ධාවනය වෙන්නේ වසරකට දවස් තුනක් පමණයි
අනතුරුව දුම්රිය ස්ථානයත්, මාර්ගයත් යළිත් වල් වැදෙයි
වන්දනාකරුවන් සඳහා ඉදිකළ ගිමන් හල් වවුලන්ගෙන්, රිළවුන්ගෙන් පිරි, වල්වැදී විනාශයට
නිසි වැඩපිළිවෙළක් නොවීමෙන් කෝටි ගණනක සම්පත් අපතේ
දුම්රිය මාර්ගය උඩින් දිවෙන ගම්මාන ප්‍රවේශ අතුරු මාර්ග පිළිබඳව අවධානයක් යොමුවී නෑ
සංචාරකයන් ආකර්ෂණය වෙන විදියේ වැඩපිළිවෙළක් හැදුවොත් අවුරුද්ද පුරාම මේ පාරේ කෝච්චි දුවවන්න පුළුවන්
සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග
වසරකට වරක් පොසොන් පෝයට පමණක් දුම්රිය ධාවනය වන, මිහින්තලේ දුම්රිය ස්ථානය සහ මාර්ගය යළිත් වල්වැදී පාලුවට ගොස් තිබේ. පොසොන් වන්දනාවේ එන උදවියගේ පහසුව තකා 1993 වසරේ ඉදිකළ මෙම දුම්රිය මාර්ගය වසර ගණනාවක් වල්වැදී තිබී නැවත ප්‍රතිසංස්කරණ කිරීමෙන් අනතුරුව ඉකුත් 2024 වසරේ ජුලි මස 17 වැනිදාවක එහි පළමු ගමන් වාරය පැවැත්විණි. මෙම දුම්රිය මාර්ගය උතුරු දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවලට සමාන්තරව සිදුකර තිබේ. ඒ සඳහා රුපියල් කෝට් 65 ක පමණ මුදලක් වැයවී ඇතැයි සදහන්වේ. 2019 වසරේ සිට අතහැර දමා තිබී ඉකුත් වසරේ සිට මෙහි දුම්රිය ධාවනය ආරම්භ වීමත් සමග පොසොන් සමයෙන් අනතුරුව ද වසර පුරාම දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබු බව කියැවේ.
ඒ අනුව සෑම පුන් පොහෝ දිනයකම අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා දුම්රිය මගින් බැතිමතුන් ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබේ. අනෙකුත් දිනවලදී දුම්රිය පාසල් සිසුන් හා සරසවි සිසුන්ගේ ගමන් පහසුව සැලසීමට සහ ගොවි නිෂ්පාදන ප්‍රවාහනයට යොදා ගැනීමටත් යෝජනා වී ඇත. එමෙන්ම මෙම දුම්රිය මාර්ග සංවර්ධන කාර්යයෙන් මිහින්තලේ නගරය කේන්ද්‍රීයව නව අපනයන කලාපයක් නිර්මාණය කිරීම අපේක්ෂාව වී තිබු බවද සඳහන්වේ. ඒ සඳහා මිහින්තලයේ සිට ත්‍රිකුණාමලය දක්වා කිලෝමීටර් සියයක දිගකින් යුත් නව දුම්රිය මාර්ගයක් අලුතින් ඉදිකිරීමට සැලසුම් වී තිබූ බවද හෙළිදරව් වේ. එමගින් උතුරුමැද, නැගෙනහිර හා උතුර සම්බන්ධ කෙරෙන නව අපනයන කලාපයක් ක්‍රියාත්මක කිරීම අපේක්ෂාව වී ඇත. එහෙත් අද වන විට ඒ සියලු සැලසුම් බිඳවැටී කෝටි ගණනක සම්පත් වල්වැදී විනාශ වෙමින් තිබේ.
මේ පිළිබඳව ප්‍රදේශවාසියකු වන, ගාමිණි රත්නපාල මහතා මෙසේ පැවසුවේය.
මොකක් හරි සැලැස්මක් හදලා මේ පාරේ කෝච්චි දුවවන්න පුළුවන් නම් කාලයක් යනකොට මිනිස්සු ඒකට හුරුවෙයි. පොසොන් කාලෙට විතරක් කෝච්චි දුවවන එකෙන් ලොකු ප්‍රයෝජනයක් නෑ. ඒ කාලෙට මිනිස්සුන්ගේ තදබදය අඩු කරන්න කෝච්චිය දුවවන එක හොඳයි. ඒත් ඉතිං කෝටි ගාණක් යට කරලා අවුරුද්දට දවස් දෙක තුනක් විතරක් කෝච්චි දුවවන එකේ තේරුමක් තියෙනවද කියලා හිතලා බලන්න ඕන නේද? ඔතැන ගොඩනැගිලි ගොඩක් තියෙනවා. අඩුම ගානේ සති පොළක් දාන්න වගේ දේකට ඔය ගොඩනැගිලි ප්‍රයෝජනයට ගන්න පුළුවන්නේ.
