• රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකෙහිම පිරිවැය සහ කළමනාකරණ ගිණුම්කරණ පිළිවෙත් ශක්තිමත් කිරීම මෙහි අරමුණයි

ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA Sri Lanka), ශ්‍රී ලංකාවේ පිරිවැය ගිණුම්කරණ ප්‍රමිතීන් (CAS – Cost Accountant Standards) නිල වශයෙන් දියත් කිරීමත් සමග රටේ වෘත්තීය හා ආර්ථික ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට නියමිතය.
මෙම වැදගත් මුලපිරීම රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකෙහිම පිරිවැය සහ කළමනාකරණ ගිණුම්කරණ පිළිවෙත් ශක්තිමත් කිරීම, විනිවිදභාවය, කාර්යක්ෂමතාව, ඵලදායිතාව, තරඟකාරිත්වය සහ උපායමාර්ගික තීරණ ගැනීම වැඩි දියුණු කිරීම අරමුණු කර ගෙන ඇත.
එසේම මෙම ප්‍රමිතීන් ඉන්දියානු පිරිවැය ගිණුම්කරණ ප්‍රමිතීන්ගේ සහාය ඇතිව සංවර්ධනය කර ඇති අතර ශ්‍රී ලාංකික අවශ්‍යතා සපුරාලීමට අනුවර්තනය කර ඇතැයිද CMA Sri Lanka පවසයි.
මෙම ප්‍රමිතීන් නිල වශයෙන් එළිදැක්වීමේ උත්සවය පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු අතර, ප්‍රධාන ආරාධිතයා ලෙස කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහභාගී විය.
එසේම එහි ගෞරවනීය විශේෂ ආරාධිතයා ලෙස CASL හි හිටපු සභාපති සහ CMASL හි හිටපු කවුන්සිල සාමාජික CMASL මනිල් ජයසිංහ, CMA හි සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ආර් වටවල, මහේන්ද්‍ර ජයසේකර (CMASB සභාපති), නීරාජ් ජෝෂි ඉන්දියාවේ පිරිවැය ගණකාධිකාරීවරුන්ගේ උප සභාපති, එච්.එම්. හෙන්නායක බණ්ඩාර (CMA උප සභාපති) යන මහත්වරු සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ පිරිවැය ගිණුම්කරණ ප්‍රමිතීන් හඳුන්වාදීම, 2009 දී පාර්ලිමේන්තු පනතක් මගින් ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය සංස්ථාගත කිරීම මගින් ගිණුම්කරණ වෘත්තියේ දිගුකාලීන අපේක්ෂාවක් ඇති කරන ලද දියුණුවක් නියෝජනය කරයි. 
මෙම ප්‍රමිති පිරිවැය මැනීම, පාලනය සහ වාර්තා කිරීම, පිරිවැය වාර්තා නඩත්තු කිරීම පිළිබඳ ව්‍යුහගත මග පෙන්වීමක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන අතර එමඟින් වැඩිදියුණු කළ ආයතනික කාර්ය සාධනය, වඩා හොඳ සම්පත් වෙන් කිරීම සහ කර්මාන්ත තුළ තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා සහාය වේ. මෙය රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකෙහිම සියලු‍ම විශාල හා මධ්‍යම ආයතන සඳහා අදාළ වේ.