IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


මිහිරි උක් යුෂ වෙළඳාමේ අමිහිරි කතාව

ලංකාවේ මුල් වරට උක් යුෂ පානය අනුරාධපුරයේ දී මහ මග වෙළෙදාමක් වෙයි
උක් පානය කායික, මානසික නිරෝගී සම්පත්තියට හේතුවක්
මහ මග උක් යුෂ බඳුනක් රැපියල් 200 යි
උක් ගේන්නේ මොණරාගලින් නැත්නම් හිඟුරක්ගොඩින්.
උක් කිලෝ එකක් ගේන්නේ රැපියල් පහළොව ගානේ
නිෂ්පාදන මෙවලම්වලට ලොකු වියදමක් 
අමාරැවෙන් දියුණු වෙන්න බලන මේ වෙළෙඳුන්ට බැංකුවලින් ණයක්වත් දෙන්නේ නෑ
ව්‍යාපාරය රට පුරා ව්‍යාප්ත කිරීමට උදව් අවශ්‍යයි


සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග


දරුවන් මෙන්ම වැඩිහිටියන් ද ආහාරයට ගැනීමට එකසේ ප්‍රියකරන රසවත් පලතුරක් ලෙස උක් ගස් හැඳින්විය හැකිය. එපමණක් නොව මිහිරි රසකින් යුතු උක් ශාකයට ආයුර්වේදයේ ද හිමි වනුයේ ඉහළම වටිනාකමකි. බොහොමයක් රෝග සමනය කර ගැනීමට උපකාරී වන උක් ශාකයේ යුෂ පලතුරක් ආකාරයට සේම රසවත් පානයක් ලෙසද භාවිත කිරීමේ හැකියාව පවතී. ඉන්දියාව වැනි රටවල් ආශ්‍රිතව උක් යුෂ ඒ මොහොතේ සිසිල් බීමක් ලෙස සකසා මහ මග අලෙවි කරන බව සඳහන්වේ. එය ඉන්දියාවේ ඉතා ජනප්‍රිය පානයක් ලෙසද සැලකේ. 
අප රටේ ද මෑතකාලීනව මිහිරි උක් යුෂ පානය මහ මග සකසා අලෙවි කරන අන්දම දැකගත හැකිය. අනුරාධපුරයේ අටමස්ථානයට පැමිණෙන දෙස්, විදෙස් සංචාරකයන් ඉලක්ක කරමින් මෙම අපුර්ව වෙළෙඳාම සිදුකෙරෙන අන්දම දැකගත හැකිය. ගිනි ගහන අව්වට එය නොමද අස්වැසිල්ලකි. මෙරට මුල් වතාවට මෙම වෙළෙඳාම අනුරාධපුර නගරය ආශ්‍රිතව සිදුකෙරෙන බව එහි නියුතු කුඩා වෙළෙන්ඳෝ පවසති. 
උක් බීම වෙළෙඳාමට යොමුව ඇති ආර්. එරංජන ඒ පිළිබඳව මෙසේ කරුණු කීවේය. 
“මං වීඩියෝ එකකින් දැක්කා ඉන්දියාවේ උක්වලින් බීම හදලා විකුණන වෙළෙඳාමක් ගැන විස්තර. ඉන්දියාවේ පාර අයිනේ තියාගෙන තමයි මේ වෙළෙඳාම කරනවා දැක්කේ. ඊට පස්සේ ඉන්දියාවෙන් මේ මැෂීන් එක ගෙන්නගෙන වැඩේ පටන් ගත්තා. අටමස්ථානේට යන කට්ටියට තමයි අපි මේ බීම විකුණන්නේ. අපි තමයි මුලින්ම මෙහේ වෙළෙඳාම පටන් ගත්තේ. දැන් අනුරාධපුර ටවුන් එකේ මේ වෙළෙඳාම කරන කීපදෙනෙක් ඉන්නවා. දැනට හොඳ වෙළෙඳාමක් තියෙනවා. ගොඩක් අය අව්වත් එක්ක මෙහෙම ස්වාභාවික දෙයක් බොන්න කැමැතියි. දැනට ලංකාවෙන්ම අනුරාධපුරේ විතරයි උක්බීම වෙළෙඳාම තියෙන්නේ. ඉස්සරහට අපි ත්‍රිකුණාමලේ පැත්තේ මේ වෙළෙඳාම කරන්න පුළුවන්ද කියලා බලනවා.” 
