බාල පොහොරක් තේ ගසට දාලා කොහොමද තේ දලු නිෂ්පාදනය වැඩි කරන්නේ
තේ කර්මාන්තය කඩා වැටුණොත් රටේ ආර්ථිකයත් කඩා වැටෙනවා
කිව්ආර් කෝඩ් එකට දෙනවයි කියන යූ 709 තේ පොහොරවල යූරියා ප්‍රමාණය වැඩියි
තේ වගාවට යු 709 තේ පොහොර භාවිත කිරීම යෝග්‍ය නැහැ කියලා තේ පර්යේෂණ ආයතනය නිර්දේශය දුන්නේ 2016 වර්ෂයේදී
සහනාධාර ලෙස බාල පොහොර දෙනවනම් තේ වගාකරුවන් විදිහට අනිවාර්යයෙන්ම මේකට විරුද්ධ වෙනවා
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
තේ කර්මාන්තය අද රටේ ප්‍රධාන කර්මාන්තවලින් එකකි. එය රටට විදේශ විනිමය ගෙන දෙන දැවැන්ත කර්මාන්තයක් යයි කීවොත් එහි කිසිවැරැද්දක් නැත. ඒ නිසාම රටේ තේ කර්මාන්තයට ලැබී ඇති තැන මෙන්ම ලබාදෙන තැනද ඉහළය. රටට විදේශ විනිමය ගෙනදීම පමණක් නොව රටේ දසදහස් ගණනකගේ රැකියාව රැදී ඇත්තේද මේ කර්මාන්තය නිසාවෙනි.තේ කර්මාන්තය දියුණු වෙන්නේනම් එය රටේත් දියුණුවය. තේ කර්මාන්තය වැටෙන්නේ නම් එය රට ආපස්සට යාමකි. මේ නිසාම තේ කර්මාන්තය පිළිබඳව අවධානයෙන් සිටින පිරිස බොහෝ වෙති.
පත්වූ සෑම රජයක්ම තේ කර්මාන්තය දියුණු කිරීමට යයි කියමින් එක එක ව්‍යාපෘති දියත් කරයි. ඒ ව්‍යාපෘතිවලින් තේ කර්මාන්තය දියුණු වන ව්‍යාපෘති නැත්තේද නොවේ. බොහෝ ඒවා තේ කර්මාන්තයේ දියුණුව නොව වළට වැටෙන ව්‍යාපෘතිය.
තේ කර්මාන්තය ගැන කතා කරනවිට ඊට යොදන පොහොර ගැන කතා නොකරම බැරිය. පොහොර නැත්නම් තේ නැත. මේ නිසාම තේ ගොවීහු තමාගේ තේ වගාවට යොදන පොහොර ගැන උනන්දු වෙති. තේ ගසට හොඳ පොහොර යෙදුව හොත් ලැබෙන අස්වැන්න හොඳය. ඒ සඳහා තේ පොහොර ප්‍රමිතියෙන් යුක්ත විය යුතුය.
ලංකාවේ තේ කර්මාන්තය නංවාලීමට රජය මගින් තේ ගොවීන්ට සහනාධාර ක්‍රමයට තේ පොහොර ලබාදීමට පියවර ගෙන තිබේ. මෙවර තේ ගොවීන්ට සහනාධාර තේ පොහොර නිකුත් කිරීමට අලුත් ක්‍රමයක් අත්හදා බලමින් සිටී. ඒ කිව්ආර් සංකේතයක් භාවිත කරමිනි. ප්රශ්නය නම් එය නොවේ. කිව්ආර් සංකේතය අනුව රජය තේ ගොවීන්ට ලබාදීමට අපේක්ෂා කරමින් සිටින පොහොර පිළිබඳවය. තේ ගොවීන්,තේවතු හිමියන්,සහ තේ කර්මාන්තයට සම්බන්ධතාවක් ඇති අය රජය සමග සීතල යුද්ධයකට පැටලීමට අරඅදිමින් සිටිති. එයට වස්තු බීජයවී ඇත්තේ රජය මගින් සහනාධර ක්‍රමයට ලබාදෙන පොහොර බාලවීමය. තේ වගාවට යෝග්‍ය නොවීමය.
