
පරිගණක, ස්මාට් දුරකතන, ඇතුළු පරිගණක මෙවලම් නිර්මාණය, නිෂ්පාදනය හා අලෙවියෙහි නිරත ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය 50 වැනි සංවත්සරය සමරන අතර එම සමාගම මෙතෙක් පැමිණි ගමන්මග අපට උගන්වන වැදගත් පාඩමක් තිබේ. නවීන නිෂ්පාදන ක්‍රියාවලිය තවදුරටත් ජාතික පදනමකට සීමාකෙරෙන්නේ නැත. භූ ආර්ථික ජාල හරහා සංවිධානය වන සංකීර්ණ ක්‍රියාවලියකි. නිෂ්පාදනය, තාක්ෂණය, මූල්‍ය සහ උපාය මාර්ගික සැලසුම් එකට ගමන් කරමින් අගය මත පදනම් කරගෙන වටිනාකම් නිර්මාණය වන අතර කාලෝචිතව එහි නිෂ්පාදන ස්ථාන සහ ක්‍රමවේද තීරණය කෙරේ.
ඇපල් සමාගම එක භූගෝලීය කලාපයකට සීමා වූ නිෂ්පාදන පද්ධතියක් ගොඩනගා ගෙන නැත. ජපානයේ නිවැරදි නිෂ්පාදන පද්ධතිවලින් ප්‍රයෝජන ගත් අතර, චීනයේ කාර්මික ගැඹුර මත ප්‍රසාරණය කර තිබේ. ගෝලීය සැපයුම් දාම ප්‍රතිසංවිධානය වීමත් සමග නිෂ්පාදනය සරන ස්ථානය තැනින් තැනට ගමන් කරමින් සිටී. අද වන විට එම නිෂ්පාදන කර්මාන්ත ඉන්දියාවට සංක්‍රමණය වී ඇත. මෙම ජාල ෆොක්ස්කොන් වැනි සමාගම් මගින් පදනම් වූ අතර, බීවයිඩී. වැනි සමාගම් මෙම පද්ධතියෙන් මතුවී දැන් එම කාර්යයයෙහිම තරඟකාරී ලෙස ක්‍රියා කරමින් සිටියි.
මෙම පරිවර්තනය මෙතෙක් පැවැති නිෂ්පාදන ආකෘතිය සම්බන්ධව ගැඹුරු වෙනසක් පෙන්වයි. ගෝලීයකරණය තවදුරටත් ඒකාකාරී පද්ධතියක් නොව, එකිනෙක හා බැඳෙන, ගැට ගැසෙන සහ ඉතා තරගකාරී නිෂ්පාදන ව්‍යුහ සමූහයක් බව දැක්විය හැකිය.
බිඳ වැටෙන භූ ආර්ථික අනුපිළිවෙළ
ලෝක ආර්ථිකය දැන් මෙතෙක් පැවැති භූගෝලීය ආර්ථික ක්‍රමයෙන් ඉවත්වන යුගයකට පිවිසෙමින් තිබේ. එහිදී වෙළෙඳාම, ආයෝජනය, තාක්ෂණය සහ ආරක්ෂාව වැනි අංශ ඉහළ ප්‍රතිශතයකින් එකිනෙකට සම්බන්ධ වේ. මෙම නිෂ්පාදන හා ව්‍යවසාය ආකාරය සම්බන්ධ ආර්ථික ප්‍රතිඵල තීරණය වන්නේ කාර්යක්ෂමතාව මත පමණක් නොව, උපායමාර්ගික ගැළපීම සහ භූගෝලීය දේශපාලනය හැසිරෙන ආකාරය ද පදනම් කරගෙනය.
චීනය සමග (China Plus One), දේශපාලන හා ආර්ථික වශයෙන් සමීප (Friend-Shoring) සහ විශ්වාස කළ හැකි සැපයුම් ජාල (Trusted Supply Chains) වැනි සංකල්ප නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ ආයෝජන හැසිරීම් තීරණය කරයි. මෙවැනි වෙනස් නිෂ්පාදන පද්ධති මතුවෙමින් පවතින බව හඳුනාගත යුතුය. චීනය තම පද්ධති ශක්තිමත් කරමින් සිටින අතර, ඇමරිකාව සහ එහි හවුල්කරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී විශ්වාසනීය සැපයුම් ජාල කෙරෙහි නැඹුරුවෙමින් ඒවා නැවත සකස් කරගනිමින් සිටිති. ඉන්දියාව ද මෙම මුහුණුවර ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතින අතර ජපානය සහ යුරෝපය නිෂ්පාදන ජාල වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කරගනිමින් සිටිති.
