IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මොනරුන්ට සින්න වුණු ගාල්ලේ වී ගොවිතැන

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත


මෑතකදී බෝවුණු මොනරු ගහණය නිසා සිය වී වගාවට දැඩි බලපෑම් එල්ලවී ඇති බව ගාල්ල දිස්තික්කයේ වී ගොවීහු කියති. වෙනදා මොනරු බලන්න කතරගමට යන්න සිදුවුවත් අද කතරගමටත් වඩා මොනරු ගාලු‍ දිසාවේම ව්‍යාප්ත තිබීම මෙයට එකම හේතුව බවද ඔවුහු කියති.
මේ ආකාරයට මොනරුන්ගේ ගහණය තවදුරටත් වැඩිවුවහොත් ගාලු‍ දිසාවේම වී වගාවට දෙවියන්ගේම පිහිට හැර වෙන පිහිටක් නැති බවද ගොවීහු කියති. සිය වගාව විනාශවී යාමට බලපා ඇති මේ අලු‍ත්ම මොනරු ප්‍රශ්නය පිළිබඳව අදාළ බලධාරීන් දැනුම්වත් කළද ඔවුන්ද නිහඬ බවද ඔවුහු කියති.
ගාලු‍ දිසාවේ වී වගාවට බලපා ඇති මේ මොන ප්‍රශ්නයෙන් වැඩි වශයෙන්ම හෙම්බත්වී සිටින්නේ වී වගාව කරන කරන්දෙණිය, ඇල්පිටිය, නියාගම, බද්දෙගම, ගාල්ල, හබරාදූව, අක්මීමන, නෙලු‍ව, තවලම ආදී ප්‍රදේශවල වී ගොවි තැන් කරන ගොවීහුය.
මොනරුන්ගෙන් ගාලු‍ දිසාවේ වී වගාවට සිදුවන හානිය පිළිබඳව අපි ගොවි මහතුන් කිහිපදෙනකු සමගම කතා කළෙමු. මේ ඔවුන්ට මුහුණදීමට සිදුවූ දුක් ගැනවිල්ල කී ආකාරයයි.


කේ.පී.සරත් මහතා
මොනරු අපිට, අපේ ප්‍රදේශයට ආගන්තුක සත්තු වර්ගයක්. මේ සත්තු මෙහේ හිටියේම නැහැ. එදා අපි මොනරු බලන්න ගියේ කතරගමයි. එහෙත් අද කතරගම අයටත් බලන්න පුළුවන් තරම් මොනරු මෙහේ බෝවෙලා. මේ සත්තුන්ගේ බෝවීම ඉතා ශීඝ්‍රයෙන් සිදු වෙනවා. දැන් දැන් අපේ කුඹුරකට මොනරු රෑන් රෑන් එනවා. එක රෑනක දහය පහළව ඉන්නවා. කුඹුර මඩ කරලා පැළවෙන්න බීජ දැම්මාම ඒවා හාර හාර කනවා. එතකොට කොහොමද වී පැළවෙන්නේ. මේ වගේ කුඹුරු අපේ ගම්වල ගොඩක් තියෙනවා.
ඒ වගේම තමයි පැළ ගොයමේ දල්ල උරා බොනවා. එතකොට ගොයම් ගහ හැදෙන්නේ නැහැ. එතනම බාල වෙනවා. මේ උවදුරට භාජන වූ කුඹුරුවල තැනින් තැන ගොයම් ගස් දක්නට ලැබෙන්නේ නැහැ. වෙනදා අපේ කුඹුරු නිලට නිලේ එක දිකටම දිස්වෙනවා. බලන්න හරි ලස්සනයි. ඒ වගේම හරිම සිරියාවයි. මොනරු බැස්ස කුඹුරක් කටුස්සො ගිලපු බැළලියක් වගේ. බලන්න බැරි තරම් අවලස්සනයි. ඒ විතරක්ම නෙමෙයි මේ කුඹුරුවලින් අස්වැන්න ලබා ගන්නත් බැහැ.


