කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
ධීවරයන්ගේ ගැටලු‍ හඳුනා ගැනීමට පළමු වරට ධීවර ජංගම සේවයක් පැවැත්වීමට ධීවර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ ධීවර ජංගම සේවා වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයේ පැවැත්වීමටද එම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව ගාල්ල දොඩන්දූව ධීවර වරාය පරිශ්‍රයේ මේ එක් දින ජංගම සේවා වැඩසටහන පැවැත්වීමට ද තීරණය කෙරිණ. ඒ පිළිබඳව අදාළ ආයතන දැනුවත් කරලීම වෙනුවෙන් කළ විශේෂ සාකච්ඡාවක් පෙරේදා (06) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ධීවර ප්‍රජාවට ඍජුව සහ වක්‍රව බලපාන ගැටලු‍ සඳහා කඩිනම් විසඳුම් ලබා දීම මෙහි අරමුණ බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා කීවේය. විශේෂයෙන්ම ධීවර බලපත්‍ර ලබාදීම, මෙහෙයුම් බලපත්‍ර, ලියාපදිංචි බලපත්‍ර සහ රේඩියෝ බලපත්‍ර ආදී සේවා එදිනට ධීවර ප්‍රජාවට ලබා ගැනීමේ හැකියාව පවතින බවද ගමගේ මහතා කීය.


මිරිදිය ධීවර ප්‍රජාව සහ විසිතුරු මත්ස්‍ය ව්‍යවසායකත්වය මුහුණ දෙන ගැටලු කඩිනමින් විසඳාලීමත් මෙම ජංගම සේවයේ තවත් එක් අපේක්ෂාවක් බවත්, මිරිදිය ධීවර ක්ෂේත්‍රයේ නියුතු වූවන් ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළබඩ කලාපයේ බහුලව සිය ජීවිකාව සිදු කරගෙන යන බවත් කරන්දෙණිය, ඉමදුව, ගෝනපීනුවල යන කොට්ඨාසවලද එම වෘත්තීන් ප්‍රචලිතව පවතින බවත් ගමගේ මහතා කීය.
මේ ක්ෂේත්‍රයේ නියුතු වූවන් විධිමත්ව හඳුනා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී ධීවර නියෝජ්‍ය රත්න ගමගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. ඔවුන්ගෙන් මෙරට ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්වය නිවැරදිව හඳුනාගත යුතු බවත් ගමගේ මහතා කීය.
මේ ජංගම සේවය මගින් ධීවර විශ්‍රාම වැටුප්, ධීවර රක්ෂණාවරණය, සහ ඔවුන්ට මේ වන විටත් ලබා ගැනීමට නොහැකි වූ ජාතික හැඳුනුම්පත්, උප්පැන්න සහතික වැනි ලියාපදිංචි සහතික පත් ලබා ගැනීමටද හැකියාව පවතී.
මෙම විශේෂ සාකච්ඡාව සඳහා, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල්, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත යන මහත්වරුන් සහ කහවත්ත ධීවර ක්ෂේත්‍රය නියෝජනය කරන නිලධාරීන් රැසක් සහ ධීවර නියෝජිතයෝද එක්ව සිටියහ.