උක් යුෂවල මේදය නොමැති අතර එය සියයට සියයක් ස්වාභාවික පානයක් බව ආයුර්වේදයේ සඳහන්වේ. එහි තන්තු සහ ප්‍රෝටීන් ද අන්තර්ගත නොවේ. එහෙත් සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් සහ යකඩ අඩංගු වේ. උක් යුෂ පානය කිරීමෙන් කායික හා මානසික නිරෝගී සම්පත්තිය සඳහා ලද හැකි ප්‍රතිලාභ ගණනාවක් පිළිබදව ද ආයුර්වේදයේ කියැවේ. 
උක් යුෂ මගින් ක්ෂණික ශක්තියක් ලබා ගත හැකි අතරම ශරීර විජලනය වළක්වයි. ආහාර ජීර්ණය වැඩි දියුණු කරයි. අක්මාවේ ක්‍රියාකාරිත්වය යහපත් කරයි. සෙංගමාලය වැනි රෝග සඳහා උක් යුෂ ස්වාභාවික ප්‍රතිකාරයක් ලෙස භාවිත කරයි. සමහර පිළිකා ඇති වීමේ අවදානම අවම කරයි. විශේෂයෙන් පුරස්ථ ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා ඇති වීමේ අවදානම වළකන බවද ආයුර්වේදයේ කියැවේ. එය ආමාශ ආසාදන වළක්වා ගැනීමට ද උපකාරී වේ. වකුගඩු සෞඛ්‍යය යහපත් කරයි. ලිංගාශ්‍රිත රෝග සමනයට හේතුවේ. අස්ථි හා දත් වර්ධනයට උපකාරී වේ. දත් දිරා යාම වළක්වයි. මානසික ආතතිය අවම වී, සම පැහැපත් කර, කුරුළෑ සුව කිරීමට උක් යුෂ පානය උපකාරී වන බවද ආයුර්වේදය පෙන්වා දෙයි. 
උක් යුෂ වෙළෙඳාමේ නිරත සුනිල් ශාන්ත මෙසේ කරුණු කීවේය.
“මං ගොවිතැන් තමයි කෙරුවේ. පස්සේ මේ බිස්නස් එක පටන් ගත්තා. යාළුවකුට කියලා තමයි මේ මැෂින් එක ඉන්දියාවෙන් ගෙන්න ගත්තේ. මැෂින් එක කරන්ට් එකෙන් වැඩ කරන හින්දා පාරේ වෙළෙදාම් කරන විට පොඩි ජෙනරේටර් එකක් ඕන. ඔය දෙකට තමයි ටිකක් ලොකු වියදමක් යන්නේ. අනිත් එක අපි උක් ගේන්නේ පොළොන්නරුවේ හිඟුරක්ගොඩින්. එහේ උක් තියෙනවා. මෙහේ සමහරු මොණරාගලින් උක් අරන් එනවා. උක් කිලෝ එකක් රුපියල් පහළොව ගානේ තමයි ගන්නේ. එහේ ඉඳලා මෙහෙට උක් කිලෝ දෙදාස් පන්සීයක් විතර එකපාරට ගේනවා. වාහන කුලියත් ගෙවලා අනිත් හැම වියදමක්ම ඇරලා දවසකට රුපියල් හාරදහක විතර ආදායමක් තියෙනවා. මං හිතන් ඉන්නවා තව මැෂින් දෙකක් විතර අරගෙන බිස්නස් එක ටිකක් දියුණු කරන්න. ඒත් ඒකට දැනට අතේ සල්ලි නෑ. අනිත් එක අපි වගේ අමාරුවෙන් නැගිටින මිනිස්සුන්ට අපේ රටේ බැංකුවලින් ණයක්වත් දෙන්නේ නෑනේ.” 
ස්වාභාවික පානයක් ලෙස උක් යුෂ ඉතා පිරිසුදුවටත්, සිත් ගන්නා ලෙසත් සකසා දීමට ඔවුහු වෙහෙස වෙති. මේ අලු‍ත් වෙළෙඳාම අයිස් ක්‍රීම්, දොඩම් යුෂ, සරුවත් ආදි කුඩා ව්‍යාපාරවල නියුතු වෙළෙඳුන්ගේ උදහසට හේතුවී ඇති බවද ඔවුහු පවසති. සති අන්තයේ දී අටමස්ථානය වැඳීමට වැඩි පිරිසක් පැමිණෙන හෙයින් එම දින දෙක තුළදී වැඩි මුදලක් උපයා ගැනීමේ අවස්ථාව පෑදේ. 
ලු‍ණු ස්වල්පයක් මිශ්‍රකොට, අයිස් කැට කිහිපයක් ද එක්කොට එසැණින් සෑදෙන උක් බීම වෙළෙඳාමේ යෙදෙන ප්‍රදීප් සම්පත් පැවසුවේ මෙවැන්නකි.  
