IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සල්ලි වැඩිකරගෙන ප්‍රකෝටිපතියෙකු වෙමුද ?

කොටස් වෙළෙඳපො​ෙළ් ආයෝජනය

ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ සම්බන්ධයෙන් වර්තමානයේ පවතින තත්වය පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සකස් කළ ලිපියකි. 
ඉහත සඳහන් කර ඇති මාතෘකාව දෙස බැලූ විට එය සාමාන්‍ය මහජනයාට හෝ එසේත් නැත්නම් තම අනාගතය සරුසාර කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයකුට ඉතා ආකර්ෂණීය මාතෘකාවක් වනු නිසැකය. මක්නිසාද යත්, ඕනෑම පුද්ගලයකුගේ බලාපොරොත්තුව ඉතා සාර්ථක ජීවිතයක් ගත කිරීමය. ඒ සඳහා එක් අංගයක් ලෙස මුදල් අවශ්‍ය වන අතර, කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කර ඔබේ මුදල් සිය ගුණයකින් වැඩිකර ගෙන ප්‍රකෝටිපතියකු වීමට හැකි යැයි යම් අයකු ඔබට බලාපොරොත්තුවක් දුනහොත් ඔබ ඒ පිළිබඳව දෙවරක් නොසිතනු ඇත. 
ශ්‍රී ලංකාවේ මේ දිනවල ඉහළ ප්‍රතිලාභයක් ලබාදෙන ආයෝජන මාර්ගයක් වන්නේ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනයයි. පසුගිය වසරේදී ආයෝජකයන්ට කොටස් වෙළෙඳපොළ ලබා දී ඇති ප්‍රතිලාභය සියයට 50 ක් වන අතර ඊට පෙර වසරේ ලබාදුන් ප්‍රතිලාභය සියයට 25 කි. මෙහිදී ප්‍රතිලාභය වශයෙන් හඳුන්වනු ලබන්නේ කොටස් වෙළෙඳපොළ සියලු‍ කොටස් මිල දර්ශකයෙහි (ASPI) ඉහළයාමය. 
ඕනෑම ආයෝජන මාර්ගයකට එකිනෙකට සාපේක්ෂව අවදානමක් මෙන්ම ප්‍රතිලාභයක් ද ඇත. කොටස් වෙළෙඳපොළ ආයෝජනයෙහිද අවදානමක් ඇත. එමෙන්ම ඉහළ ප්‍රතිලාභයක්ද ලබාදෙන ආයෝජන මාර්ගයකි. කිසිම ආයෝජනයක ඇති අවදානම බැහැර කළ නොහැක. අවදානම අවම කර ගැනීමට කොටස් වෙළෙඳපොළ ආයෝජකයන්ට විවිධ ක්‍රියාමාර්ග ගත හැක. එනම් එකම සමාගමක කොටස් මිලදී නොගැනීම, ව්‍යාපාර ක්ෂේත්‍ර කිහිපයක කොටස් මිලදී ගැනීම, අනවශ්‍ය ලෙස ණය වී කොටස් මිලදී නොගැනීම, දිගුකාලීන අරමුණු මත පිහිටා කොටස් මිලදී ගැනීම, කාර්යක්ෂමතාව අතින් ඉහළ සමාගම්වල කොටස් මිලදී ගැනීම වැනි දෑ කොටස් වෙළෙඳපොළෙහි ඇති අවදානම අඩුකර ගත හැකි මාර්ග කිහිපයකි. මේ කුමන දේ අනුගමනය කළත්, විවිධ කාරණා හේතුවෙන් කොටස් වෙළෙඳපොළෙහි උච්චාවචන ඇති විය හැකිය. උදාහරණ ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිවේදනය කර ඇති වෙළෙඳ බදු ලොව කොටස් වෙළෙඳපොළ බොහෝමයකට සෘණාත්මකව බලපා ඇත. මෙම බදු ක්‍රියාත්මක වුවහොත් අපගේ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගම් කිහිපයකටද එය සෘණාත්මකව බලපානු ඇත. එනමුත් බොහෝ සමාගම්වලට එය සෘජු බලපෑමක් නොමැත. 
