IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සංචාරක පැමිණීම් ලක්ෂ 10 ඉක්මවයි

 

  • සංචාරක කර්මාන්තය “සංචාරක ආර්ථිකයක්” බවට ගොඩනැගීමේ අරමුණක් 
  • සංචාරකයකුගෙන් ඩොලර් 100ක් ලැබුණොත්, ඉන් ඩොලර් 50ක් හෝ 60ක් රටින් පිටට
  • රටවල් 39කට සංචාරක වීසා නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළක් 
  • සාගර ආශ්‍රිත සංචාරක කර්මාන්තය සහ අභ්‍යන්තර ගුවන් සේවා දියුණු කිරීම පිළිබඳ අවධානය

භානුක අමරසිංහ 


සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති 
බුද්ධික හේවාවසම්

මාස පහකදී සංචාරකයන් ලක්ෂ 10ක් මෙරටට පැමිණෙමින් ඉතාමත් සාර්ථකව ඉදිරියට ඇදෙන සංචාරක කර්මාන්තය, රටේ සියලු‍ දෙනාට ප්‍රතිලාභ හිමිවන සංචාරක ආර්ථිකයක් බවට පත් කිරීම සිය මීළග අරමුණ බව සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙහි සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසයි. 

පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වුණු ‘සංචාරක උදාව 2025’ ප්‍රදර්ශනය ආරම්භ කරමින් සභාපතිවරයා මෙම කරුණු සඳහන් කළේය. සංචාරක සංවර්ධන අධිකාරිය සහ SLAITO එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කෙරිණි. 

“මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව හෝ ඉන් උපයන ආදායමට වඩා එහා ගිහින් මෙරට සංචාරක කර්මාන්තය, රටෙහි සියලු‍ දෙනාටම ප්‍රතිලාභ හිමිවන සංචාරක ආර්ථිකයක් ගොඩනැගීම අපේ අරමුණයි.”

එහිදී සංචාරක කර්මාන්තය හරහා උපයන ආදායම රටින් පිටට නොයා රට තුළම රඳවා ගැනීමට කටයුතු කිරීම මෙහි වැදගත් අවස්ථාවක් බව සභාපතිවරයා සඳහන් කළේය. 

“සංචාරකයකුගෙන් ඩොලර් 100ක් ලැබුණොත්, ඉන් ඩොලර් 50ක් හෝ 60ක් රටින් පිටට යනවා. ඊට ප්‍රධානතම හේතුව ලංකාවේ කර්මාන්ත සංචාරක කර්මාන්තයට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය නොකිරීම. ඒ නිසා ඒවා ආනයනය කරන්න සිදුවුණා. දැන් අපි කර්මාන්ත අමාත්‍යාංශයත් සමගින් සාකච්ඡා කරමින් යනවා අපේ රටේ නිෂ්පාදකයන් සංචාරක කර්මාන්තයට අවශ්‍ය දේවල් නිෂ්පාදනයට යොමු කරන්නේ කොහොමද කියලා.”

සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව පසුගිය මැයි 21 වැනිදා වන විට මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 988,669ක් විය. මැයි 01 සිට 21 දක්වා පමණක් 91,785ක් පැමිණ තිබේ. ඒ අනුව දෛනිකව පැමිණෙන සංචාරකයන් 3896 ක සාමාන්‍ය අගයත් සමගින් මෙම  සංචාරකයන් ලක්ෂ 10 සීමාව පෙරේදා දිනයේදී සපුරණු ඇතැයි අපේක්ෂාව විය. 

“වසරේ මුල් මාස පහ ඇතුළතදී සංචාරක පැමිණීම් ලක්ෂ 10 සීමාවට පසු කරන්නේ වසර ගණනාවකට පසුවයි. එය අපේ 2025 වසරේ සංචාරක ඉලක්කය වන මිලියන 3 සාර්ථක කරගන්න හොඳ අවස්ථාවක්. ඒ වගේම ඉදිරියේදී රටවල් 39කට සංචාරක වීසා නොමිලේ ප්‍රදානය කිරීමටත් අපි සැලසුම් කර තිබෙනවා. එය සංචාරක කර්මාන්තය දෙවැනි අදියරට ගෙන යෑමේ අවස්ථාවක්.” සභාපතිවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි හේවාවසම් මහතා, “ඊට අමතරව අපිට චීන සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගන්න පුළුවන් වුණොත් එයත් ජයග්‍රහණයක්. අපගේ අනෙකුත් සංචාරක වෙළෙඳ පොළ සියල්ලම දැන් කොවිඩ් 19 ට පෙර තිබූ 2018 තත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒත් චීනය තවමත් නැහැ.”

