ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට හිතකාමී කෘෂි අපනයන වටිනාකම් දාම ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ GEF-07 ව්‍යාපෘතියේ ප්‍රධාන ක්‍රියාකාරී සහකරු වන Janathakshan GTE Ltd ආයතනය අතර උපායමාර්ගික සහයෝගීතාවක් සඳහා වන අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කරන ලදී.
ජෛව විවිධත්වය සංරක්ෂණය, තිරසාර ඉඩම් කළමනාකරණය සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන ජීවනෝපාය සම්බන්ධ මෙම සහයෝගීතාව සඳහා වන ගිවිසුමට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ සහ Janathakshan GTE Ltd  ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ජනක හේමතිලක යන මහත්වරු අත්සන් තැබූහ.
මෙම වැඩසටහන පරිසර අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ඒකාබද්ධව ක්‍රියාත්මක කරන, “Partnerships and Innovative Financing to Mainstream Biodiversity and Sustainable Land Management in the Wet Climatic Zone of Sri Lanka” ලෙස නිල වශයෙන් නම් කර ඇති GEF-07 ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයකි. මෙම ව්‍යාපෘතිය කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක හය කේන්ද්‍ර කරගනිමින් ජෛව විවිධත්වය සංරක්ෂණය, තිරසාර ඉඩම් කළමනාකරණය සහ ග්‍රාමීය ජීවනෝපාය නංවාලීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.
මෙම අවබෝධතා ගිවිසුම යටතේ දෙපාර්ශවයම ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සහයෝගයෙන් කටයුතු කිරීමට එකග  වී ඇති අතර, ඒ යටතේ ව්‍යාපෘතියෙන් සහාය ලබන නිෂ්පාදක කණ්ඩායම් සහ ලියාපදිංචි අපනයනකරුවන් අතර වෙළෙඳපොළ සබඳතා ඇති කිරීම මෙන්ම වෙළෙඳ ප්‍රදර්ශන සහ අපනයන ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වීමට අවශ්‍ය සහාය ලබා දීමට නියමිතය. මීට අමතරව, නිෂ්පාදකයන්ට ජාත්‍යන්තර අපනයන ප්‍රමිතීන්ට අනුකූල වීම පිළිබඳ මගපෙන්වීම් ලබා දීම, කිතුල් සහ ගම්මිරිස් වැනි ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදන සඳහා භූගෝලීය දර්ශක (GI) සහතිකය ලබා ගැනීම සහ නිෂ්පාදක සමිති සඳහා පොකුරු මට්ටමේ සහතික කිරීමේ රාමු සකස් කිරීම කෙරෙහි ද මෙහිදී සුවිශේෂී අවධානයක් යොමු කෙරේ