හැඳින්වීම
කාලයක් තිස්සේ ප්‍රමාණවත් අයුරින් මුදල් නොයෙදවීමත්, ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැතිවීමත්, ඒ සඳහා පුහුණුව ලැබූවන්ගේ හිඟකමත් හේතුකර ගෙන ලංකාවේ පර්‌යේෂණ ක්ෂේත්‍රයට නිරන්තරයෙන්ම සෑහෙන තරම් අභියෝගවලට මුහුණ දීමට සිදුව තිබේ. මූල්‍ය ආයෝජන සීමා වීමත් සමග උසස් අධ්‍යාපන ආයතනවල පර්‌යේෂණවලට සාපේක්ෂ වශයෙන් දෙන ප්‍රමුඛතාව අඩුවීම හේතුවෙන්, ශාස්ත්‍රීය ඵලදායීතාව සහ නවෝත්පාදනය සීමා වී තිබේ. තවදුරටත් අත්‍යවශ්‍ය පර්‌යේෂණ සම්පත්වලට වැය වෙන ඉහළ පිරිවැය නිසාත් මෙම සීමා තව තවත් වැඩිවී තිබේ. පර්‌යේෂණ හා සංවර්ධන කාර්යයන් සම්බන්ධ ජාතික වැය සෑහෙන අඩු මට්ටමක පවතින්නේ කලාපීය සහ ගෝලීය මට්ටමටත් වඩා පහත වැටෙමින්‍්ය.


පර්‌යේෂණ පද්ධතිය තුළ වූ ප්‍රධාන අභියෝග
ශ්‍රී ලංකාවේ ශක්තිමත් පර්‌යේෂණ සංස්කෘතියකට නිරන්තරයෙන්ම බාධාකාරී වූ ව්‍යුහාත්මක සහ පද්ධතිමය ගැටලු‍ කිහිපයකි.

කාලයක් තිස්සේ මූල්‍ය යෙදවුම් ප්‍රමාණවත් නොවීම:
පර්‌යේෂණ සඳහා කරන වියදම් පවතින්නේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සෑහෙන තරම් පහත් මට්ටමකය. ලැබෙන සීමිත මූල්‍යාධාර පවා සංඛ්‍යාත්මකවත් පරිමාණයෙනුත් කුඩා වන අතර, බොහෝ විට ප්‍රමාද වී ලැබෙන බැවින් ගුණාත්මක වශයෙන් උසස් අයුරින් පවත්වා ගැනීමට එයින් සීමා පැනවේ.

යටිතල පහසුකම් සහ සම්පත් සීමාකරණය:
පර්‌යේෂණාගාරවල නිරන්තරයෙන්ම අත්දකින්නට ලැබෙන්නේ අත්‍යාවශ්‍ය සැපයුම්වලත් ප්‍රතික්‍රියාකාරක සහ නිපුණ තාක්ෂණය ඇති පුද්ගලයන්ගේ ද හිඟයකි. විශේෂයෙන් ජීව තාක්ෂණ හා වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රවලට මෙම තත්වය බලපා තිබේ. යොදවන පිරිවැය සීමාසහිත වන නිසා තවදුරටත් ජාත්‍යන්තර ශාස්ත්‍රීය දත්ත පදනම් තුළට සහ ලේඛන තුළට ප්‍රවේශ වීමේ හැකියාවද සීමාවන්නේය.

දක්ෂතාවේ සහ පුහුණුවේ අඩුපාඩු:
අත්දැකීම් සහිත පර්‌යේෂකයන්ගේ සෑහෙන තරමේ හිඟයක් පවතින අතර ඒ සමගම, විශේෂයෙන් උපාධි අපේක්ෂකයන් හා පශ්චාත් උපාධි හදාරන සිසුන් තුළ පුහුණු හා පර්‌යේෂණ ක්‍රම වේදද ප්‍රමාණවත් නොවන්නේය.

