- මේ දවස්වල වෙළෙඳාම හොඳටම අඩුයි
- කුඹුරු වැඩ කරලත් දැන් වැඩක් නෑ. අවසානේ වියදමයි, මහන්සියයි විතරයි
බුල්නෑව ප්‍රදීප් රණතුංග
මතුව ඇති ආර්ථික දුෂ්කරතා තම ජීවනෝපායට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව මහ මාර්ගය දෙපස එළවළු වෙළෙඳාමේ නියුතු කුඩා ව්‍යාපාරිකයෝ පවසති. තඹුත්තේගම, එප්පාවල, මහඉලුප්පල්ලම, ඉපලෝගම, කලාවැව, ගල්නෑව, බුල්නෑව ආදි ප්‍රදේශවල ප්‍රධාන මාර්ගයට යාබද වන සේ ඉදිකර ඇති තාවකාලික වෙළෙඳ කුටි තුළ හෝ රුක් මුදුන් යටට වී මෙවැනි වෙළෙඳුන් ජීවිත සටනේ යෙදී සිටි.
එළවළු, පලතුරු, බඩඉරිගු, ධාන්‍ය වර්ග, වියලි මිරිස්, වැව් කරවල, මාළු ආදිය විකුණමින් ජීවිකාව සරිකළ තම ආදායම මේ වන විට දැඩි ලෙස පහත වැටී ඇතැයි ඔවුහු පවසති. මෙසේ මාර්ගය දෙපස තිබු කුඩා වෙළෙඳ කුටි විශාල ගණනක් මේ වන විට වැසී ඇති බව ද ඔවුහු කියති. දෛනික ආහාර, ලෙඩට දුකට බෙහෙත් හේත්, දරුවන්ගේ වියහියදම්, ණය තුරුස් ආදි වුවමනා සඳහා තම පිහිටට ඇත්තේ මේ කුඩා වෙළෙදාම පමණක් බව ඔවුහු කියති.
![]() |
![]() |
![]() |
ඉපලෝගම, ගන්තිරියාගම ප්‍රදේශයේ මුරුංගා වෙළෙඳාමේ නියුතු ජී. ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේය.
“මේ දවස් වල වෙළෙඳාම හොඳටම අඩුයි. මට නම් හිතෙන්නේ මිනිස්සු අතේ සල්ලි නෑ. ඒ මොනවා වුණත් අපි දෙයියනේ කියලා දවසේ වියදම හොයාගෙන ජීවත් වෙන්නේ මේ මහ පාර හින්දා. මනුස්සයෙක් පාරේ ගියොත්නේ දෙයියනේ කියලා අපිටත් වෙළෙඳාමක් තියෙන්නේ. දැන් මිනිස්සු පාරේ යනවා. ඒත් වෙළෙඳාම අඩුයි. මං උදේ ඉඳන් හිටියා තාම මුරුංග මිටි දෙකක්වත් විකුණ ගන්ඩ බැරිවුණා. අපි ජීවත් වෙන්න පුදුම දුකක් විඳින්නේ. ඒත් වගතුවක් නෑ. හවස් වෙනකොට මුරුංගා මැළවෙනවා එතකොට ඉතිං අතින් පාඩුයි. කුඹුරු වැඩ කරලත් දැන් වැඩක් නෑ. අවසානේ වියදමයි, මහන්සියයි විතරයි.”
ඉපලෝගම හැටපස් වියැති එස්. දයානන්ද මහතා මෙසේ කරුණු කීවේය.
“මම දැන් අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සේ මේ පාර අයිනට වෙලා වෙළෙඳන් කරනවා. සමහර දවස්වලට එළවළු ටිකක් අරගෙන දඹුල්ල මාකට් එකට යනවා.
මේ දවස්වල වෙළෙඳාම හොඳටම අඩුයි. ඉඳලා හිටලා මනුස්සයෙක් තමයි දැන් අපි ළඟ නවත්තන්නේ. ඇත්තටම මිනිස්සුන්ට සල්ලි නෑ.
මමයි, නෝනයි ජීවත් වෙන්නේ මේ වෙළෙඳාමෙන්. සමහර දවස්වලට කීයක්වත් නැතිව හවසට ගෙදර යනවා. දරුවන්ට කරදර කරන්නත් බෑනේ.”
කලාවැව ප්‍රදේශයේ එළවළු, පලතුරු වෙළෙඳාමේ යෙදෙන නිශාන්ති විජේරත්න මහත්මිය මෙසේ කීවාය.
“නිකං වෙළෙදාමක් නැතිව පාර අයිනට වෙලා ඉන්න ගියාම එපා වෙනවා. නිකං දවස ගතවෙනවා විතරයි. එහෙම දවස්වලට මේ වෙළෙඳන් කෙරිල්ල අතඇරලා ගෙදරට වෙලා ඉන්න හිතෙනවා. සමහර දවස්වලට නම් වෙළෙඳාමක් තියෙනවා.
මේ වෙළෙඳාමේ ලාබ අලාබ ගැන කාටවත් කලින් කියන්න බෑ. ඒක ඉතිං එක අතකින් අපේ වෙලාව තමයි. අනිත් එක අපෙන් මොනව හරි ගන්ඩ මිනිස්සු අතේ සල්ලි තියෙන්නත් ඕනනේ. මිනිස්සු සද්ද නැතිව හිටියට ජීවත් වෙන්නේ පුදුම අමාරුවකින්.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd