කොළඹ කොටස් වෙළෙඳපොළ නව වසරේ පළමු දින ගනුදෙනුවල දී ස්ථාවර වර්ධනයකට පදනම සකස් කරන බවක් සනිටුහන් වූ අතර ගනුදෙනු ප්‍රමාණය හා පිරිවැටුම ආයෝජන අංශ තුළ විශ්වාසය තහවුරු කරන්නට සමත් වූ බව නිරීක්ෂණය කළ හැකි විය. පසුගිය වසරේ වාර්තාගත වර්ධනයට දර්ශක 718 ක් පසුපසින් සිටින සියලු කොටස් මිල දර්ශකය එම අවාසි සහගත පසුබිම ඉවත්කර අලුත් වාර්තා සඳහා ගමන් කරන්නට අවකාශයක් තිබේ ද යන්න ගැන ආයෝජන උපදේශකයෝ අවධානයක පසුවෙති.
2024 සැප්තැම්බර්වලට පසු කොටස් වෙළෙඳපොළ සියයට අනූ තුනක වර්ධනයක් අද වන විට ප්‍රදර්ශනය කරන අතර ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන  4.04 ක සිට රුපියල් ට්‍රිලියන 8.0 දක්වා දෙගුණයක පමණ ප්‍රසාරණයක් දක්වයි. පසුගිය කාර්තු හතර තුළ ලැයිස්තුගත සමාගම්වල ලාබය රුපියල් ට්‍රිලියන 800 ඉක්මවන අතර ලාභාංශ බෙදාදීම සමග ආයෝජන උන්නදුව ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ තුන්වැනි කාර්තුවේ පමණක් ලාභාංශ  තරමක් පහත බැස තිබුණ නමුත් මෙම වසරේ දී අවශ්‍ය ජවලය ලබාගැනීමට සමත් වනු ඇතැයි විශ්වාස කෙරේ. අද දිනයේ දී ද කොටස් මිල දී ගැනීමට උන්නදුවක් ඇති විය හැකිය. තවමත් විදේශීය මිල දී ගැනීම් අඩු ස්වභාවයක් පවතින අතර එම තරගකාරීත්වය ඇතිවුවහොත් තවත් වටයකින් වෙළෙඳපොළ පිබිදීමක් පැවැතිය හැකිය. ඉකුත් වසරේ අවසාන දින කිහිපය තුළ ස්ථාවර භාවයක් සහිත මිල දී ගැනීමේ රටාවක් පිළිබිඹු කෙරිණ. එය තවදුරටත් බලපෑමක් වනු ඇති අතර කොටස් වෙළෙඳපොළ විශ්වාසය දියුණු කරන සාධකයකි. 
මෙම වසරේ පළමු ගනුදෙනු දිනයේ දී (ජන 02)  ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,864.08ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 239.77 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,186.09 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 28.71 ක වර්ධනයකි. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 5.16 කි. ගනුදෙනු  39,651 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 132.97 ක් විය. සමාගම් 206 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 32 කි. මිල දී ගැනීමේ උනන්දුව සියයට 67.75 ක් වැනි ඉහළ අගයක විය.
නිරීක්ෂක