කෙසේ වෙතත් චීනය සමඟ වෙළෙඳාම, ආයෝජනය සහ තෝරාගත් කාර්මික සහයෝගීතා හරහා වෙනම එක හා සමානව පවතින අවස්ථා තවදුරටත් පවතිනු ඇත. මෙය ගෝලීය සැපයුම් දාම බහුධ්‍රැවීය සහ අනෙක් අතට සීමා රහිත ස්වභාවයකට ඇතුළුවන බව පෙන්වයි.
මෙම පරිසරය තුළ, නිෂ්පාදන කටයුතු හා ඒ සඳහා කරන ආයෝජනය රටවල්වල භූගෝලීය පිහිටීම සහ විශ්වාසය යන කරුණු මෙම ව්‍යවසාය සඳහා කරන ආයෝජනය හා තරමට වැදගත් සාධකයක් බව දැක්විය හැකිය.
ශ්‍රී ලංකාවේ ව්‍යුහාත්මක සීමාව
ගෝලීය නිෂ්පාදන ක්ෂේත්‍රයට ශ්‍රී ලංකාව ඇතුළු වූයේ ඇඟලුම් කර්මාන්තය හරහාය. එම අවස්ථාවේ දී බටහිර වෙළෙඳපොළ ඉදිරිපත් කරන ලද කෝටා ක්‍රමය මැනැවින් සහාය විය.
ඇඟලුම් නිෂ්පාදනය වැනි කම්කරු ශ්‍රමයට අධික පිරිවැයක් සහිත අපනයන කටයුතුවලින් චීනය ද සිය නර්මාන්ත ආරම්භ කරන ලද නමුත්, පසුව එම අංශ ඉලෙක්ට්‍රොනික හා ඉහළ තාක්ෂණියෙන් යුතු නිෂ්පාදන ක්ෂේත්‍ර කරා ගමන් කිරීමට අවශ්‍ය කෙරෙන පදනමක් ලෙස භාවිත කළේය. ශ්‍රී ලංකාව එම පැතිකඩ සඳහා යොමුවූයේ නැත. එයට ප්‍රතිවිරුද්ධව, පැරණි සීමිත කාර්මික පදනම තුළ තවදුරටත් රැඳී සිටියේය.
එම වෙනස අද ප්‍රධාන සීමාව බවට පත්ව ඇත
අද වන විට ඇඟලුම් නිෂ්පාදනය කර්මාන්තය පවා ස්වයංක්‍රීයකරණයට පත්ව තිබේ. රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය පැතිවලට වේගයෙන් පරිවර්තනය වී ඇත. මූලික නිෂ්පාදන පද්ධති තවමත් අනුගමනය කරන කර්මාන්ත අංශ දැනටමත් අවදානමකට ලක්ව ඇත. ගෝලීය සැපයුම් දාම ප්‍රතිසංවිධානය වීමත් සමග, ඇඟලුම් නිෂ්පාදන සමාගම් තම කර්මාන්ත ස්ථානගත කරන රටවල් ගැන ඉදිරියේ දී නැවත සලකා බැලීමට ඉඩ ඇත.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශය සලකා බලනපසු තේ කර්මාන්තය තවමත් වැදගත් අපනයනයක් වුවද, එය පෙන්වන්නේ ආර්ථිකයක් තුළ සීමිතව ව්‍යාප්ත කළ හැකි සහ තව දුරටත් ව්‍යාප්ත කළ හැකි තරමට ඉඩම් හෝ ශ්‍රමය රහිත ආර්ථික ව්‍යුහයක සීමාවයි.
සංචාරක කර්මාන්තය සහ සීමිත අපනයන චක්‍ර
ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය කුඩා වපරිසයකට සීමා වී තිබේ. පුළුල් විවිධාංගීකරණයකට වඩා, තෝරාගත් ප්‍රධාන අංශ කිහිපයක පමණක් අධික ලෙස රඳා පැවතීම මත ගොඩනැගී තිබේ.