වතු හිමියන්ගේ සංගමයේ ලේකම් උෂාන් සමරසිංහ: කිව්ආර් ක්‍රමයට ලබාදීමට අපේක්ෂිත සහනාධාර පොහොර ප්‍රමිතියෙන් තොරයි කියලා අපි වගකීමෙන් කියනවා. මේ පොහොර තේ වගාවට යෝග්‍ය නැහැ. මේක අපි නෙමෙයි කියන්නේ. තේ වගාව පිළිබඳව, තේ වගාවට අවශ්‍ය පස ගැන දන්න විශේෂඥයොයි කියන්නේ. අපි වතු හිමියන්ගේ සංගමය හැටියට මේ උත්සාහ කරන්නේ මේ ව්‍යසනයෙන් තේ වගාව බේරා ගැනීමටයි. අපි තේ වගාවට අදාළ රාජ්‍ය ආයතන සියල්ලටම පාහේ මේ පිළිබඳව වාචිකව සහ ලිඛිතව දැනුම් දුන්නා. මේ අවනඩුව ගැන ලිපි දෙන්න ඕන හැමකෙනකුටම දුන්නා. ඒත් තවම එයට විසඳුමක් ලැබිලා නැහැ. මේ ප්රශ්නය විසඳන තෙක් අපි සංගමයක් හැටියට ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට වෙන්නේ නැහැ.
රජය විශාල වශයෙන් තේ කර්මාන්තය ගැන බලාපොරොත්තු රඳවාගෙන තියෙනවා. එහෙත් රජය රටේම තේ දලු නිෂ්පාදනය කිරීමට ලකලැහැස්ති වෙන වෙලාවක තේ වගාවට සහනාධාරයක් ලෙස බාල පොහොරක් ලබාදීමට නිර්දේශ කිරීම සංගමයක් විදිහට අපිට අනුමත කරන්න නම් බැහැ. බාල පොහොරක් තේ ගසට දාලා කොහොමද තේ දලු නිෂ්පාදනය වැඩි කරන්නේ. තේ වගාවේ යම් පසුබෑමක් වුණොත් එය යළි නිවැරදි කර ගන්නවා කියන එක බොරු. රටේ තේ කර්මාන්තය කඩා වැටුණොත් ආර්ථිකයත් කඩා වැටෙනවා. අපි සංගමයක් හැටියට බලධාරීන්ගෙන් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන් වතු ඇමතිගෙන්, ජනාධිපතිගෙන් ඉල්ලා සිටිනවා මේ තේ ගැටලුවට හැකි ඉක්මනින්ම මැදිහත්වී එය විසඳන්න කියලා.
නෙලුව ප්‍රදේශයේ තේ වතු හිමියකු වන අනුර සේනානායක: කිව්ආර් කෝඩ් එකට දෙනවයි කියන යූ 709 තේ පොහොර මම මගේ තේ වහාවට දාන්නේ නැහැ. ඒ පොහොරවල යූරියා ප්‍රමාණය වැඩියි. තේ ගසට යූරියා වැඩිය අවශ්‍ය නැහැ. හොඳ තේ දල්ලක් ගන්න හොඳ තේ පොහොර යොදන්න ඕන බව තේ නිලධාරීන්ට අමුතුවෙන් කියන්න ඕන නැහැ. සහනාධාරයට බාල පොහොර වර්ගයක් නිර්දේශ කරනවා කියන්නේ මහා බාල වැඩක්. භාවිතයෙන් ඉවත් කරල තියෙන පොහොරක් සහනාධාරයක් වශයෙන් දෙනවා කියන එක ගැන දෙපාරක් හිතන්න වෙනවා. මේක හරියට ලෙඩ්ඩුන්ට බාල බෙහෙත් ගෙනැල්ලා දෙනවා වගේ වැඩක්. බාල පොහෝර යෙදුව හොත් රටේ තේ වගාවේ හෙට දවස අභාග්‍ය සම්පන්න වේවි. සහනාධාර පොහොර භාවිත කරලා තේ අස්වැන්න අඩුවුණාට පස්සේ ඒ ගැන පරීක්ෂණ තියලා නිලධාරීන්ට, බලධාරීන්ට දඩුවම් දීලා වැඩක් නැහැ. මේ පිළිබඳ අවධානය යොමු කළේ නැත්නම් රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ඇහිරේවී. සිය දහස් ගණනකට රැකියාව නැති වේවි.
වතු හිමියන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක, විශ්‍රාමික තේ නිලධාරී අශෝක හේවාවසම්: තේ වගාවේ මහ ගෙදර තේ පර්යේෂණ ආයතනයයි. ඒ ආයතනය තමයි දන්නේ තේ ගහට කාලයෙන් කාලයට යෝග්‍ය පොහොර වර්ග මොනවද කියලා. ඒ ආයතනය එසේ කියන්නේ අපේ පස ගැන පර්යේෂණ පවත්වලා. ඒ නිසා අපි තේ වගාවට භාවිත කළ යු 709 තේ පොහොර භාවිත කිරීම යෝග්‍ය නැහැ කියලා නිර්දේශ කරලා තියෙනවා. එම ආයතනය මේ නිර්දේශය ලබා දුන්නේ 2016 වර්ෂයේදීයි. තේ පර්යේෂණ ආයතනය එහෙම කියලා තියෙද්දීත් රජයේ සහනාධාරයක් වශයෙන් යූ 709 තේ පොහොර කිව්ආර් සංකේතය මගින් ලබාදීම රජය කරන විශාල වැරැද්දක්. හොඳ තේ දල්ලක් නැතිව කොහොමද තේ කර්මාන්තය කරගෙන යන්නේ.
