
ප්‍රාග්ධන වෙළෙඳපොළ අධ්‍යාපනය, ක්ෂේත්‍ර අත්දැකීම් සහ උපාධි අපේක්ෂකයන්ගේ සංවර්ධනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) කැලණිය විශ්වවිද්‍යාලය සමග ඇති අවබෝධතා ගිවිසුම (MOU) පසුගියදා අලුත් කළේය.
මෙම අවබෝධතා ගිවිසුමට කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සහ SEC හි වැඩබලන ප්‍රධානී/ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර ජයරත්න මහතා අත්සන් තැබූහ.
මෙහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය, විශ්වවිද්‍යාලයේ අධ්‍යයන වැඩසටහන් රැකියා වෙළෙඳපොළට ගැලපෙන සහ ක්ෂේත්‍රයට නැඹුරු වූ ඒවා ලෙස පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා SEC සමග පවතින අවබෝධතා ගිවිසුම අලුත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නාය. ‘Varsity Battles’ තරගාවලියට සහභාගීවීම සහ උපාධි අපේක්ෂකයන්ට ලැබෙන සේවාස්ථ පුහුණු (Internship) අවස්ථා ඇතුළුව SEC සමග විශ්වවිද්‍යාලය පවත්වන සබඳතා හේතුවෙන්, සිසුන්ට ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට සහ ඔවුන්ගේ ක්ෂේත්‍ර අත්දැකීම් වර්ධනය කර ගැනීමට හැකි වී ඇති බව ඇය සඳහන් කළාය.
තුෂාර ජයරත්න මහතා ප්‍රකාශ කළේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්ෂේත්‍රයේ උපාධිධාරීන් සඳහා සැලකිය යුතු රැකියා අවස්ථා පවතින බවත්, වැඩිදුරටත් උපාධි අපේක්ෂකයන්ට මෙම ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථා සොයා යන ලෙස දිරිමත් කරන බවත්ය. මෙම අවබෝධතා ගිවිසුම යටතේ ඇති කරගත් සහයෝගීතාවයෙන් උපාධි අපේක්ෂකයන් සඳහා සේවාස්ථ පුහුණු අවස්ථා පහසුකම් සැලසීමට SEC ආයතනයට හැකි වී ඇති බවත්, එමගින් ක්ෂේත්‍රයේ අනාගත වෘත්තිකයන් බිහි කිරීමට දායකත්වය ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අලුත් කරන ලද හවුල්කාරිත්වයෙන් උපාධි අපේක්ෂකයන් අතර ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ දැනුවත්භාවය, දැනුම හුවමාරු කර ගැනීම සහ කුසලතා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා SEC සහ විශ්වවිද්‍යාලය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd