IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නිසි මිලක් නොලබන බුලත් ගොවියෝ

 වගා කර ඇති බුලත් කොටු


  • අවුරුදු පහක, හයක කාලයක සිට බුලත්වලට හොඳ මිලක් නැහැ
  • කළු බුලත්වලට හොඳ මිලක් තියනවා
  • බුලත් අධාර කණු සපයා ගන්නේ බොහොම අමාරවෙන්
  • අඩි අටේ, දහයේ ලීයක් රුපියල් සියයක්, එකසිය පනහක් මිලයි
  • ගොම පොහොර ලෝඩ් එකක් රුපියල් හතළිස් පන්දහසක්
  • කුලී පදනම යටතේ කාන්තාවකට රුපියල් එක්දහස් පන්සීයක මුදලකුත්, පිරිමි කෙනකුට රුපියල් දෙදහස් පන්සියක් වැනි මුදලකුත් ගෙවනවා
  • හැමදාමත් කියන්නේ අද බුලත් මිල අඩුයි කියලා. අපනයන මධ්‍යස්ථාන ඇතිකරනවා නම් මෙහෙම ඒකාධිකාරී වෙන්නේ නැහැ

බමුණාකොටුව එච්.එම්.එන්.හේරත්


වාරියපොල බමුණාකොටුව යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ගම් දනව්වල බුලත් වගාකරුවන්ගේ බුලත් මිල දිනෙන් දින පහත වැටීම හේතුවෙන් ඔවුන්ගේ ආර්ථිකය විශාල වශයෙන් පහත වැටී ඇති බවට මැසිවිලි නගති. 

අඹකඩවර, හිද්දනගගම, බලගහයාය, පොතුවැව, කරගස්වැව යන ප්‍රදේශ ඇතැළු කොටගත් තවත් ප්‍රදේශ රැසක ගොවීන් බුලත් වගාකර ඇති අතර ඔවුන් පවසා සිටින්නේ බුලත්වල මිල දිනෙන් දින පහත වැටීම හේතුවෙන් තමන් පත්ව සිටින අපහසුතා පිළිබඳ චෝදනා මුඛයෙනි.

මේ පිළිබඳව අදහස් දක්වමින් හිද්දනගම ප්‍රදේශයේ පදිංචි බුලත් වගාකරුවකු වන ජයසුන්දර බංඩාර මහතා පවසා සිටියේ මෙවැන්නකි.

 “හිද්දනගම, සියඹලාගස්වත්ත, මල්ලිංගාව යන ගම් ප්‍රදේශවල ජනතාව ජීවත්වෙන්නේ ගොවිතැන් කරලා. මම අවුරුදු දහඅටක් විස්සක් පමණ කාලයක පටන් බුලත් වගාව කරනවා. වසර පහක, හයක කාලයක සිට බුලත්වලට හොඳ මිලක් නැහැ. කළු බුලත්වලට හොඳ මිලක් තියනවා. වෙළෙදපොළ හොඳයි කියලා කාගෙත් කතාබහක් ඇතිවුණා. මමත් කළු බුලත් වගා කළා. “කහනේරු” නමින් හඳුන්වන බුලත්වල මිලත් අඩුවෙලා. අපි බුලත් වගාකරලා තියෙන්නේ විශාල වියදමක් කරලා.