දුර්වල පර්‌යේෂණ සංස්කෘතිය සහ දිරිගැන්වීම්:
බොහෝ උසස් අධ්‍යාපන ආයතන ප්‍රමුඛතාව දෙන්නේ ඉගැන්වීමට විනා පර්‌යේෂණවලට නොවේ. අධ්‍යයන වැඩකටයුතු බහුල වීම, අධීක්ෂණ සීමා වීම සහ ප්‍රමාණවත් නොවන දිරිගැන්වීමේ ව්‍යුහ නිසා පර්‌යේෂණ සහ නවෝත්පාදනය කෙරෙහි ඇති අභිප්‍රේරණය මොටවේ.

ප්‍රකාශනය සහ දත්ත සීමා වීම:
මූලික දත්ත කරා ප්‍රවේශ වීමේ හැකියාව නිරතුරුවම සීමා වී තිබෙන අතර, විශේෂයෙන් දේශීය සන්දර්භය තුළ, ඉහළ ප්‍රතිඵල දෙන පුවත් සඟරාවල (ජර්නලවල) පළ කිරීමට ලැබෙන ඉඩ ප්‍රස්ථා සීමා සහිතය.

නිලධාරීවාදයේ සහ පාලන බාධක:
දේශපාලන වශයෙන්, පර්‌යේෂණ සහ සංවර්ධනයට ලැබෙන අඩු ප්‍රමුඛතාව තුළ, පර්‌යේෂණ ආයතන අතර පවතින්නේ දුර්වල සහ සම්බන්ධතාවකි. එසේම අඛණ්ඩව පවතින ප්‍රමාණවත් නොවන පරිපාලන ක්‍රියාදාම ද ප්‍රගතිය මොට කිරීමට හේතුවේ. මේ සියලු‍ අභියෝග එකට එක්වී, විශ්වවිද්‍යාල පර්‌යේෂණවල, නිහඬ අර්බුදය යනුවෙන් හඳුන්වන අර්බුදයට දායක වී, ශ්‍රී ලංකාව දැනුම පදනම් කරගත් ආර්ථිකයක් කරා පරිවර්තනය වීම සීමා කරනු ලබයි. විශ්වවිද්‍යාල මූලික වශයෙන් හඳුනාගන්නට ලැබෙන්නේ, ඉගැන්වීම මූලික කරගත් ආයතන ලෙසය. එහිදී සීමිත යටිතල පහසුකම් නිසාත් දැනට පවතින වරදවා වටහා ගැනීම නිසාත් පර්‌යේෂණවලට ලැබෙන්නේ දෙවැනි තැනට වැටෙන කාර්යභාරයකි.

 

පර්‌යේෂණ සංස්කෘතිය ඉහළ නැංවීම: ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කටයුතු
දසත පැතිර ඇති බාධක නොතකා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගුණාත්මක බවින් වැඩි පර්‌යේෂණ ඉදිරියට ගෙන යාමේ ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ. මෙම ප්‍රගතිය සවිමත් ආයතනික නායකත්වයක් හා පර්‌යේෂණ මූලික කරගත් සංස්කෘතිය පෝෂණය කිරීමේ සාමූහික කැපවීමක් බවට ආරෝපණය කළ හැකිය.
ජපුර විශ්වවිද්‍යාලයේ පර්‌යේෂණ උදෙසා වූ පදනම ශක්තිමත් කිරීම ආරම්භ වූයේ 2016 දී උපකුලපති සම්පත් අමරතුංගගේ මග පෙන්වීම යටතේ පර්‌යේෂණ මණ්ඩලය ගොඩනැගීමත් සමඟයි. මෙම මණ්ඩලය, තිරසර, ගුණාත්මක බවින් ඉහළ ඵලදායී පර්‌යේෂණ සංස්කෘතියක් පෝෂණය කරන බව පෙනෙන්නට විය. වර්තමානයේ පර්‌යේෂණ මණ්ඩලයේ මෙහෙයුම් සිදුවන්නේ විධායක සභාපති, වර්තමාන උපකුලපති පත්මලාල් මානගේ ගේ නායකත්වය යටතේය. 