2009 න් පසු විශේෂයෙන් මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය වී ශ්‍රී ලංකාව ගෝලීය සේවා ජාලවලට සම්බන්ධ කරගත හැකි වුව ද, එය බාහිර වශයෙන් සිදුවන සිද්ධි සහ රට තුළ ඇති වන ඇතැම් අස්ථාවරතාවට ඉතා සංවේදී බව සඳහන් කළ යුතුවේ.
සංචාරක කර්මාන්තය හෝ සාම්ප්‍රදායික අපනයන අංශ, දැනට වේගයෙන් වෙනස් වෙමින් පවතින කාර්මික අංශයේ ගැඹුරු ව්‍යූහයන්ට විකල්පයක් බවට පත් විය නොහැක.
අතුරුදන් වූ ප්‍රධාන සාධකය
ජාත්‍යන්තරය නැඹුරුවෙමින් පවතින නවතම කර්මාන්ත යුගයට ඇතුළුවීමේ දී ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අභියෝගයේ මර්මස්ථානය තරගකාරීත්වයේ දුබලතාවයි. ලෝකයේ අනෙක් රටවලට වඩා තරගයෙන් ඉදිරියට පැමිණීම හුදෙක් සංකල්පමය අදහසක් නොව, අලුත් ආයෝජන තීරණවලට බලපාන ප්‍රායෝගික සීමා පනවන්නකි.
මානව සම්පත්, යටිතල පහසුකම්, ලොජිස්ටික් අංශයේ කාර්යක්ෂමතාව සහ බලශක්ති පිරිවැය වැනි අංශ සම්බන්ධයෙන් සලකා බලන පසු ශ්‍රී ලංකාව දිගුකාලීන දුබලතා රැසකට මුහුණ පා සිටී. එයට අමතරව, ඉදිකිරීම් සහ ද්‍රව්‍ය වියදම් ඉහළ මටට්මක පැවැතීම හේතුකරගෙන කාර්මික නිෂ්පාදන අංශයේ අලුත් ආයෝජන සඳහා අවශ්‍ය ආරම්භක ප්‍රාග්ධනය අසීමාන්තිකව ඉහළ ගොස් ඇත. එය ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු පැතිකඩකි.
ප්‍රතිපත්ති තීරණ සම්බන්ධ පරිසරයේ විශ්වාසනීයත්වය ද, මෙහි දී අතිශයින් වැදගත්ය. කර්මාන්ත හා ව්‍යවසාය සඳහා පනවන බදු සහ ආයෝජන ප්‍රතිපත්ති නිතර වෙනස් වීම ආයෝජක විශ්වාසය දුර්වල කර ඇත.
මෙම මූලික සීමා විසඳා නොගතහොත්, කාර්මික නිෂ්පාදන අංශයට තරගකාරීව ප්‍රවේශවීමේ දී එය රටට හැකියාවක් නොව, ආශාවක් පමණක්වීම වැළක්විය නොහැකිය.
සීමිත නමුත් සැබෑ අවස්ථා
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකට සංවිධාන ගත වී අපනයන ඉලක්ක කරගත් අලුත් නිෂ්පාදන හා කාර්මික තීරයක් ගොඩනගා ගත හැකිවේ. ඉන්දියාව හා ජපානය දැනටමත් රාජ්‍ය තාන්ත්‍රික හා ව්‍යවසාය අංශයෙන් සමීපව කටයුතු කරමින් සිටී. එවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාව හා ඉන්දියාව එකතු වී ජපාන ආයෝජන සහාය සමග, ඇති කරගත හැකි අපනයන කර්මාන්ත අංශ කෙරෙහි එය ප්‍රබල උත්ප්‍රේරකයක් විය හැකිය.
