IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


උතුම් බුද්ධ පණිවිඩයක් මෙරටට ගෙනාවේ බක්පුර පොහෝ දිනකයි

බක් පුර පසළොස්වක පොහොය අදයි. ලාංකික අපට අද දිනය විශේෂ වන්නේ බුදු පියාණන් වහන්සේ දෙවැනි වරට ලක්දිවට වැඩම කළේ අද වැනි දිනයක වීම හේතු කොටගෙනය. මහාවංසයට අනුව එය සිදුවී ඇත්තේ බුදුවී පස් වසක් ගිය තැනය. එනම් ක්‍රිස්තු පූර්ව 583 දීය. ඒ අනුව බුදුපියාණන් වහන්සේ ලංකාද්වීපයට වැඩමවා අදට අවුරුදු 2602 ක් පිරෙයි.

එදා උන් වහන්සේ අප දේශයේ නාගදීපයට වැඩමවා වදාළේ මැණික් පුටුවක් අරබයා චූලෝදර (බෑනා) මහෝදර (මාමා) නාරදුන් අතර ඇතිවීමට ගිය බිහිසුණු යුද්ධයක් සමනය කර වීමටය. උන් වහන්සේගේ අරමුණ එලෙසින්ම ඉටු වූ බව අපේ ශාසන ඉතිහාසයෙහි සඳහන් වෙයි. චූලෝදර මහෝදර ඇතුළු නාග වංශිකයන් බුදු පියාණන් වැනි ශ්‍රේෂ්ඨ උත්තමයකුගේ වචනයට කන්දී එය පිළිගෙන සාමයෙහි පිහිටි බව එනම් යුද්ධ නොකළ බව සඳහන් වීමෙන් අනාවරණය වන්නේ ඒ නාග වංශිකයන් උසස් ශිෂ්ටාචාරවත් මිනිසුන් පිරිසක් වන බවය.

 ඉන් හෙළිවන්නේ මීට අවුරුදු 2602කට පෙර මේ අප ලංකාද්වීපයෙහි උසස් ශිෂ්ටාචාර ලක්ෂණ ප්‍රදර්ශනය කළ ජන කොට්ඨාසයක්  සිටි බවය. අනෙක් අතට මැණික් ඔබ්බවා සකස් කළ උපකරණ පරිභෝග කිරීමට තරම් එකල ලාංකිකයන් පෙහොසත්ව සිටි බව ද මේ පුවතින් අනාවරණය වෙයි. එහෙත් ඇතැම් පොතේ ගුරන් කියන්නේ අප ශිෂ්ටාචාරවත් වූයේ මහින්දාගමනයෙන් පසු බවය.

 උසස් ශිෂ්ටාචාරයකට හිමිකම් කී එවැනි ජන කොට්ඨාසයක් අතරට බුදු පියාණන් බක් මාසයේදී වැඩම කිරීම ද සුවිශේෂීය. බක් භාග්‍යවත් මාසය ලෙස සැලකෙයි. එය එසේ සැලකෙන්නේ තුරු ලතා මලින් හා ඵල වලින් පිරෙන නිසාය. කෘෂි ආර්ථිකයේ මහිමයෙන් අටුකොටු පිරෙන බැවිනි. ඒ හේතුවෙන් ජනයාගේ සිත් සතන් සොම්නසින් පිරෙන හෙයිනි. සතුටින් සැනසිල්ලෙන් බක් මහ උළෙල පවත්වන බැවිනි.

 බක් මහේ නව සඳ දැකීම ද සුවිශේෂ සුදුසුකමකි. එහෙත් එය මහල්ලන්ට නොව තරුණයන්ටය. අටවැනි සියවසේ අග භාගයේ එනම් මීට අවුරුදු 1300කට පමණ පෙර සීගිරිගාමි තරුණයකු සීගිරි පව්වෙහි ඒ වග සටහන් කර තිබෙන්නේ මෙලෙසිනි.

“අඟනිනි අත්සලව් - මේ ගී පොහොන්නෙක් නැති ද 
නව බග් ළසන්ද් දුට් - මිනිසක්හු නො වජන්නෙයි”
කතුනි මගේ මේ ගීය තොප රුව වැනීමට තරම් පොහොසත් නොවේ. එහෙත් මම බක් මහේ නව ළසඳ දැක තොප බැලීමට මෙහි පැමිණි තරුණයෙක්මි. එහෙයින් ප්‍රතික්ෂේප නොකර මා පිළිගනිව්.”

බක් මහේ නව ළසඳ දුටු මිනිසෙක් එය පුර සඳ නොව අඬ සඳය කියමින් අවමන්කොට බැහැර නොකරයි. ආදරයෙන් දෑත් ඔසවා ඒ දෙස බලා ප්‍රීති වෙයි. මීට අවුරුදු 1300කට පමණ පෙර සීගිරි ගිය ඒ තරුණයා ද එලෙසම ප්‍රීති වෙයි.

