ගත් දේශප්‍රේමී පියවරක් බව පැහැදිලියි. ව්‍යවස්ථා විරෝධී වුවත් ජනාධිපතිතුමන් ගත් ඒ තීරණයට අපගේ බලවත් ප්‍රසාදය එතුමන්ට පුදමු. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව බහුතර ජන විඥානයට පටහැනියි. එමෙන්ම විධායක ජනාධිපති ක්‍රමය කෙසේවත් අහෝසි නොකල යුතු මෙන්ම දෙශප්‍රේමී පුද්ගලයෙක්..

:       0       0

Lal Wednesday, 02 January 2019 10:14 AM

ශ්‍රේෂ්ඨාධිකරණය මොන තීන්දුව දුන්නත් අගමැතිවරයා නෙරැපීම ජනාධිපතිතුමන් ගත් කාලෝචිත ජාතිය ගලවා ගැනීම වෙනුවෙන් ගත් දේශප්‍රේමී පියවරක් බව පැහැදිලියි. ව්‍යවස්ථා විරෝධී වුවත් ජනාධිපතිතුමන් ගත් ඒ තීරණයට අපගේ බලවත් ප්‍රසාදය... එතුමන්ට පුදමු. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව බහුතර ජන විඥාණයට පටහැනියි. එමෙන්ම විධායක ජනාධිපතික්‍රමය කෙසේවත් අහෝසි නොකළ යුතු මෙන්ම දේශප්‍රේමී පුද්ගලයෙක් රටේ ජනාධිපති තනතුරට පත්වීම අපගේ ප්‍රාර්ථනාවයි.

:       0       39

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

අධිකරණයට අපහාස: නීතිය - නව පනත විමර්ශනයක්
2025 අප්‍රේල් මස 29 121 0

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 997 5

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 234 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 251 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1978 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 953 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 285 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 79 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1106 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site