කොටස් වෙළෙඳපොළේ ඇතිවී තිබෙන ඉහළයාම හේතුවෙන්, මේ දිනවල හතු පිපෙන්නාක් මෙන් විවිධ යු ටියුබ් චැනල්, FB ගිණුම් සහ අනෙකුත් සමාජ මාධ්‍ය කොටස් වෙළෙඳපොළේ ආයෝජනය පිළිබඳව විවිධ තොරතුරු ලබාදීමට පටන් ගෙන තිබේ. සමහර අය කොටස් වෙළෙඳපොළ පිළිබඳව දේශන පවත් වන අතර, තවත් සමහර අය යූ ටියුබ්, ටික් ටොක් හා FB ගිණුම් ඔස්සේ විවිධ වීඩියෝ පළකරති. මෙවැනි සමහර වීඩියෝවල ඔවුන් කතා කරනු ලබන්නේ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කර ප්‍රකෝටිපතියකු වීම ගැනය. එසේත් නැත්නම් ඔවුන් පවසන්නේ ඔබට බිලියනපති දැනුම නොමිලේ ලබා දෙන බවය. තවත් සමහරු කොටස් වෙළෙඳපොළේ සුළු මුදලක් ආයෝජනය කර එය සිය ගුණයකින් වැඩිකර ගන්නා ආකාරය පිළිබඳව ඔබට කියා දෙන බව පවසති. තවත් සමහර යූ ටියුබ් චැනල් පවසනු ලබන්නේ කොටස් වෙළෙඳපොළෙහි ලක්ෂ දෙකහමාරක් දමා එය දහස් ගුණයකින් වැඩිකර ගෙන ඔබගේ පැය 8 ½රැකියාවට තිත තබන ආකාරයයි. මෙවැනි ආකාරයේ සමාජ මාධ්‍ය හරහා ඔබට තොරතුරු ලබාදෙන පුද්ගලයන් ඔබව සෘජුවම නොමඟ යැවීම සිදු කරනු ලබයි. කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කර ප්‍රකෝටිපතියකු වීමට ඔවුන් දන්නේ නම් ඔවුන් එසේ සිදු නොකර ඔබට ඒ දැනුම ලබා දෙන්නේ ඇයි දැයි ප්‍රශ්නයකි. 
එමෙන්ම මෙවැනි වගකීම් විරහිත සමාජ මාධ්‍ය හැසිරීමෙන් මහජනයා නොමඟ යැවීම සිදු කරන අතර, කොටස් වෙළෙඳපොළ පිළිබඳව ලබා දෙන්නේ වගකීම් විරහිත පින්තූරයකි. කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය යනු, අප කලින් සඳහන් කළ ආකාරයට අවදානමක් ඇති එමෙන්ම, ඉහළ ප්‍රතිලාභ ලබාගත හැකි ආයෝජන මාර්ගයකි. කොටස් වෙළෙඳපොළහි ආයෝජනය කරන කිසිවකුට සියයට 100 ක් ස්ථිර ප්‍රතිලාභ ලබා ගත හැකි බව කිව නොහැක. නැණවත්ව ආයෝජනය කළහොත් ඉහළ ප්‍රතිලාභ ලබා ගත හැකි අතර, එය කොතරම් දැයි කිසිවකුට නිශ්චිතව පැවසිය නොහැක. එමෙන්ම නිසි දැනුමකින් තොරව සහ වගකීම් විරහිතව ආයෝජනය කර තිබුණහොත් කොටස් වෙළෙඳපොළ ආයෝජනයෙන් සමහර අයට අලාබ ලැබිය හැකි බවද සිහියේ තබා ගත යුතුය. අප ඉහත සඳහන් කළ වීඩියෝ මගින් ආයෝජකයන්ට ලබා දෙන්නේ එවැනි වගකීම් විරහිත අසත්‍ය තොරතුරුය. ඔවුන් සිදුකරන්නේ මහජනයා අනවශ්‍ය ලෙස උසිගන්වා ඔවුන් අමාරුවේ දැමීමකි. 
කොටස් වෙළෙඳපොළ ආයෝජනයට සම්බන්ධ වන ආයෝජකයන් මෙවැනි සමාජ මාධ්‍ය පිළිබඳව ඉතා අවදියෙන් සිටිය යුතුය. මෙවැනි අසත්‍ය තොරතුරු ලබාදෙන සමාජ මාධ්‍ය පරිහරණය කිරීමෙන් සිදු වන්නේ, එවැනි සමාජ මාධ්‍යවලට රීච් (Reach) වැඩි වී ඔවුන්ගේ ආදායම වැඩිවීම පමණි. ඔවුන් කරනු ලබන්නේ මහජනයා ගොනාට අන්දා තමන්ගේ ආදායම තර කර ගැනීම පමණි. එසේත් නොමැතිව මෙවැනි වීඩියෝ නරඹා ආයෝජනය කළ ආයෝජකයන් කොතරම් අමාරුවේ වැටේ දැයි ඔවුන්ට වගක් නැත. එමෙන්ම මෙසේ දේශන සහ වීඩියෝ ඉදිරිපත් කරන පුද්ගලයන් කොටස් වෙළෙඳපොළට කරන්නේ බරපතළ හානියකි. 