ජී.ජී.පියසේන මහතා:-
අපි කොහොමහරි බෝග පැළ කරගෙන ගොයම ආරක්ෂා කර ගත්ත කියමු කෝ. ගොයම පීදීගෙන කොට එන මොනරු ගොයම කනවා. ගොයම් ගහ තියෙනවා. වී කරල් නැහැ. රෑට අපි පැල් රකිනවා ගොයම සතා සිව්පාවගෙන් බේර ගන්න. මේ මොනරු කරදරය නිසා දැන් දවල්ටත් පැල් රකින්න වෙලා. මේ තරම් දුකක් විදින්න පුළුවන් කාටද? රෑටත් නිදි මරලා දවාලටත් පැල් රකින්න කාටද පුළුවන්?
රෑට පැල් රැකලා දවාලට පැල් නොරැක්කොත් මොනරු මුළු කුඹුරුම එක පැයකින් දෙකකින් විනාශ කරනවා. හරි ඉක්මනට මේ සත්තු ගොයමම කා දමනවා. අනේ දෙවියනේ අපිට වුණු වැඩක්. ගොවි තැන කරපු අපිට වෙනත් රැකියාවක් කරන්නත් බැහැ. අපේ දෑතම හුරු වුණේ කුඹුරු ගොවිතැනටයි. දැන් ඒකටත් කණ කොකා නෙමෙයි කණ මොනරා හඩලා.


සොමිදාස ගමගේ මහතා:-
අපේ කුඹුරුවලට එන මොනරු රෑන් ඔක්කෝම කුඹුර විනාශ කරනවා. මොනරා පිල් විදහා නටන්නෙත් කුඹුරේ. ඌ පිල් විදහා නටන නැටුමට පළාතකම ගොයම විනාශ වෙනවා. ඒ වගේම මොනරු කුඹුරට බහින කොට වගේම ඉගිල්ලිලා යන කොටත් ගොයම විනාශ වෙනවා. මේ මොනර කරදරය කවදා තුරන් වේවිද දන්නේ නැහැ. අපේ කුඹුරු මේ ආකාරයට මොනරු විනාශ කිරීම උහුලන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොනරු කුඹුරකට බැහැලා ගියාම ඒක දැක්කම පපුව හෝස් ගාලා පත්තුවෙලා යනවා. අඹුදරුවෝ ජීවත් කරන්නේ කොහොමද කියලා හිතෙනවා. මෙහෙම ගියොත් ගොවියන්ට වෙන්නේ කුඹුරට ගහන වල් නාෂක බීලා මැරෙන්නයි.


රුවන් ප්‍රීති කුමාර මහතා:-
මේ වනවිට ගාලු‍ දිසාවේ මොනරු විශාල ඝනත්වයක් ඉන්නවා. මේ මොනරුන්ගේ බෝවීම පාලනය නොකළහොත් අපේ දිසාවෙන් වී වගාව නැත්තටම නැතිවෙලා යාවී. රිළවුන්ට වගේ මොනරුන්ගෙත් බෝවීම වැළැක්වීමට හැකි ඉක්මනින්ම වැඩපිළිවෙළක් දියත් කළ යුතුම වෙනවා. අනෙක අපේ අයගේ ලොකු විශ්වාසයක් සහ ඇදහිල්ලක් තියෙනවා මොනරා කතරගම දෙවියන්ගේ වාහනය කියලා. ඒ නිසාත් මොනරු ඝාතනය තහනම් නිසාත් තමයි අපේ අය මොනරාට මොකුත් නොකරන්නේ. ඒ තරමටම ඒ අය බයයි මොනරට අත තියන්න. අඩුම තරමින් මොනරෙක් එළවනවා හැරෙන්න අඩු තරමින් ඒ සතාට ගහන්නෙවත් නැහැ. දැන් දැන් කුඹුරට විතරක් නෙමෙයි අපේ ගෙවල්වල වහල උඩත් මොනරු වැහි වැහැලා. ඒ තරමටම බෝවෙලා. රජය කඩිනමින්ම මේ ප්‍රශ්නය විසදීමට පියවරක් නොගත්තොත් ඉදිරියේදී මීටත් වඩා ලොකු සහල් හිඟයකට මුහුණ දීමට සිදු වෙනවා.
මේ පිළිබඳව ගාල්ලේ පිහිටි දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු පැවසුවේ ගාලු‍ දිසාවේ වී වගාවට බලපා ඇති මොනරු ප්‍රශ්නය පිළිබඳව පැමිණිලි ලැබෙමින් තිබෙන බවත් කුඹුරුවලට එන මොනරුන් එළවීම හැර ඊට තවම වෙනත් විකල්පයක් යෝජනා කර නැති බවත්ය.

 



අදහස් (0)

මොනරුන්ට සින්න වුණු ගාල්ලේ වී ගොවිතැන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site