බුලත් අධාර කණු සපයා ගන්නේ බොහොම අමාරවෙන්, ඒවා හොයා ගනීමට නොහැකි නිසා උණ ලී ගැනීමට සිදුවෙලා තියෙනවා. අඩි අටේ, දහයේ ලීයක් රුපියල් සියයක් එකසිය, පනහක් වැනි මිලගණන්වලට ගැනීමට සිදුවෙලා තිබෙනවා. ගොම පොහොර ලෝඩ් එකක් රුපියල් හතළිස් පන්දහසක් වෙනවා. යාරමිලා බුලත් පොහොර කිලෝවක මිල රුපියල් හයසියක් හයසිය විස්සක් වැනි මිලගණන් යටතේ ගැනීමට සිදුවෙලා. බුලත් සිටුවා මාස දහයකින් වගේ තමයි හොඳ බුලත් අස්වැන්නක් ලබාගන්නේ. බුලත් කඩන්න, අල්ලන්න අපේ මහන්සියත් එක්ක තවත් කුලී පදනම යටතේ කාන්තාවකට රුපියල් එක්දහස් පන්සීයක මුදලකුත්, පිරිමි කෙනකුට රුපියල් දෙදහස් පන්සියක් වැනි මුදලක් ගෙවාගෙන දවස් පහළොවෙන්, පහළොවට පොහොර යොදන්න වෙනවා. එහෙම වියදම් කරලා දුක් මහන්සිවලා කිලෝ මීටර් තිස්පහක් පමණ දුරක් ගෙවාගෙන කුලියාපිටිය, ඇපලදෙණිය වැනි බුලත් ගැනුම් ස්ථානයට ගිහින් අපේ බුලත් දාහකට රුලියල් දෙදාහක වැනි මිල ගණන් යටතේ අපට මුදල් ලබාදෙන්නේ. අපට ගැනුම්කරුවෝ හැමදාමත් කියන්නේ බුලත්මිල අඩු බවයි. මේ නිසාම ගැනුම්කරුවන්ගේ වංචාවක් දැයි සැකයක් පවතිනවා. ඒ නිසා වර්තමන රජයෙන් මෙවැනි කටයුතු මඟහරවා හැමදාකම දුකෙන් සිටින ගොවියාට සහනයක් ලබාදිය යුතු වෙනවා.”

සිසිර කුමාර පතිරාජ මහතා බුලත් මිල පිළිබඳව පැවසුවේ මෙවැන්නකි.

“මම බුලත් වගා කරන්නේ අවුරුදු තුනක ඉඳලා.අනෙක් වගා වගේ නෙමෙයි බුලත් වගාව. බුලත් වගාකරලා මාස අටක් දහයක් බලාගෙන ඉන්න ඕනෑ හොඳ අස්වැන්නක් ලබා ගන්න. බුලත් ආධාර කණුවලට උණ ලී ගැනීමට සිදුවෙලා තියෙනවා. උණ ලීයක් රුපියල් 100ත් 150ත් අතර මුදලක් වෙනවා. බුලත් පොහොර කිලෝ එකක් රුපියල් 600ත් 620ත් අතර මිලක් වෙනවා. ගොම පොහොර ලෝඩ් එකක් රු.45000ක් වෙනවා. බුලත් කඩන්න, අල්ලන්න දිනකට ගැහැනු කෙනකුට රු.1500ක් දෙන්න වෙනවා. පිරිමි කෙනකුට රු.2500ක් දෙන්න වෙනවා. 

මාත් මගේ පවුලේ සාමාජිකයන්ගේ මහන්සිය හැර දිනකට කැලී පදනම මත තුන්දෙනෙක් යොදා ගැනීමට සිදුවෙනවා. බුලත්වලට හැදෙන රෝගවලට දිලීර නාශක ඕන වෙනවා. මෙහෙම වියදම් කරලා දුක් මහන්සිවෙලා බුලත් තිස් හතළිස් දාහක් අරගෙන වාහනයකට ප්‍රවාහන කුලිය ගෙවාගෙන කුලියාපිටිය, ඇපලදෙණිය යන ස්ථානවල ගැනුම්කරැව න්ගෙන් අපට ලැබෙන්නේ බුලත් 1000කට රු.2000ක් වගේ සොච්චන් මුදලක්. අපිත් බලාගෙන ඉන්නවා මිල වැඩිවෙනකන්. හැමදාමත් කියන්නේ අද බුලත් මිල අඩුයි කියලා. අපනයන මධ්‍යස්ථාන ඇතිකරනවා නම් මෙහෙම ඒකාධිකාරී වෙන්නේ නැහැ. ගොවියාගෙත් අත-මිට සරුවෙනවා. පසුගිය කාලය පුරාවටම කෘෂිකර්ම අපනයන මධ්‍යස්ථානයේ උපදෙස් අනුව අක්කර එකහමාරක විතර කහ වගා කළා. මිල හොඳටම අඩුවුණා. රුපියල් පනහටවත් දෙන්න බැරිවුණ කහවගාවෙන් මම නැත්තටම නැතිවුණා. අපනයන මධස්ථාන තිබුණාට පැළ වර්ගයි, දැනුමයි පමණයි ලබාදෙන්නේ. අපි කැරකෙන පුටුවල වාඩිවෙලා විදුලිපංකා යට ඉඳගෙන නෙමෙයි මේ වැඩ කරන්නේ. දුක් මහන්සියෙන් මහපොළවත් එක්ක පොරබදිමින්. දුක අමාරුව දන්නේ අපි විතරයි. මේ දුක බලධාරිටවත්, නිලධාරින්ටවත් පේනෙත් නැහැ. ඇහෙන්නෙත් නැහැ”.

