සියයට හතක වාර්ෂික පොලී අනුපාතයකට රුපියල් කෝටි පහක් දක්වා ණය


විමුක්ති එස් රුද්‍රිගු


වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025/26 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපාකාර සමිති වෙත සහනදායී පොලී අනුපාතයක් යටතේ ඔඩ පන ණය යෝජනා ක්‍රමයක් ඊයේ (01) සිට ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මේට්‍රික් ටොන් 25කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපාකාර සමිති ඉලක්ක කර ගනිමින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන බවද මුදල් අමාත්‍යාංශය පැවසුවේය. ණය ලබාගැනීම සඳහා ඉල්ලු‍ම් කරන සියලු‍ම ඉල්ලු‍ම්කරුවන්ට ව්‍යාපාර ලියාපදිංචි සහතිකය හා වී මණ්ඩලය නිකුත් කරන බලපත්‍රය තිබිය යුතු බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සියයට හතක වාර්ෂික පොලී අනුපාතයකට යටත්ව රුපියල් කෝටි පහක් දක්වා ණය මුදලක් ලබා ගැනීමට හැකියාවක් පවතින බවත් එම ණය මුදල මාස හයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ඔඩ පන ණය යෝජනා ක්‍රමය සඳහා රුපියල් කෝටි 1000 මුදලක් වෙන්කර තිබෙන බවත් ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ අරමුණ බවත් එම අමාත්‍යාංශය පැවසුවේය.
ලංකාව බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සණස සංවර්ධන බැංකුව, අමානා බැංකුව, කාගීල්ස් බැංකුව, පෑන් ඒෂියා බැංකුව හා රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා තෝරා ගෙන ඇති බවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දුන්නේය.