පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනයේ නිලධාරීන් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අවස්ථාව.                         

ඡායාරූපය - ෂෙහාන් ගුණසේකර


කර්මාන්තකරුවන් වෙත ගෙවීමට ඇති හිඟ මුදල රු.බිලියන 10 ඉක්මවලා 


අර්බුදය විසඳීමට රජයේ මැදිහත්වීමක් අවශ්‍යයි 


භානුක අමරසිංහ


ජාතික පද්ධති ක්‍රියාකරු (පෞද්) සමාගම මගින් පසුගිය මාස හතරක කාලය සඳහා පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගෙන් ලබා ගෙන ඇති බලශක්තිය වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ මුදල මේ වනවිට රුපියල් බිලියන 10ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනය (FRED) චෝදනා කරයි. 
ඒ අනුව අදාළ හිඟ මුදල් නොලැබීමත් සමගින්ම මෙරට පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය මේ වනවිට දරුණු කඩා වැටීමේ අවදානමකට ලක්ව තිබෙන බවත් එම සම්මේලනය පවසයි. 
ඊයේ (07) කොළඹදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී එම සම්මේලනය මෙම කරුණු සඳහන් කළේය. කොළඹ වාණිජ මණ්ඩලයේ අනුබද්ධිත ආයතනයක් වන එම සම්මේලනය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ ඉහළම ආයතනය ලෙසද සැලකෙයි. 
 “සෑම මාසයකටම මේ පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් රුපියල් බිලියන 2.5 ක පමණ මුදලක් ගෙවීමට නියමිතයි. ඒත් දෙසැම්බරයේ ඉඳන් එම ගෙවීම් නවත්වලා. ඒ කියන්නේ මාස හතරක කාලයකදී නොගෙවූ හිඟ මුදල දරාගන්න බැරි ආකාරයට රුපියල් බිලියන 10ක් දක්වා ඉහළ ගිහිල්ලා. මේ අර්බුදය විසඳන්න රජය මැදිහත් නොවුණොත්, එය දේශීය පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයේ ස්වාභාවික මරණයක් වේවි.” යනුවෙන් එම සම්මේලනය පවසයි. 
ඔවුන් සඳහන් කරන ආකාරයට මෙලෙස ජාතික පද්ධති ක්‍රියාකරු (පෞද්) සමාගමට මෙම ගෙවීම් සිදු කිරීමට නොහැකි වී ඇත්තේ ද්‍රවශීලතා අර්බුදයකින් පෙළීම නිසා බව අනාවරණය වී තිබේ. 
 “දෙසැම්බර් මාසයේ ඉදන් ගල් අඟු‍රු විදුලි උත්පාදනයේ සිදුව තිබෙන අකාර්යක්ෂමතා සහ හිඟය නිසා, දෛනිකව මතුව තිබෙන මෙගාවොට් 100 ක සිට 150ක් වන සැපයුම් හිඟය පියවීමට ඩීසල් සහ දැවි තෙල් විදුලි උත්පාදනයට යොදා ගැනීමට ප්‍රමුඛත්වය ලබාදීම තමයි මෙතැන ද්‍රවශීලතා ගැටලු‍ව. මැදපෙරදිග යුද්ධය නිසා මේ තාප විදුලිය උත්පාදන පිරිවැය ඒකකයකට රුපියල් 100ක් හෝ ඊට වැඩි අගයකට පත්වෙලා.” සම්මේලනය පවසයි. 
උද්ගතව පවතින මෙම තත්වයත් සමගින් පුනර්ජනනීය බලශක්ති කර්මාන්තකරුවන් ඉන් ඉවත්වීමක් සිදු වුවහොත් එය වඩා විශාල බලශක්ති සැපයුම් හිඟයක් බවට පත්වී දරුණු ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවද එම සම්මේලනය අනතුරු අඟවා සිටියි. 
 “මෙතැනදි වහල මත සවි කරන සූර්ය පැනල හැර, දිවයින පුරා ස්ථාපිත පොළොව මත ඉදිකර ඇති සූර්ය විදුලි බලාගාර 134ක්, කුඩා ජල විදුලි බලාගාර 221ක්, සුළං විදුලි බලාගාර 20 ක් සහ ජෛව ස්කන්ධ බලශක්ති බලාගාර 14ක් සඳහා මෙම අර්බුදය ඍජුව බලපානවා. මේ බලාගාර 389 සතු ස්ථාපිත ධාරිතාව මෙගාවොට් 1,073.9 ක්.” 
ඒ අනුව මෙම තත්වය වැළෑක්වීම සඳහා මහා භාණ්ඩාගාරයේ ක්ෂණික මැදිහත්වීමක් මත සිදු කරන ප්‍රදානයක් හරහා අදාළ හිඟ මුදල් ගෙවීමට කටයුතු කිරීම සහ මෙම කර්මාන්තකරුවන් ණය පැහැර හරින්නන් බවට පත්වීමට පෙරාතුව අදාළ මූල්‍ය විසඳුම් සදහා කැබිනට් අනුමැතියක් ලබාදීමට කටයුතු කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටියි.