IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


පළමු මාස හයේදී ඩො.මි. 507 ක සෘජු විදෙස් ආයෝජන ඇවිත්

  • පසුගිය වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව සියයට 101 වර්ධනයක්
  • පළමු මාස 6 දී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නව ව්‍යාපෘති 57 කට අනුමැතිය ලබාදීලා
  • එම ව්‍යාපෘතිවලින් ශ්‍රී ලංකාවට ලැබෙතැයි ඇස්තමේන්තු කර ඇති මුළු ආයෝජන වටිනාකම ඩො.මි. 569 ක්
  • ව්‍යාපෘති 57 මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමෙන් පසුව රැකියා 14,000ක්

විමුක්ති එස් රුද්‍රිගු

මෙම වසරේ පළමු මාස 6 තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 507 ක ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව සියයට 101 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

පසුගිය වසරේ පළමු මාස 6 තුළ මෙරටට ලැබී තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 252 ක ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණයකි. මෙම වසරේ පළමු මාස 6 තුළ මෙරට ඍජු විදෙස් ආයෝජනවල සිදුව ඇති සැලකිය යුතු වර්ධනය මෙරට ආයෝජන පරිසරය සහ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ඍජු විදෙස් ආයෝජනවල ප්‍රගතිය පිළිබඳව ආයෝජකයන් තුළ ගොඩනැගී ඇති විශ්වාසය පිළිබිඹු කරන බවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පෙන්වා දුන්නේය.

මෙම වසරේ පළමු මාස 6 තුළදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නව ව්‍යාපෘති 57 ක් සඳහා අනුමැතිය ලබා දී ඇති අතර එම ව්‍යාපෘතිවලින් ශ්‍රී ලංකාවට ලැබෙතැයි ඇස්තමේන්තු කර ඇති මුළු ආයෝජන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 569 කි. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 320 ක් විදේශ ආයෝජන වේ. අනුමැතිය ලබා දී ඇති ව්‍යාපෘති 57 න් 31 ක් ඍජු විදෙස් ආයෝජන මගින් ආරම්භ කරන නව ව්‍යාපාර වන අතර ඉතිරි ව්‍යාපෘති 26 දැනටමත් මෙරට සිටින සමාගම සිය මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම සඳහා ආරම්භ කරන ව්‍යාපෘති වේ. ව්‍යාපෘති 57 මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමෙන් පසුව රැකියා 14,000 ක් එමගින් උත්පාදනය වනු ඇතැයි බලාපොරොත්තු වන අතර එමගින් රැකියා ක්ෂේත්‍රයට මෙන්ම මෙරට ආර්ථික වර්ධනයටද තල්ලු‍වක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

දේශීය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහිලා මෙරට ලබාගෙන ඇති ප්‍රගතිය සහ ශ්‍රී ලංකාව කෙරෙහි ගෝලීය ආයෝජකයන්ගේ විශ්වාසය වැඩිදියුණු වීම මෙම වසරේ පළමු මාස 6 දී මෙරට ඍජු විදෙස් ආයෝජන සැලකිය යුතු ලෙස වර්ධනය වීමට හේතු වී තිබෙන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා පෙන්වා දුන්නේය.

ඍජු විදෙස් ආයෝජන අඛණ්ඩව වර්ධනය වීමෙන් මෙරට ආර්ථිකය ගමන් කරන දිශාව පිළිබඳව ගෝලීය ආයෝජක ප්‍රජාවගේ වර්ධනය වී ඇති විශ්වාසය පිළිබිඹු වන බව ඔහු ප්‍රකාශ කළේය. නව ප්‍රතිපත්ති රාමු, විධිමත් පහසුකම් සැපයීමේ ක්‍රියාවලි සහ යහපාලනය හරහා වැඩිදියුණු කළ ආයෝජක විශ්වාසය සමගින්, ශ්‍රී ලංකාව ආයෝජක අවශ්‍යතා සක්‍රීයව සපුරාලමින් සිටින බවත් මෙරට තිරසාර ආයෝජන සඳහා ආකර්ශනීය මධ්‍යස්ථානයක් බවට පත් කිරීම එහි අරමුණ බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පැවැසුවේය.

මෙලෙස මෙරට ඍජු විදෙස් ආයෝජන සැලකිය යුතු ලෙස ඉහළ යෑමට වරාය සංවර්ධනය, නිෂ්පාදන, සංචාරක සහ ආගන්තුක සත්කාර, කලාපීය මධ්‍යස්ථාන මෙහෙයුම් වැනි සේවා ආශ්‍රිත අංශවල ප්‍රධාන ආයෝජන බලපා තිබෙන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පෙන්වා දුන්නේය. පසුගිය මාස කිහිපයේදී ප්‍රධාන ව්‍යපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමේ අදියර දක්වා පැමිණ ඇති බවත් වැඩිදියුණු කළ පහසුකම් සැපයීමේ යාන්ත්‍රණ හරහා නව යෝජනා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වේගවත් කර තිබෙන බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කළේය.

විදෙස් ප්‍රාග්ධනය ගලා ඒම ශක්තිමත් වීම හේතුවෙන් මෙම වසරේ ඍජු විදෙස් ආයෝජන ඉලක්කය සපුරා ගැනීමට බොහෝ දුරට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාසයක් තිබෙන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පැවැසුවේය. ඉලක්කගත ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, වැඩිදියුණු කළ ආයෝජක පහසුකම් සහ ශක්තිමත් කළ පාලන යාන්ත්‍රණ හරහා නව උපාය මාර්ගික අංශ කෙරෙහි විදේශීය ආයෝජකයන්ගෙන් උනන්දුව ඇති කරමින් මෑත කාලීන ආර්ථික කම්පනවලින් පසු අඛණ්ඩ ප්‍රකෘතිමත් වීමක් මධ්‍යයේ මෙම ඉහළ යාම වාර්තා කර ඇත.
දේශීය ආයෝජක ක්‍රියාකාරකම්ද මෙම වසරේ පළමු මාස 6 තුළ සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති අතර මෙම වසරේ පළමු මාස 6 තුළදී මෙරට දේශීය ආයෝජන ප්‍රමාණයද ඇමෙරිකානු ඩොලර් මිලියන 285 දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව එය සියයට 13 ක වර්ධනයකි. මෙම වර්ධනයෙන් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් සහ ව්‍යාපාර තුළ මෙරට පිළිබඳ ගොඩනැගෙමින් පවතින විශ්වාසය පිළිබිඹු වේ.

 



අදහස් (0)

පළමු මාස හයේදී ඩො.මි. 507 ක සෘජු විදෙස් ආයෝජන ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17347 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 706 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site