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයෙන් අනතුරුව ආසන්න වශයෙන් වසර 67 කට පමණ පසුව මෙරට ඉදිකළ ප්‍රථම දුම්රිය මාර්ගය ද මෙය වේ. කිලෝ මීටර් 16 ක දිගින් යුතුව මෙම දුම්රිය මාර්ගය ඉදිවනුයේ 1993 වසරේ මිහින්තලය කේන්ද්‍රීයව පැවැති සුප්‍රකට “ගම්උදාව” වැඩසටහනට සමගාමීවය. ඒ එවක මෙරට ජනපති ආර්. ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුවය. 1993 අවුරුද්දේ මැයි 28 වැනිදාවක මිහින්තලය දුම්රිය මාර්ගය විවෘත කර තිබේ.
දුම්රිය අනුරාධපුරයෙන් ගමන් අරඹා මිහින්තලය දුම්රිය ස්ථානය කරා එන ගමනේ දී අතරගම තවත් දුම්රිය ස්ථාන දෙකක් මුණගැසේ. ඒ සමගිපුර සහ අශෝකපුරයි. මෙම දුම්රිය ස්ථානවලින් මගීන්ට දුම්රියට ගොඩවීමට සහ බැසීමට ඉඩකඩ සැලසෙතත් ප්‍රවේශ පත් නිකුත් වීමක් සිදුවන්නේ නැත. මිහින්තලය නගරය මධ්‍ය යේ රජරට විශ්වවිද්‍යාලයට යාබදව අනුරාධපුරය - ත්‍රිකුණාමලය ප්‍රධාන බස් මාර්ගයට ඔබ්බෙන් පිහිටි මිහින්තලය දුම්රිය ස්ථානය එවක ඉදිව ඇත්තේ විවිධ පහසුකම් වලින්ද සමන්විතවය. දීර්ඝකාලීන සැලැස්මක් කෙරෙහි තිබු විස්වාශය විනාශයෙන් විනාශයට යන මෙම පහසුකම් මගින් පෙන්වා දෙයි. දුම්රිය ස්ථානයේ සිට මිහින්තලා පුදබිමට ඇත්තේ මීටර් දෙතුන් සියයක දුරකි.
ප්‍රදේශවාසියකු වන එඩ්වඩ් පුනාන්දු මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.
“සංචාරකයෝ ආකර්ෂණය වෙන විදිහේ මොකක් හෝ වැඩපිළිවෙළක් හැදුවොත් අවුරුද්ද පුරාම මේ පාරේ කෝච්චි දුවවන එක කරන්න පුළුවන් වෙයි. කවුරු කෙරුවත් මේ වටිනා සම්පත් අපතේ යන්න ඇරලා තිබීම මහා අපරාධයක්. ඇත්තටම මෙතැන ඉඳලා මිහින්තලේ පන්සලට තියෙන්නේ පොඩි දුරයි. රජරට විශ්වවිද්‍යාලේ අත ළඟ. මේ හැමදේම ගැන හිතලා මොකක් හෝ එලදායක වැඩපිළිවෙළක් හදන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. නැත්නම් අපරාදේ මේ සම්පත්. අනිත් එක රේල් පාර උඩින් ගම්වලට යන්න තියෙන අතුරු පාරවල් ගැන කිසි අවධානයක් නැතිව තමයි වැඩ කරලා තියෙන්නේ. මේ කාරණේ හින්දත් මිනිස්සු පුදුම දුකක් විදින්නේ. කෝච්චි දිව්වේ නැති වුණාට අතුරු පාරවල්වල යන මිනිස්සුන්ට ඒක ලොකු කරදරයක් වෙලා තියෙන්නේ.”