ප්‍රාග්ධනය, තාක්ෂණය සහ කාර්මික විනය ජපානයට ඇත. මහා පරිමාණ නිෂ්පාදනය සහ නිෂ්පාදන පද්ධති ඉන්දියාවට සැපැයිය හැකිය. භූගෝලීය වාසිය සහ රටවල් සමග ඇති සම්බන්ධතාව ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇත. මෙය අලුත් අවකාශයක් වනු ඇත. එම රාමුව තුළ විශේෂ ආර්ථික කලාප සහ අපනයන-කේන්ද්‍රීය කාර්මික නිෂ්පාදන කලාප, ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් වටිනාකම එකතුකරන සැපයුම් ජාලවලට සම්බන්ධ කළ හැකි පදනමක් වනු ඇත.
ඉන්දියාවේ සැපයුම් ජාල සමග තරග කිරීම නොව, ඒවාට සම්බන්ධ වීම අපගේ ඉලක්කය විය යුතුය.
ඇඟලුම්වලින් පසු තෝරාගත් කාර්මීකරණයකට
පුළුල් නිෂ්පාදන ක්ෂේත්‍රයක් පුරා අවතීර්ණ වී තරග කළ හැකි ස්වභාවයක් ශ්‍රී ලංකාවට නැත. ගෝලීය වටිනාකම් ජාලවල, තෝරාගත් විශේෂිත කොටස්වල විශේෂයෙන් ගළපාගත හැකි සහභාගීත්වය තුළ ශ්‍රී ලංකාවට අවස්ථාවක් තිබේ.
මෙරට කර්මාන්තයෙහි නිරත අන්තර් ජාතික මට්ටමේ ඇඟලුම් නිෂ්පාදකයන් කිහිප දෙනකුට දැනටමත් කර්මාන්ත හා ව්‍යවසාය සම්බන්ධ පුළුල් සංවිධාන හැකියාව, අපනයන අත්දැකීම් සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉල්ලා සිටින ප්‍රමිති පිළිබඳ දැනුම ඇත. මෙම පිරිස සම්බන්ධ කරගෙන ඉතා ප්‍රායෝගික ප්‍රවේශයක් ලෙස ඉලෙක්ට්‍රොනික මෙවලම් එකලස් කිරීම, මෝටර් රථ උපකරණ කොටස්, සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනය වැනි අලුත් නිෂ්පාදන ක්ෂේත්‍රවලට ඇතුළු විය හැකිය.
එසේම, ඇතැම් පාරිභෝගික නිෂ්පාදනවල අවසන් එකලස් කිරීම, ප්‍රමිති පරීක්ෂා කිරීම, ඇසුරුම් කිරීම සහ ප්‍රතිඅපනයන සැකසුම් වැනි ලොජිස්ටික් සේවාවලද වැදගත් කාර්යභාරයක් රටට නිරත විය හැකි බව පෙන්වා දිය යුතුය.
උපාය මාර්ගික ඛනිජ සම්පත් නැවත වාසියක්
ශ්‍රී ලංකාවේ ස්වාභාවිකව පවතින ඛනිජ සම්පත් කර්මාන්ත අපනයන අංශය තුළ සලකා බැලිය හැකි තවත් වැදගත් ක්ෂේත්‍රයකි. දෙවන ලෝක යුද්ධයට පෙර, ශ්‍රී ලංකාව ඉහළ පිරිසුදු මිනිරන් අපනයනය කළ ලෝකයේ ප්‍රධාන රටක් විය. අද වන විට ශ්‍රී ලංකාව එම කර්මාන්තයේ නිරත ප්‍රමාණය පහත වැටී තිබුණ ද, මිනිරන් සම්පත තවමත් අන්තර්ජාතික වශයෙන් වැදගත්ය. හොඳ ඉල්ලුමක් සහිතය.
ඉල්මනයිට්, පොස්පේට් සහ සිලිකා වැනි ඛනිජ, සඳහා ඉහළ අවධානයක් ලෝකය පුරා තිබේ. බලශක්ති ගබඩාකරණය, ඉහළ මූල ද්‍රව්‍ය වෙනුවෙන් සහ ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදන සඳහා මෙම ඛනිජ සම්පත් වැදගත් වේ. ශ්‍රී ලංකාවේ තිබෙන මෙම උපාග මාර්ගික අතින් වැදගත් ඛනිජ සම්පත් සඳහා කර්මාන්ත යුගයක් නැවත ඇරඹිය හැකිය.