සහනාධාරයක් වශයෙන් දීමට නිර්දේශ කරලා තියෙන යූ 709 තේ පොහොර තේ වගාවට භාවිත කළොත් අනිවාර්යයෙන්ම තේ දලු අස්වැන්න අඩුවෙනවා. මේ වනවිට තේ කර්මාන්තයේ විශාල ගැටලු තියෙනවා.ඒ ගැටලු අතරට පොහොර ප්‍රශ්නයත් ආවොත් දැනට යම් සාධනීය මට්ටමකින් කරගෙන යන තේ කර්මාන්තය යළි ගොඩගන්න බැරි විදිහට වැටේදෝයි බියක් දැන් අපිට තියෙනවා.
පහත රට වතු හිමියන්ගේ සභාපති කේ. පී. සරත්: හරිහමන් පොහොරක් නැතිව අපි තේ කර්මාන්තය කරගෙන යන්නේ කොහොමද? දැනටමත් තේ කර්මාන්තයේ තියෙන කම්කරු හිඟයට පිළියමක් වශයෙන් අපි පවුලේ අය එකතුවෙලා තමයි අපේ වතුවල තේ දලු ටික නෙළාගන්නේ. හොඳ පොහොර තියෙද්දී රජය සහනාධාර ලෙස බාල පොහොර දෙනවනම් අපි තේ වගාකරුවන් මේ පොහොර ඉක්මනින්ම දිය වෙනවා. පසට දැම්මත් ඒ දේමයි සිද්ධ වෙන්නේ. බලධාරීන්ට, නිලධාරීන්ට මේ ගැන නොතේරෙන්නේ ඇයි? මෙයාලා අපිට තේ වගාව එපා කරවනවා.
පහත රට වතුකම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ: සීත කාමරවල ඉන්න නිලධාරීන් කරන වැඩ නිසා තේ කර්මාන්තය දිනෙන් දිනම පරිහානිය කරා යනවා. තේ වතු හිමියන්ගේ සහ තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ ඇපකැපවීම මතයි තව දුරටත් තේ කර්මාන්තය අපේ රටේ රැදිලා තියෙන්නේ. ඒ මිනිස්සුයි තේ වගාව ගැන දන්නේ. කුඩා තේවතු සංවර්ධන අධිකාරියෙන් තේ දලු නෙළන හැටි කියා දෙමින් රටවටේම යනවා. ඒ අය දන්නේ නැහැ තේ දලු නැතිවුණාම කොහොමද කියලා තේ දලු නෙළන්නේ. හොඳ තේ දල්ලක් ගන්න නම් හොඳ පොහොර භාවිත කළ යුතුමයි. යූ 709 පොහොර තේ වගාවට හොඳ නැහැ කියලා තේ වගාවට සම්බන්ධ නිලධාරීන් නොදන්නවා වුණාට අපේ කම්කරුවනුත් දන්නවා.
පහත රට වතුකම්කරුවන්ගේ සංගමයේ ලේකම් යසස් පණ්ඩිතරත්න: සහනාධාරයක් ලෙස රජය තේ ගොවියාට බාල පොහොර දෙන්න යනවානම් සංගමයක් විදිහට අපි එය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. රජය බලන්න ඕන මේ බාල පොහොර තේ වගාවට යොදන්න කාටද වුවමනා කියලා. එක එක්කෙනාගේ පෞද්ගලික න්‍යාය පත්රවලට වැඩ කරන්න ගියොත් තේ වගාව නෙමෙයි රටත් වැටෙනවා. තේ වත්තට පොහොර දාන අපේ කම්කරුවනුත් කැමැති නැහැ මේ යු 709 පොහොර දාන්න.
අප මේ සම්බන්ධයෙන් වතු වගාවට සෘජු සම්බන්ධතාවක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතාගෙන් විමසීමක් කළ විටදී ඒ මහතා මෙසේ ද කීය.
මමත් වතු කර්මාන්තයට සම්බන්ධ කෙනෙක්. වතු කර්මාන්තයට ගැටලු තියෙන බව පිළිගන්නවා. විශේෂයෙන්ම මම තේ වගාවට යොමුවෙච්ච කෙනෙක් විදිහට මේ ප්රශ්නය වෙනුවෙන් මාත් පෙනී සිටිනවා. මේ ප්රශ්නය වතු ඇමතිතුමාගේ අවධානයට යොමු කරන්න කටයුතු කරනවා.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
සහනාධාර පොහොරවලින් තේ කර්මාන්තය කඩා වැටේද ?