පානීය ජලය, ආපන ශාලා පහසුකම්, වැසිකිළි, කැසිකිළි, මගී ගිමන් හල්, කාර්යාල පහසුකම්, නිලධාරි නේවාසිකාගාර පමණක් නොව විශේෂයෙන් වන්දනාකරුවන්ගේ පහසුව සදහා විශ්‍රාම ශාලා ආදිය එවක එහි ඉදිකොට තිබේ. එහෙත් එම සමහරක් සම්පත් නැවතත් නිසි නඩත්තුවකට ලක් නොවීමෙන් අයාලේ යන සුනඛයන්ගේ, රිළවුන්ගේ අගුපිල් බවට පත්ව ඇත. සමහර තැනෙක වවුලන්, සර්පයන් පිරී ඇත. වසර පුරාම ක්‍රියාත්මක වන සේ කවර හෝ තිරසාර, ඵලදායක යමකට මෙම දුම්රිය මාර්ගය යොදා ගනු ඇතැයි යන්න තවමත් ප්‍රදේශවාසී අපේක්ෂාව වී තිබේ.
පොසොන් සමයේ ඇතිවන දැඩි මාර්ග තදබදය අවම කරගැනීම එවක මෙම දුම්රිය ඉදිකිරීමේ අරමුණ වී තිබේ. අවම වශයෙන් ලක්ෂ විස්සකට ආසන්න ජන ගඟක් පොසොන් සමයට අනුරාධපුරයේ සිට මිහින්තලයට ගලායයි. එහෙයින්ම දෙනුවර යා කොට දුම්රිය ධාවනය කරවීම මගින් මෙම තෙරපුම අවම කිරීම මුල්කාලීන අපේක්ෂාව වී ඇත. සත්‍ය ලෙසම ඒ වගට මොනවට දෙස් දෙමින් පොසොන් සමයට මිහින්තලය දුම්රිය වන්දනාකරුවන්ගෙන් පිරී ඉතිරී ගියේය. දැන් අභියෝගය වී ඇත්තේ පොසොන් සමයෙන් බැහැරව මෙම තත්වය පවත්වාගෙන යන්නේ කෙසේද යන්නය.
මිහින්තලය පුදබිම ආශ්‍රිතව කුඩා ව්‍යාපාරයක නියැලෙන ජී.එම්. රාජපක්ෂ මහතා පැවසුවේ මෙවැනි අදහසකි.
“සති අන්තෙට එහෙම සල්ලි තියෙන අය දරුවොත් එක්ක අනුරාධපුරේට එන්නේ ටිකක් සැහැල්ලුවෙන් ඉඳලා යන්න. ඉතිං එහෙම එන අයට අටමස්ථානෙත් වැඳගෙන එතැන ඉඳන් කෝච්චියෙන් මිහින්තලේට එන්න පහසුකමක් හැදුවොත් මිනිස්සු ඒකට හුරුවෙයි. අඩු ගානේ සති අන්තෙටවත් මේ වැඩේ කරනවා නම් කාලයක් යනකොට මිහින්තලේට කෝච්චියෙන් එන්න පුරුදු වෙයි. මේ ගම්වල පොඩි ව්‍යාපාර කරන අයට අනුරාධපුරේ ඉඳලා තමන්ට ඕන කරන බඩු ටික කෝච්චියෙන් අරන් එන්න තියෙනවා නම් ලොකු පහසුවක්. මොනව වුණත් මිහින්තලේට මිනිස්සු ආවොත්නේ අපි වගේ පොඩි පොඩි වෙළෙඳාම් කරන අයට ආදායමක් එන්නේ. ශ්‍රී මහා බෝධියට එනවා වගේ මිනිස්සු මිහින්තලේටත් එයි මේ කෝච්චිය අලුත් විදිහට හිතලා පටන් ගත්තොත්.”
මේ අනුව වසර පුරාම දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනන පුදබිමක් බවට මිහින්තලය පත් කිරීම ද මෙහිලා මතුව එන තවත් විශේෂ යෝජනාවකි. එම කාර්ය සඳහා දුම්රිය භාවිත වන අතරවාරයේ මේ ගම්මැදි වල ජනයාට නව ජීවන මාර්ග පාදා ගැනීමේ ඉඩකඩ ද එමගින් සැලසෙනු ඇතැයි යන්න ප්‍රදේශවාසීන්ගේ විස්වාශයයි. මේ සියලු තත්ව කෙරෙහි කඩිනම් අවධානය යොමු කරමින් මිහින්තලේ දුම්රිය මාර්ගය සහ ස්ථානය රැකගැනීම උදෙසා නිසි වැඩපිළිවෙළක් සකසන ලෙස ඔවුහු වගකිව යුත්තන් වෙතින් ඉල්ලීමක් කරති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මිහින්තලේ දුම්රිය ආර්ථික කටයුත්තකට යොදාගත නොහැකිද ?