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, 2024/25 පර්‌යේෂණ සම්මාන උළෙල:
පර්‌යේෂණ මණ්ඩලයේ දස වැනි සංවත්සරයේ 2024/25 සම්මාන උළෙල, ශාස්ත්‍රීය විශිෂ්ටත්වය සහ ජ්‍යේෂ්ඨ සහ මුල් අවධිය ගත කරන විද්වතුන්ගේ මහඟු‍ පර්‌යේෂණ සංස්කෘතියක වර්ධනයේ අනුස්මරණීය දශකය සනිටුහන් කරන්නක් විය.
යටිතල පහසුකම්, තරගකාරී මූල්‍ය සම්පාදන අවස්ථා, දැනුම පතුරුවා හැරීමේ පහසුකම් සැලසීම සහ ජාතික සහ ජාත්‍යන්තර සහයෝගීතා ප්‍රවර්ධනය කිරීම ආදී ප්‍රතිපාදන හරහා පර්‌යේෂණ සභාව විසින් ඉහළ ගුණාත්මක මට්ටමේ පර්‌යේෂණවලට තුඩු දෙන පරිසරයක් නිර්මාණය කරන ලද්දේය. ශාස්ත්‍රීය හා පරිපාලන කාර්ය මණ්ඩලය, තරගකාරී පර්‌යේෂණ මූල්‍ය යෙදවුම් හරහා සහ හඳුනාගැනීමේ ව්‍යුහාත්මක පද්ධතියකින් සහයෝගය පිරිනැමිණි.

 

පර්‌යේෂණ විශිෂ්ටතා, හඳුනා ගැනීම සහ ඇගයුම් කිරීම:
අද්විතීය පර්‌යේෂණමය ජයග්‍රහණ හඳුනා ගැනීම උදෙසා 2015 පටන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වාර්ෂික පර්‌යේෂණ සම්මාන උළෙල පවත්වා තිබේ. එම සම්මානවලින් පහත සඳහන් අංග පිළිගැනීමට ලක් කෙරිණි.
ඉහළ බලපෑම් ඇති කළ පර්‌යේෂණ, ප්‍රකාශන, ආයතනික දෘශ්‍යතාව වැඩි දියුණු කරන්නා වූ සැලකිය යුතු උපුටා දැක්වීම්හි බලපෑම, බාහිර පර්‌යේෂණ මූල්‍ය යෙදවුම් සාර්ථක ලෙස අත්කර ගැනීම්, පශ්චාත් උපාධි අධීක්ෂණ විශිෂ්ටතා 2024/25 වර්ෂ සඳහා වර්ගීකරණ 11ක සමස්ත සම්මාන883 ක් සාකච්ඡාවට ලක් කෙරිණි. ගෞරවණීය උපකුලපති සම්මානය සහ තරුණ පර්‌යේෂකයා වෙනුවෙන් පිරිනමන සම්මානය ඒ අතර විය.
සම්මානලාභීන් අතර, ව්‍යවහාරික විද්‍යා පීඨයේ, ප්‍රවේණි හා අනුක ජීව විද්‍යා ඒකකයේ ආචාර්ය කසුන් තාඹුගල සහ ව්‍යවහාරික විද්‍යා පීඨයේ වනාන්තර හා පාරිසරික විද්‍යා අංශයේ ආචාර්ය සාරංග දියබලනගේ, තරුණ පර්‌යේෂකයා සම්මානය දිනාගත්හ. ව්‍යවහාරික විද්‍යා පීඨයේ, රසායන විද්‍යාව අංශයේ මහාචාර්ය ඉමල්කා මුණවීර උපකුලපති සම්මානය දිනාගත්තාය.

 

පර්‌යේෂණ, ප්‍රතිපත්ති සහ ජාතික සංවර්ධනය:
සංවර්ධනය යන්න නිතරම පටු අර්ථයෙන් අර්ථ දක්වන්නේ භෞතික යටිතල පහසුකම් අනුසාරයෙනි. කෙසේ වුවද, බුද්ධිමය වර්ධනය, සංස්කෘතිකමය සංරක්ෂණය සහ සමාජ යහ පැවැත්මද ඒ හා සමාන වැදගත් කමක් ඇති සංරචක වේ. යටිතල පහසුකම් උදෙසා සෑහෙන තරම් ආයෝජන කර තිබුණද, ආයතනික කාර්ය සාධනය, දුර්වල සම්බන්ධීකරණය, ප්‍රතිපත්ති සම්පාදනය උදෙසා පර්‌යේෂණ ඒකාබද්ධ කර ගැනීම සීමා වීම හේතු කර ගෙන දීර්ඝකාලීන වර්ධනය ඇති කර ගැනීමේදී ශ්‍රී ලංකාව අඛණ්ඩව අභියෝගවලට මුහුණ දෙමින් සිටී.
පර්‌යේෂණ හා සංවර්ධනය විසින් නූතන ආර්ථිකයේ බුද්ධිමය පදනම ගොඩනගනු ලබන්නේය. කුඩා දේශීය වෙළෙඳ පොළක් සහා බාහිර කම්පනවලට ගොදුරුවන ශ්‍රී ලංකාව වැනි රටකට දැනුම් උත්පාදනය යන්න මඟ හැර යා නොහැක්කකි.

 

නවෝත්පාදන හා වාණිජකරණය කිරීමේ අභියෝග:
සාමූහික හා තනිව ස්වාධීනව කරන පර්‌යේෂණ ආදී දෙයාකාරයේම පර්‌යේෂණ මගින් සිදු කරන නවෝත්පාදනවලින් ශාස්ත්‍රීය හා පශ්චාත් ආචාර්ය පර්යේෂකයන් කරන දායකත්වය බොහෝ සෙයින් වැඩිවී තිබේ. ඔවුන්ගේ කාර්යයන්, මූලාකෘති, සූත්‍රගත කිරීම් සහ ප්‍රබල වාණිජ කරන විභවතා සහිත ක්‍රියාදාම වර්ධනය යන පරාසයක පැතිර පවතී.
කෙසේ වුවද පවතින මූලික අභියෝග වන්නේ, පේටන්ට් බලපත්‍ර අයැදුම් ක්‍රියාදාමය මන්දගාමී වීම සහ සංකීර්ණ වීම, පර්‌යේෂණ සහ කර්මාන්ත අතර සම්බන්ධතාවය දුර්වල වීම, වාණිජ කරණය වෙත යොමු වූ මං පෙත් කුඩා කොටස්වලට වෙන්ව තිබීම, නිලධාරීවාදයේ අකාර්යක්ෂමතාව, ශාස්ත්‍රිය වූ පර්‌යේෂණය ආර්ථික හා සමාජ ප්‍රයෝජන උදෙසා පරිවර්තනය කිරීම කාර්යක්ෂමව සිදුකිරීම ඉහත බාධක විසින් වළකනු ලබයි.

 

සමාප්තිය:
පද්ධතිය තුළ බොහෝ සෙයින් අභියෝග පැවතියද, ක්‍රමෝපාය නායකත්වය, ආයතනික කැපවීම සහ තිරසර ආයෝජන හරහා ප්‍රබල පර්‌යේෂණ සංස්කෘතියක් වර්ධනය කළ හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අත්දැකීම්වලින් පැහැදිලිව ප්‍රදර්ශනය කෙරේ.
ශ්‍රී ලංකාව තුළ පර්‌යේෂණ පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමේලා පොළොඹවන සුළු ආදර්ශයක් විශ්වවිද්‍යාලයේ ජයග්‍රහණවලින් සැපයේ. කෙසේ වුවද එහි වගකීම දැන් තනි තනි ආයතනවලින් ඔබ්බට පැතිර යයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ කර්මාන්ත වෙත ආයෝජනය කරන්නන් මෙම පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහාත්, පරිපාලන ක්‍රියාදාමය විධිමත්ව සකස් කිරීම සඳහාත්, ශාස්ත්‍රීය සහ කර්මාන්ත කටයුතුවල සම්බන්ධතා පෝෂණය කිරීම උදෙසාත් සාමූහිකව කටයුතු කළ යුතුය.
මෙසේ කිරීමෙන් ශ්‍රී ලංකාවට, එහි පර්‌යේෂණ අංශයේ පූර්ණ විභවතා ගෝලීය වේදිකාවේ වඩාත් තරගකාරී තත්වයකට එළඹෙන්නට මුදා හැර, පර්‌යේෂණ තිරසර ජාතික සංවර්ධනයක ගාමක බලවේගය බවට පරිවර්තනය කළ හැකිය.


2026 මැයි 20 Daily FT හි පළවූ,
Strengthening the research ecosystem in Sri Lanka : Challenges , progress and way forward  ලිපියේ පරිවර්තනය,
සමන් පුෂ්ප ලියනගේ