“බීම විදුරුවක් අපි විකුණන්නේ රුපියල් දෙසීය ගානේ. එන අයගේ ඇස් ඉස්සරහම අපි බීම හදලා දෙන හින්දා හැමෝම කැමැතියි. උපරිම පිරිසුදුවට තමයි අපි ‍වෙළෙඳාම කරන්නේ. අපි උදේ අට හමාරට පමණ වෙළෙඳාම පටන් ගන්නවා. ඉරිදා, සෙනසුරාදා වගේ දවස්වල නම් හවස් වෙනකන්ම ඉන්නවා. මේ දවස් වල පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ දෙහි ගාණ ටිකක් වැඩියි. අනිත් එක දෙහි හොයාගන්නත් අමාරුයි. කොහොම හරි අපි වෙළෙඳාම පටන් ගන්න කොට හිතුවට වැඩිය ලොකු ඉල්ලු‍මක් දැන් තියෙනවා. සමහර අයිස් ක්‍රීම්, දොඩම් බීම එහෙම විකුණන කට්ටිය කැමැති නෑ අපේ වෙළෙඳාමට.” 
මෙරට තුළ උක් අස්වැන්නෙන් සීනි නිෂ්පාදනයෙන් ඔබ්බට ගිය වෙනත් අතුරු නිෂ්පාදන කෙරෙහි අවධානය යොමුව ඇත්තේ ඉතා අල්ප වශයෙනි. 
එවැනි පසුබිමක මෙම උක් බීම වෙළෙඳාම කාගෙත් අවධානය දිනීමට හේතුවී තිබේ. එහෙයින්ම කිසිවකුගේ හෝ හව්හරණකින් තොරවම මෙම වෙළෙඳාමට අත ගසා සිටින අයට යම් විධිමත් පුහුණුවක් ලබාදී, මේ සඳහා අවැසි මෙවලම් මිලදී ගැනීම ආදී කටයුතුවලට යම් සහනයක් සැලසීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබේ. මෙරට බැංකු පද්ධතිය මෙවැනි නව සංකල්ප සඳහා අත දෙනු ලබන්නේ ඉතා අල්ප වශයෙන් බව සැගවිය නොහැකි සත්‍යයයි. කුඩා ව්‍යාපාර නගා සිටුවීමේ අරමුණින් පිහිටුවා ඇති රාජ්‍ය ආයතන සහ ඒ හා බැඳුණු ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය ද ගැටලු‍ සහගත වී තිබේ. 
එහෙයින්ම කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ සහ එහි අමාත්‍යාවරයාගේ අවධානය මෙවැනි කුඩා ව්‍යාපාර කෙරෙහි ද යොමුවීම අවශ්‍ය බව නොකිවමනාය. මක් නිසාද යත් මෙවැනි කුඩා ව්‍යාපාර මගින් ද දහසක් දෙනා දිවි සරි කරන බැවිනි. 
උක් බීම වෙළෙඳාමට එක්ව සිටින කණිෂ්ක ඉඳුනිල් පැවසුවේ මෙ​වැන්නකි.
“අපිව මේ විදිහට පත්තරේ දාලා හරි සහයෝගයක් දෙන එක ලොකු දෙයක්. එතකොට මිනිස්සු දැනගන්නවා මෙහෙම බීමක් තියෙනවා කියලා. අපිත් උක් කාලා තියෙනවා. ඒත් බීමක් විදිහට හදලා බීලා තිබුණේ නෑ. මේ පොඩි වෙළෙ​ඳාමෙන් කීපදෙනකුට රස්සා හම්බ වෙලා තියෙනවා. ඒකෙන් අපිත් ජීවත් වෙනවා. මේක දියුණු කරගන්න පුළුවන් වුණොත් ආයේ අපිට අමුතුවෙන් රස්සා හොය හොයා දඟලන්න වුවමනාවක් නෑ. මොකුත් උදව්වක් නැතත් කරදරයක් නැතිව අපිට මේ වෙළෙදාම කරගෙන යන්න ඉඩ දෙනවා නම් ඒකත් ලොකු උදව්වක්.”

 



අදහස් (0)

මිහිරි උක් යුෂ වෙළඳාමේ අමිහිරි කතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1028 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1061 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site