විමුක්ති එස් රුද්‍රිගු
මෙරට ආර්ථිකය නිවැරදි මාර්ගයක ගමන් කළත් ශ්‍රී ලංකාව ගමන් ගන්නා මාර්ගය පටු එකක් බවත් ශ්‍රී ලංකාව දැන් ගන්නා තීරණ අනාගතය තීරණය කරනු ඇති බවත් ලෝක බැංකුව ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව ආර්ථිකය යථා තත්වයට පත්කර ගැනීමට යන ගමන තවමත් ස්ථාවරවී නොමැති බවද ලෝක බැංකුව පැවැසුවේය.
මාධ්‍ය හමුවෙන් පසුව ලෝක බැංකුව මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් නැවත වාර්තාව නිකුත් කළ අතර මෙරට රජයේ වියදම් අතර රජයේ සේවක වැටුප් ගෙවීම ප්‍රධාන සාධකයක් බවත් එය කළමනාකරණය කිරීම විමධ්‍යගත කර ඇතත් නිසිලෙස ලේඛනගත කර නැති බවත් එහි සඳහන් විණි. නිසිලෙස ලේඛනගත කර නොමැති වීම හේතුවෙන් එය අධීක්ෂණය කිරීමට හෝ වෙනස්කම් තේරුම් ගැනීමට ඇති රජයට ඇති හැකියාව සීමාවී තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ. ඒ හේතුවෙන් වියදම් පුරෝකථනය කිරීම සහ නව ප්‍රතිපත්ති ගමන් කරන දිශාව විශ්ලේෂණය කිරීමට රජයට තිබෙන හැකියාවද සීමාවී තිබෙන බව එම වාර්තාවේ දැක්වේ.
මෙරට රාජ්‍ය සේවකයන්ට ගෙවන වැටුප ශ්‍රී ලංකාවට සමාන අනෙකුත් රටවල රාජ්‍ය සේවකයන්ට ගෙවන වැටුපට වඩා අඩු වුවත් අනෙක් රටවල සිටින රාජ්‍ය සේවකයන් පිරිසට වඩා වැඩි රාජ්‍ය සේවකයන් පිරිසක් මෙරට සිටින බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය. ඒ හේතුවෙන් අනෙක් රටවලට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකාව රාජ්‍ය සේවයේ වැටුප් සඳහා වෙන් කරන බව ලෝක බැංකුව පැවැසුවේය.
කලින් කලට දේශපාලන හේතු මත රාජ්‍ය සේවයට විශාල වශයෙන් බඳවා ගැනීම් සිදු කිරීම එලෙස රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව අනෙක් රටවලට සාපේක්ෂව ඉහළ යාමට හේතුවක් වී තිබෙන බවද ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාව සඳහන් වේ. 2013 සිට 2020 දක්වා කාලයේදී මෙරට රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව සියයට 12 කින් මිලියන 1.27 දක්වා ඉහළ ගොස් තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ.
පසුව රාජ්‍ය සේවයට බඳවා ගැනීම අත් හිටුවීමත්, ආර්ථික අර්බුදය හේතුවෙන් බොහෝ දෙනා විදේශගත වීමත් හේතුවෙන් 2023 වසරේදී රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව මිලියන 1.21 ක් දක්වා පහළ ගොස් තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ. ඒ හේතුවෙන් විශ්‍රාම ගන්නා රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම ගැනීමට ඉඩ ලබාදිය යුතු බවත් ඒ වෙනුවෙන් නව බඳවා ගැනීම සිදු නොකළ යුතු බවත් එම වාර්තාවේ දැක්වේ
කෙසේ නමුත් සෞඛ්‍ය සේවයේ සහ ගුරු වෘත්තියේ වැඩිම පිරිසක් සිටීම ගුණාත්මක සේවාවක් සැපයීමට සහායක් වුවත් පමණ ඉක්මවූ සේවකයන් පිරිසක් සිටීම අවාසියක් වන අංශද තිබෙන බව ලෝක බැංකුව පැවැසුවේය.
මෙරට ආර්ථිකය වර්ධනයවීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීමට සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ සාර්ව, ආර්ථික, රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අමතරව ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
එහිදී තරගකාරිත්වය වර්ධනය කිරීමටත්, පෞද්ගලික අංශය ප්‍රමුඛ ආර්ථික වර්ධනයක් ඇති කිරීමටත් වෙළෙඳාමට බාධාවක් වන ඇතැම් තීරුබදු ඉවත් කිරීම, රේගු පරිපාලනය වැඩිදියුණු කිරීම සහ ආයෝජන සඳහා පවතින පුළුල් නීතිමය, ආයතනික සහ නියාමන රාමුව නවීකරණය කිරීම වැනි පියවර හරහා මෙරට වෙළෙඳ ප්‍රතිපත්තිය පුළුල් කිරීමට කටයුතු කළ යුතු බවද ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. විදේශ සෘජු ආයෝජන ඇතුළු ආයෝජන, ආර්ථික වර්ධනයේ සෘජු කේන්ද්‍රස්ථානය බවද එම වාර්තාවේ දැක්වේ.
එසේම රාජ්‍ය ව්‍යවසාය අධීක්ෂණය සහ කළමනාකරණය වැඩි දියුණු කිරීමට රජය කටයුතු කළ යුතු බවද එම වාර්තාවේ සඳහන් වේ. මෙරට වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ කම්කරු නීති යාවත්කාලීන කිරීම සහ රජයේ ඉඩම් කළමනාකරණය, භාවිතය වැඩිදියුණු කිරීම ඇතුළුව සාධකවල ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමට කටයුතු කළ යුතු බවද එම වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකාව මෙම වසරේදී සියයට 4.6ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගනු ඇති බවට ලෝක බැංකුව ඇස්තමේන්තු කර තිබෙන බව එම මාධ්‍ය හමුවෙන් පසුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
එසේම ලබන වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 3.5ක් සහ 2027 වසරේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 3.1 ක් වනු ඇති බව එම වාර්තාව නිකුත් කරමින් ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. ලබන වසරේදී මෙරට උද්ධමනය සියයට 3.7 ක් වනු ඇති බවත් එය 2027 වසරේදී සියයට 4.1 ක් වනු ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලංකාවේ ආර්ථික ගමන තවමත් ස්ථාවර වී නෑ - ලෝක බැංකුව කියයි