බුලත් වගාකරුවකු වන කරුණාරත්න මහතා පැවසුවේ මෙවැන්නකි.

“මගේ වයස අවුරුදු දාහතේ,දහඅටේ ඉඳලම ගොවිතැන් තමයි කළේ. දැන් මගේ වයස අවුරුදු හැට නමයයි. මේ කාලය පුරාවටම සහනයක් තිබුණෙ නැහැ. හැම වගාවකදීම අස්වනු නෙළාගෙන වෙළඳපොළට ගියාම අතරමැදියන් තමයි ජයගන්නේ. රජය මැදිහත්වෙලා ගොවියාට උදව් කරනවා නම් ලොකු සහනයක් වෙනවා.

බුලත් වගාවේදී රෝග හැදීමේ ඉඩකඩ වැඩියි. ඒවට දිලීර නාශක ඉසින්න වෙනවා. බුලත් සිටවපු දා ඉඳලම මුදල් වැය කිරීමට සිදුවෙනවා. වියදම් කරලා මහන්සිවෙලා අස්වනු වෙළඳපොළට අරන් ගියහම අපට ලැබෙන්නේ “සොච්චම් මුදලක්” විතරයි”.

මේ පිළිබඳ විජේවර්ධන පතිරාජ මහතා පැවසුවේ මෙවැන්නකි.

“අවුරුදු හතරකින් මිල වැඩි වුණේ නැහැ. බුලත් ගෙනියනහැම දවසකම කියන්නෙ මිල අඩු බවයි. බුලත් වගාවේදී විශාල වශයෙන් වියදම් කරන්නත් ඕනෑ. මහන්සි වෙන්නත් ඕනෑ.

මම බුලත් වගාව කරන්නෙ අවුරුදු හයක කාලයක ඉඳලා. හැම වතාවකදීම අස්වනුවල කාලෙන් කාලෙට මිල අඩු වැඩි වෙනවා.බුලත්වල මිල වැඩි වුණේම නෑ. රජය මැදිහත් වෙලා අපේ සැපයුමට හොඳ මිලක් ලබා දුන්නොත් ගොවියාට කරන සේවයක්.”

මේ පිළිබඳව කුරුණෑගල කෘෂිකර්ම හා අපනයන මධ්‍යස්ථානයේ කෘෂි ව්‍යාප්ති නිලධාරී එච්.එම්.ජයවීර මහතාගෙන් විමසූ විට මෙසේ පැවසී ය.

“වගා කටයුතු වලදී දැනුම හා ප්‍රායෝගික පුහුණුව ලබාදීම තමයි අපේ කාර්යයභාරය වී තිබෙන්නෙ. පසු කාලෙක බුලත් අපනයන කිරීමේ කටයුතු කළා. එහෙත් ඒ බුලත් වගාකරුවෝ එම ස්ථානවලට බුලත් ලබා දුන්නේ නැහැ. අඩු මිල ගණන් යටතේ වුවද වෙනත් බුලත් ගැනුම්කරුවන්ට ලබා දුන් නිසා එම වැඩපිළිවෙළ අතරමඟදී අප්‍රිය වුණා”.

බුලත් ආධාර කණු වශයෙන් උණ ලී සකස් කරගන්නා  අයුරු


 



අදහස් (0)

නිසි මිලක් නොලබන බුලත් ගොවියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 58 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2011 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site