මුදල් ඒකක, බදු සහ වෙළෙඳ ව්‍යුහය
අන්තර්ජාතිකව වෙනස් වන නිෂ්පාදන පද්ධතිය සලකා බලන පසු එය ගෝලීය මූල්‍ය පද්ධතියේ වෙනස්කම් මගින් ද මැනැවින් නිරීක්ෂණය වේ.
1940 ගණන්වල ඇමරිකානු ඩොලර් සමග ගනුදෙනු කරන බෙටන් වුඩ් ක්‍රමය (Bretton Woods System) තවමත් ගෝලීය වෙළෙඳාමට පදනමක් සපයයි. එහෙත් එහි බලපෑම ක්‍රමයෙන් බිඳ වැටෙමින් පවතී. ඉන්දීය සහ චීන වැනි රටවල මුදල් ඒකක කලාපීය වශයෙන් රටවල් අතර ගනුදෙනු සඳහා දැනටමත් වැඩි වශයෙන් භාවිත වේ. මෙයට අමතරව සමාන වශයෙන් අවස්ථාවේදී, ඩිජිටල් පද්ධති සහ Cryptocurrency වැනි තාක්ෂණය වෙළෙඳ ගනුදෙනු සහ මූල්‍යකරණයට බලපාන්නට පටන් ගෙන ඇත. මේවා පසෙකට කළ නොහැකි කාරණාය.
අන්තර්ජාතික වෙළෙඳ ප්‍රතිපත්ති ද නැවත අර්ථ දක්වමින් පවතී. බදු සහ නිෂ්පාදකයා ගේ බලය තහවුරු කරන එනම් ‘Rules of Origin’ වැනි නීති දැන් රටවල් අතර ආයෝජන ගලායෑම සහ සැපයුම් ජාලයවලට රටවල් සම්බන්ධ වීම තීරණය කරනතැනට පත්ව තිබේ.
නිගමනය- කවුළුව වැසෙමින් තිබීම
වේගයෙන් වෙනස් වන භූගෝලීය ආර්ථික ව්‍යූහයක් තුළ ශ්‍රී ලංකාව දැන් කර්මාන්ත, අපනයන හා විනිමය ඉපැයීම සම්බන්ධ ඉතාමත් සීමිත උපායමාර්ගික අවස්ථාවකට මුහුණ පා සිටී. එය තවදුරටත් විදේශගත ශ්‍රමික මුදල් ප්‍රේෂණ, සංචාරක කර්මාන්තය සහ සීමිත ආකාරයක කාර්මික අපනයන පදනම මත රඳා සිටින බව පෙනේ.
කර්මාත්ත හා අපනයන අංශ අලුතින් පරිවර්තනය වෙමින් සිටින මේ අවස්ථාවේදී, නවතම කලාපීය නිෂ්පාදන ජාල තුළ තම ස්ථානය නැවත නිර්මාණය කරගැනීමට ශ්‍රී ලංකවට හැකියාවක් තිබේ. එය සාක්ෂාත් කර ගැනීම සඳහා, අපට දැනටමත් අහිමි වී ඇති බව පෙනෙන ජාතික එකඟාවක් අවශ්‍ය වනු ඇත. රට තුළ එකඟතාවක් නැති සහ එක කණ්ඩායමක් යෝජනා කරන අතර අනෙක් කණ්ඩායම එරෙහි වන තත්වය තව දුරටත් පැවැතුනහොත් විශාල අවදානමක් මතුවේ. අතීතයේ දී උදා වූ කාර්මික පරිවර්තන අවස්ථා ශ්‍රී ලංකාව අහිමි කර ඇත.
රටට ඇති අභියෝගය එම අවස්ථාව සඳහා අහිමිවීම නොව, අලුත් අවකාශයක් සඳහා ප්‍රමාණවත් කවුළුව තවමත් විවෘතව තිබිය දී ශ්‍රී ලංකාව එම කවුළුවෙන් ඇතුළු වී අලුත් අවස්ථා දිනාගැනීමට ක්‍රියා කරන්නේ ද යන්නය.
(මිලින්ද මොරගොඩ මහතා පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘවරයා වේ. 2026.05.04 ඩේලි මිරර් පුවත් පතේ පළ වූ ලිපියක පරිවර්තනයකි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd