ශ්‍රී ලංකා රජය (GoSL)  සහ කොරියානු ජනරජයේ  (ROK) ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල (EDCF)  ප්‍රතිපත්ති සංවාදය 2026 පසුගියදා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ රන්දොර ශ්‍රවණාගාරයේදී පැවැත් වූ බව එම අමාත්‍යාංශය පවසයි.

මෙම සංවාදයේ කැපී පෙනෙන සිදුවීමක් ලෙස ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 267 කEDCF ණය 18 ක් සඳහා අත්සන් කරන ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සංශෝධන ගිවිසුම් විධිමත් ලෙස හුවමාරු කිරීම සිදු වුණු බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. 

මෙම පරිපාලන සන්ධිස්ථානය මගින් ශ්‍රී ලංකාවේ පරිණාමය වෙමින් පවතින ආර්ථික භූ දර්ශනය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මධ්‍යයේ සංවර්ධන ආධාරවල ගම්‍යතාවය පවත්වා ගැනීම සඳහා දෙරටේම කැපවීම අවධාරණය කෙරේ.

ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව  (NPD)  සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව (ERD)  විසින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන සැලැස්ම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වත්මන් තත්ත්වය පිළිබඳ පුළුල් ඉදිරිපත් කිරීම් මෙම සැසිවාරයේදී ඉදිරිපත් කෙරී තිබේ. 

එසේම EDCF මූල්‍යකරණයෙන් දැනට සහාය දක්වන මෙරට ප්‍රධාන ව්‍යාපෘති සම්බන්ධයෙන් නියෝජිතයන් සවිස්තරාත්මක තාක්ෂණික සාකච්ඡාවලද නිරත වී තිබේ.

මීට අමතරව කොරියානු දූත පිරිස කොරියාවේ නිල සංවර්ධන සහාය ශ්‍රී ලංකාවේ ප්‍රතිසාධන ප්‍රමුඛතා සමඟ පෙළගස්වමින් කොරියානු ජනරජයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ රාමු සැලැස්ම (2026-2030) සහ ඔවුන්ගේ මධ්‍යකාලීන මෙහෙයුම් දිශාව හඳුන්වාදීමද සිදු කර තිබේ.

මෙම සංවාදයට සම්බන්ධ වූ කොරියානු දූත පිරිස, ආර්ථික හා මුදල් අමාත්‍යාංශය  (MOEF)  විසින් මෙහෙයවන ලද අතර, එහි Byoungseok Choi  මහතා සහ Myeonghui Hwang  මහත්මිය ඇතුළු පිරිසක් සහ අධ්‍යක්ෂDaehee Kim  මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කොරියානු අපනයන-ආනයන බැංකුවේ (KEXIM)  නියෝජිතයින්ද ඒ අතර විය. ශ්‍රී ලංකා දූත පිරිස මෙහෙයවීම මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් සිදු කර තිබේ.