ආයෝජකයන් මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන ප්‍රාග්ධන වෙළෙඳපොළ සහතික පත්‍ර පාඨමාලාව (CCM) සමත් වී, එමෙන්ම වසරකට අධික කාලයක් කොටස් තැරැව්කාර ආයතනයක සේවය කර ඇති ලියාපදිංචි ආයෝජන උපදේශක (RIA) සහතික ලත් අයට පමණක් කොටස් වෙළෙඳපොළ පිළිබඳව අවශ්‍ය පුරෝකථන, සමාගම් කොටස් මිලදී ගැනීමේ සහ විකිණීමේ නිර්දේශ ලබා දිය හැකි බවය. එසේ නොමැතිව එවැනි පුරෝකථන, නිර්දේශ ලබාදුන් අයට එරෙහිව, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත උල්ලංඝනය කිරීම පිළිබඳව, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මගින් නීතිය ක්‍රියාත්මක කරනු ඇත. 
උදාහරණ ලෙස මෙම මස මුලදී ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මගින් සමාජ මාධ්‍ය වැරැදි ලෙස මෙහෙය වූ ආයතනයකට සහ එහි අධ්‍යක්ෂකවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් පියවර ගනු ලැබිණි. නැවතත් එවැනි වැරැදි නොකරන ලෙස ඔවුන්ට අවවාද කළ අතර, මීට පෙරද අවස්ථා කිහිපයකදී නිවැරැදි ලෙස සමාජ මාධ්‍ය භාවිත නොකළ අයට අවවාද ලබා දී ඇත. එමෙන්ම කොටස් වෙළෙඳපොළ නීති රීතී උල්ලංඝනය කිරීම හේතුවෙන් වරදකරුවන් වූ පුද්ගලයන් කවුරුන්ද, ඒ අය සිදුකළ වරද කුමක්ද යනාදී සියලු‍ විස්තර ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා වෙබ් අඩවියෙහි “Investigations & Enforcement” කොටසෙහි සවිස්තරව දක්වා ඇත. 
කොටස් වෙළෙඳපොළ පිළිබඳව සියලු‍ම මාධ්‍ය මගින් පළවන දෑ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මගින් නිබඳව නිරීක්ෂණයට ලක් කෙරෙන අතර, එවැනි දෑ වැරදි ලෙස හැසිරවීමෙන් යම් අයකු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත හෝ අදාළ නීති රීති උල්ලංඝනය කළහොත් ඔවුනට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වගකීමකි. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙහි එක් වගකීමක් වන්නේ ආයෝජකයන්ගේ අයිතීන් ආරක්ෂා කර සාධාරණ හා පාරදෘශ්‍ය වෙළෙඳපොළක් පවත්වාගෙන යාමයි. එබැවින් නිවැරැදි තොරතුරු ආයෝජකයා වෙත ලබා දීම, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ, කොළඹ කොටස් හුවමාරුවේ සහ කොටස් තැරැව්කාර සමාගම්වල යුතුකමකි. 
මෙහිදී අවසන් වරට සඳහන් කළ හැකි කරුණ වන්නේ කොටස් වෙළෙඳපොළට සම්බන්ධ වන ඕනෑම පුද්ගලයකුට ඒ පිළිබඳව වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම්, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, කොළඹ කොටස් හුවමාරුව හෝ කොටස් තැරැව්කාර සමාගම්වලින් එම තොරතුරු ලබාගත හැකි බවයි. තවද, වර්තමානය වන විට කොළඹ කොටස් හුවමාරුව ශ්‍රී ලංකාවේ සෑම පළාතක්ම ආවරණය වන ආකාරයට සිය ශාඛා ජාලය පුළුල් කර ඇති අතර, එම ශාඛාවලට පිවිසීම මගින් හෝ එම ශාඛාවලට කතා කිරීම මගින් ඕනෑම ආයෝජකයකුට අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, කොළඹ කොටස් හුවමාරුව සහ කොටස් තැරැව්කාර, සමාගම් තම සමාජ මාධ්‍ය ගිණුම් සක්‍රීයව පවත්වාගෙන යනු ලබන අතර, එමගින්ද ආයෝජකයන්ට කොටස් වෙළෙඳපොළ ආයෝජනය සම්බන්ධ තොරතුරු ලබා ගත හැකිය. මෙවැනි නීතිමය රාමුවක් සහිත ආයතන සමඟ එක්ව නිවැරදි තොරතුරු ලබාගෙන ආයෝජනයෙහි නිරත වීම ආයෝජකයන්ගේ ප්‍රගතියට හේතු වනු ඇත.



අදහස් (0)

සල්ලි වැඩිකරගෙන ප්‍රකෝටිපතියෙකු වෙමුද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site