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය මැයි 21 වැනිදා නිකුත් කළ මෙම දත්ත අනුව, වසර තුළ එතෙක් පැමිණ සිටි සංචාරකයන් 988,669 අතරින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එය 188,694ක් ලෙස සටහන්ව තිබේ. දෙවැනියට වැඩිම සංඛ්‍යාව වන 109,840ක් රුසියාවෙන් පැමිණ තිබේ. 

එසේම එක්සත් රාජධානියෙන් 93,248ක්, ජර්මනියෙන් 67,381ක් පැමිණ තිබේ. ප්‍රංශයෙන් සහ චීනයෙන් පිළිවෙළින් 55,587ක් සහ 54,223ක් පැමිණ තිබේ. ඔස්ට්‍රේලියාවෙන් පැමිණි සංඛ්‍යාව 42,301 කි. ඇමෙරිකා එක්සත් ජනපදයෙන්ද 27,918ක් පැමිණ තිබේ. බංග්ලාදේශයෙන් සහ පෝලන්තයෙන් පැමිණි සංචාරකයන් පිළිවෙළින් 24,722ක් සහ 24,720කි.

මේ වසරේ ජනවාරි මාසයේදී සංචාරකයන් 252,761ක් මෙරටට පැමිණ ඇති අතර, පෙබරවාරි මාසයේදී සංචාරකයන් 240,217ක් සහ මාර්තු මාසයේදී සංචාරකයන් 229,298ක් පැමිණ තිබේ. එසේම අප්‍රේල් මාසයේදී සංචාරකයන් 174,608ක් පැමිණ ඇත.

“ලෝක සන්නාමකරණයක් කරා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය රැගෙන යාම ගැන අපි අවුරුදු 15ක් පුරා කතා කරනවා. ඒ සඳහා මේ දක්වා යම් යම් අය යම් යම් මට්ටමින් කටයුතු කර තිබෙනවා. එහි අවසන් අදියරට අපි දැන් පැමිණිලා. අපිට පුළුවන් වේවි ජූනි මාසයේදී මේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ගෝලීය සන්නාමකරණයක් කරා රැගෙන යාමේ කටයුතු සම්පූර්ණ කරන්න.” 

ඒ අනුව මෙම අලෙවි කරන ප්‍රවර්ධන කටයුතු හරහා දැනට සංචාරකයන් සිටින වෙළෙඳපොළවලට අමතරව ශක්‍යතාවක් සහිත වෙළෙඳපොළ වෙතින් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම අරමුණ වී තිබේ. 

මේ අතර සාගර ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහාද කටයුතු සැලසුම් කර ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය. ඒ යටතේ සාගර කිමිදුම්, ගැඹුරු මුහුද ආශ්‍රිතව මසුන් මැරීමේ අත්දැකීම් ලබාදීම සිදු කිරීම පවතී. එහිදී කිමිදුම්කරුවන්ගේ ජාත්‍යන්තර සංගමය හා එක්ව එහි මේ වසරේ සමුළුව ලංකාවේදී පැවැත්වීමටත් පියවර ගන්නා බවත් ඔහු පැවසීය. 

“රට තුළ අභ්‍යන්තර ගුවන් සේවා දියුණු කිරීමත් මේ සංචාරක කර්මාන්තය සංවර්ධනයට අයිතියි. එහිදී සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ අභ්‍යන්තර ගුවන් සේවා සපයන සමාගම් සමගින් එක්ව ඔවුන්ට ලබාදෙන පහසුකම් පිළිබඳව සාකච්ඡා කරමින් එය දියුණු කිරීම අරමුණයි. මේ හරහා දැනට සංචාරකයන් අඩුවෙන් යන උතුරේ සංචාරක ස්ථාන වෙත වැඩි වශයෙන් සංචාරකයන් ආකර්ෂණයට හැකි වේවි.” සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

මේ අතර 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා මාස හතරක කාලය තුළදී සංචාරක කර්මාන්තය හරහා ඩොලර් බිලියන 1.37 ක් රැස් කරගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. වසර තුළ ඩොලර් බිලියන පහක සංචාරක ආදායමක් රැස් කරගැනීමට රජය අපේක්ෂා කරයි.



අදහස් (0)

සංචාරක පැමිණීම් ලක්ෂ 10 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site