අලුත් අවුරුදු චාරිත්‍රයක් වන නව සඳ බැලීම අටවැනි සියවසේ පවා මෙරට පැවැති බව මේ සීගිරි ගීයෙන් අනාවරණය වෙයි. අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මෙදා නව සඳ බැලීමට නියමිතව තිබුණේ අප්‍රේල් හත්වැනි ඉරිදාය. ඒ “නව බග් ළසද්” දුටු වහාම පියකරු මුහුණක් දෙස බලා පැණි රසක් විඳීම එදා අපේ සිරිත විය. එහෙත් දැන් ඒ දේවල් එලෙස කළ නොහැකිව තිබෙන්නේ කලට වැසි නොවැස ගහකොළ මලින් ඵලින් නොපිරී අටුකොටු ද නොපිරෙන හෙයිනි. දහමට අනුව නම් ඒවා එලෙස වන්නේ රජු දැහැමි නොවන හෙයිනි.

“දේවෝ වස්සතු කාලේන - සස්ස සම්පත්ති හෝතුච 
පීතෝ භවතු ලෝකෝච - රාජා භවතු ධම්මිකෝ” යි 

මේ දිවයිනේ තහවුරු වූ දහමෙහි සඳහන් වන්නේ එහෙයිනි. දහමේ රැකවරණය දැහැමියාටම ලැබෙන හෙයින් (ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී) කලට වැසි නොවසින්නේත් ගහකොළ මලින් ඵලින් බර නොවන්නේත් අටුකොටු නොපිරෙන්නේත් අදැහැමිකමේ ආනිසංස ලෙසැයි කෙනෙකුට උපකල්පනය කළ හැකිය.

බක් මහ චාරිත්‍ර දහම සමඟම යන්නේ ගසට පොත්ත සේය. පැවැති අමනාපකම් අමතක කර වැඩිහිටියන් වැඳීම හා පිදීම ද මේ අවුරුදු සමයේ සිදුවන චාරිත්‍රයකි. ඒ චාරිත්‍ර එසේ සිදුවන්නේ වැරදි නැත්තේ කාගෙද, අමතක  නොවන්නේ කාට ද, සෑම දිනකම මනා සිහියෙන් යුක්තව කටයුතු කරන්නේ මොන පණ්ඩිතයා දැයි අපේ සමාජය පිරිසිඳ දන්නා බැවිනි. එය අප රටේ පවතින ධර්මතාවයකි. ඒ ධර්මය සමාජ ගත වූයේ බුද්ධ දේශනයෙනි. සංයුක්ත නිකායේ උජ්ඣාන සඤ්ක්‍දී සූත්‍රයෙහි ඒ ධර්මය මෙසේ සඳහන් වෙයි.

“කස්සච්චයා න විජ්ජන්ති - කස්ස නත්ථි අපාගතං 
කෝ න සම්මෝහ මාපාදි - කෝච ධීරෝ සදා සතෝ’

 බුදුදහම වෛරය වර්ධනය කරන දහමක් නොව මෛත්‍රිය වර්ධනය කරන දර්ශනයක් බවත් සමාජ සහජීවනයට බර තබන දහමක් බවත් මෙරට සිංහලයන් හා බෞද්ධයන් සමඟ දිවිගෙවන දෙමළ හා මුස්ලිම් ජාතිකයෝත් හින්දු, ඉස්ලාම්, කතෝලික හා ක්‍රිස්තියානි ආගමික නායකයෝත් පුන පුනා පවසති. ඒ විවිධත්වය තුළ ඒකීයත්වය ගොඩනැගීම රටේ ආණ්ඩු කරන මිනිසුන්ගේ වගකීමක, කාර්යභාරයකි. එය ඔවුනට අත්හළ නොහැකි හා අන්සතු කළ නොහැකි වගකීමකි. ඒ වගකීම් ඉටු කිරීමට ඉවහල් වන ප්‍රායෝගික පියවර ගැනීමට අවශ්‍ය නැණ-නුවණ බෞද්ධ අබෞද්ධ සැමට පහළ වේවායි ඒ අමා මෑණියන් වහන්සේ දෙවැනි වරට මෙරටට වැඩමකොට අවුරුදු 2602 ක් පිරෙන අද දවසේ අපි ප්‍රාර්ථනා කරමු. බුදු පියාණන් දෙවැනි වරට මෙරට පැමිණියේ ද ඒ අරමුණෙනි. එනම් ගැටුම් නවතා සහජීවනය ගොඩනැගීමේ පරම අරමුණෙනි. ඒ මඟ යාම පාලක පාලිත දෙපාර්ශ්වයේම වගකීමකි. උතුම් බුද්ධ පූජාව ද එයම වන්නේය.

 



අදහස් (0)

උතුම් බුද්ධ පණිවිඩයක් මෙරටට ගෙනාවේ බක්පුර පොහෝ දිනකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1765 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1449 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site